මාධ්‍ය වාර්තා කිරීම් ත්‍රස්තවාදී ක්‍රියා වන නව ත්‍රස්ත විරෝධී පනත ගමන් බිමන් සීමා කිරීමේ හා ඇඳිරි නීතිය පැනවීමේ බලය ජනාධිපතිවරයාට
නව ත්‍රස්ත විරෝධී පනතින් වෘත්තීය සමිති ක්‍රියා ත්‍රස්ත වැඩ බවට පත්කර ඇති බව පසුගිය සතියේ අපගේ මුල් පුවත මගින් අනාවරණය කරනු ලැබීය. මේ සටහන මගින් උත්සාහ කරන්නේ එම මුල් පුවතට අදාළ වූ ආණ්ඩුව විසින් කෙටුම්පතක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති ත්‍රස්ත විරෝධී පනතේ ඇති සුවිශේෂි කරුණු පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමටය.
පසුගිය මුල් පුවතින් පෙන්වා දුන් පරිදිම එහි ත්‍රස්තවාදී ක්‍රියා ලෙස අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරන සේවාවල වෘත්තීය සමිති කටයුතු සඳහන් කර ඇති අතර ඊට අමතරව මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට අදාළ කටයුතුවලට බාධා කිරීම්ද එසේ ත්‍රස්තවාදී ක්‍රියා ලෙස සඳහන් කර ඇත. එම ත්‍රස්ත ක්‍රියා වැරදි සඳහා මහාධිකරණය විසින් වැරදිකරු කරනු ලැබූ විට අවුරුදු 20ක් නොඉක්මවන බරපතල වැඩ සහිත බන්ධනාගාරගත කිරිමක් හා රුපියල් මිලියන 1ක් නොඉක්මවන දඩයක් යටත් වීමට සිදුවේ. එමෙන්ම එසේ වරදකරුවීමේදී අධිකරණය විසින් පනවන දඩයට අමතරව දඩුවමට යටත්වන පුද්ගලයින්ගේ සියලු නිශ්චල හා චංචල දේපල රාජසන්තක කරනු ලබන බව එහි සඳහන්ය. තවද වරදකරු කිරීමෙන් පසු එම තැනැත්තා විසින් සිදුකරන ලද යම් දේපල අන්සතු කිරිමක් හෝ වෙනත් බැහැර කිරිමක් ශුනය හා බලරහිත වන බවද එහි දක්වා තිබේ.
එසේම එවැනි වරදක් කිරීමට තැත් කරනු ලබන, අනුබල දෙනු ලබන හෝ කුමන්ත්‍රණය කරනු ලැබීම වරදක් ලෙස සඳහන් කර ඇති අතර වරදක් සිදුකිරීමට සූදානමින් යම් ක්‍රියාවක් සිදුකරනු ලබන තැනැත්තකුද වරදකරුවකු වේ. ඒ සඳහා අවුරුදු 15ක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමට සහ රුපියල් මිලියන 1ක් නොඉක්මවන දඩයකට යටත්විමට සිදුවන බව සඳහන් කර ඇත.
මේ කෙටුම්පතේ ‘ත්‍රස්තවාදය දිරිගැන්වීම යටතේ’ මාධ්‍යයට අදාළ කරුණු සඳහන් කර ඇති අතර ඒවා සඳහන් වන්නේ මේ ආකාරයටය.
‘ ජනතාවගෙන් ඇතමෙක් විසින් හෝ සියලුම ජනතාව විසින් ත්‍රස්තවාදය පිලිබඳ වරදි සිදුකිරිමට, ඒ සඳහා සූදානම් වීමට හෝ පෙළඹවීමට ඔවුන් සෘජුව හෝ වක්‍රව දිරිගන්වන්නක් හෝ පොළඹවන්නක් ලෙස තේරුම් ගැනීමට ඉඩ ඇති යම් ප්‍රකාශයක් පළ කරන්නාවූ හෝ පළ කිරීමට කටයුතු සලස්වන්නාවූ හෝ එවැනි වචනයක් හෝ වචන කතා කරන්නා වූ හෝ සංඥා හෝ දෘශ්‍ය නිරූපනය සිදු කරන්නා වූ සහ
‘ එමගින් ත්‍රස්තවාදය පිලිබඳ වරද සිදුකිරීමට, ඊට සූදානම් වීමට හෝ පෙළඹවීමට ජනතාව සෘජුව හෝ වක්‍රව දිරි ගැන්වීමට හෝ පෙළඹවීමට අරමුණු කරන්නා වූ හෝ
‘ එම ප්‍රකාශයන් ජනතාව ත්‍රස්තවාදය පිළිබඳ වරද සිදු කිරීමට, ඊට සූදානම් වීමට හෝ පෙළඹවීමට සෘජුව හෝ වක්‍රව දිරි ගැන්වෙන්නේද නැතහොත් පෙළඹවෙන්නේද යන්න පිලිබඳ අනවධානීව සිටින්නා වූ
යම් තැනැත්තෙක් මේ පනත යටතේ වරදක් සිදු කරන්නේය.’
ඉහතින් උධෘත කරන ලද විධිවිධාන අදාළ වන්නේ මුද්‍රිත මාධ්‍ය, අන්තර්ජාලය, ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හෝ වෙනත් ආකාරයක ප්‍රසිද්ධ දැන්වීම් මගින් සිදුකරන ප්‍රකාශ සඳහාය. එහි ප්‍රකාශ යන්නද තවදුරටත් විග්‍රහ කරමින් ‘ත්‍රස්තවාදය දිරිගැන්වීම යටතේ’ සඳහන් කර ඇත්තේ ‘ ත්‍රස්තවාදය පිළිබඳ වරද සිදු කිරීම හෝ ත්‍රස්තවාදය පිළිබඳ වරද සිදු කිරිම සඳහා සූදානම් වීම උත්කර්ෂයට නංවන සහ උත්කර්ෂයට නංවා ඇති ක්‍රියාව උත්කර්ෂයට නංවා ඇත්තේ පවත්නා අවස්ථානුගත කරුණු යටතේ ඔවුන් විසින් අනුකරණය කළ යුතු ක්‍රියාවක් ලෙස යැයි ජනතාව විසින් වටහගනු ඇති බවට සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි වූ සෑම ප්‍රකාශයක්ම ඇතුලත් වේ’ යනුවෙන්ය.
එසේම ‘ත්‍රස්තවාදී ප්‍රකාශන ප්‍රචාරණය කිරීම’ යටතේද මාධ්‍ය එම වරද සිදුකරන පාර්ශවයක් ලෙස ඇතුලත් කර ඇති අතර ඒවා විස්තර කරමින් සඳහන් කර ඇත්තේ එකී ප්‍රකාශන විවිධ පැති මානයන්ගෙන් සලකා බලමින් චේතනාන්විතවම සිදුකර ඇද්ද යන්න සැළකිල්ලට ගත යුතු බවය.
ඇත්තටම මෙවැනි සැළකිල්ලට ගැනීම් යනු කන්න වුවමනා වූ විට කබරගොයාත් තලගොයා කර ගැනීමේ මර්ධනකාරී ආණ්ඩුවල අයිසිං තැවරීම් බව මෑත ඉතිහාසය තුළ දැන් බලාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපට ඔප්පු කර ඇත. එහි හොඳම උදාහරණය වන්නේ ජේඑස් තිස්සනායගම්ව ඔහු සංස්කාරක ධුරය දැරූ නෝර්ත් ඊස්ට් හෙරල්ඩ් සඟරාවට අවස්ථා දෙකකකදී ලියූ ලිපි දෙකක වාක්‍ය කිහිපයක් නිසා රටේ ජාතීන් අතර නොසන්සුන්තාවයක් ඇති කිරීම සම්බන්ධයෙන් දඬුවමට ලක්කිරීමය. එම පලකිරීමෙන් අවුරුදු දෙකකට පමණ පසු ඔහුට දඬුවම් ලබාදුන්නද, එවැනි මහජන නොසන්සුන්තාවයක් එම කාලයේ ඇතිවී තිබුණේ නැත. ඇත්ත වශයෙන්ස සීමිත පිරිසක් දැන සිටි එම සඟරාව හා එහි පලවී තිබූ ලිපි දෙක මහජන නොසන්සුන්තාවයක් ඇතිවීම කෙසේ වෙතත්, ඒ පිළිබඳ ජනතාව පවා දැන ගත්තේ ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුය.
ඉහතින් සඳහන් කරන ලද මෙම පනතේ ත්‍රස්තවාදී ක්‍රියා ලෙස නම්කර ඇති අත්‍යවශ්‍ය සේවාවලට අයත් වෘත්තීය සමිති මෙම පනත සම්මත වී ක්‍රියාත්මක වන අවස්ථාවක ඔවුන්ගේ යම් ඉල්ලීමක් සම්බන්ධයෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගනු ලැබ ඇති අවස්ථාවක් අප සළකා බැලුවහොත් එය මාදය මගින් වාර්තා කිරීම ඒ මොහොතේ ආණ්ඩුවේ සිතීම අනුව වරදක් වීම අනිවාර්යය වනු ඇත.
මේ සඳහා මේ මොහොතේ හොඳම උදාහරණය ලෙස අපට ඛනිජ තෙල් සංස්ථාවේ ව්‍යාපාරික අවස්ථා පෞද්ගලිකකරණයට එරෙහි එහි වෘත්තීය සමිති විසින් කැඳවා ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගත හැකිය. මෙම පනත යටතේ නම් ඛනිජ තෙල් සංස්ථාවේ වැඩ වර්ජනයේ නිරත සේවකයින් අනිවාර්ය නිවාඩු යැවීම වෙනුවට සිදු කරනු ඇත්තේ ත්‍රස්තවාදී ක්‍රිියා සිදුකළ අය ලෙස හඳුන්වා ඔවුන්ව අත්අඩංගුවට ගැනීමය. ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමය. වරදකරු වුවහොත් සිරදඩුවම් පැමිණවීම සහ දඩ ගැසීමය. දේපල රාජසන්තක කිරීමය. ඒ සඳහා ආධාර අනුබල දුන් පිරිසටද එම ඉරණම අත්කිරීමය.
තවදුරටත් මේ මොහොතේ සිදුවන ඛනිජ තෙල් වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයට අදාළ කිසිදු කටයුත්තක්, ප්‍රකාශයක් පල කිරීම මාධ්‍යයට තහනම් වීමය. මන්ද එවැනි වාර්තාකරණයක් ත්‍රස්තවාදී ක්‍රියාව ප්‍රවර්ධනයක් ලෙස සලකා මෙම පනත යටතේ ආණ්ඩුවට කටයුතු කළ හැකි නිසාය. ආණ්ඩුව තමන්ට අකමැති මාධ්‍ය සම්බන්ධයෙන් එසේ දැකීම මගින් එම මාධ්‍ය වැරදිකරු වුවහොත් ඒ සඳහා අවුරුදු 15ක් නොඉක්මවන කාලයක් සඳහා බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීමකට සහ රුපියල් මිලියන් 1ක් නොඉක්මවන දඩයකට යටත් වීමට සිදුවේ. එමෙන්ම එසේ වරදකරු වීමේදී පනවන දණ්ඩනයන්ට අමතරව එම තැනැත්තා සන්තකයේ ඇති එම වරද සිදු කිරීමට අදාළ සියලු චංචල හා නිශ්චල දේපල රාජසන්තක කිරීමද සිදුවේ.
එසේම එකී වැරදි කිරීමට තැත් කිරීම, අනුබල දීම හෝ කුමණ්ත්‍රණය කිරීමද වරදක් වන අතර ඒ සඳහා අවුරුදු 10ක් නොඉක්මවන කාලයක් සඳහා බරපතල වැඩ ඇතිව සිර දඬුවම් සහ රුපියල් මිලියන් 1ක් නොඉක්මවන දඩයක් නියම කළ හැකිය. එයද මාධ්‍යයට අදාළ කර ඇති කරුණක්ය.
මේ අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැනි මර්ධනීය පාලකයකුට තමන් අකමැති, තමන්ව විවේචනය කරන, තමාගේ කටයුතු ගවේෂණය කරන මාධ්‍ය මර්ධනය කිරීම පමණක් නොව ඒවා සම්පූර්ණයෙන්ම වසා දැමීමද එතරම් අමාරු නොවන කාර්යයක් බවට මෙම පනත මේ ආකාරයෙන්ම සම්මත වුවහොත් පත්වනු ඇත.
ඒ නිසාම මෙම පනත වෘත්තීය සමිති කටයුතු පමණක් නොව මාධ්‍යයද ත්‍රස්තවාදීන් බවට පත්කරන පනතක් බව බැහැර කළ නොහැකිය. රටේ නීතියෙන් පිළිගෙන ඇති වෘත්තීය සමිති හා ඒවාහී කටයුතු වාර්තා කිරීමටත් බැරිනම් එහි තේරුම වන්නේ මාධ්‍ය නිදහසටද මේ මගින් අත තබා ඇති බවය. එමෙන්ම ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතියටද මේ මගින් අත තබා ඇති බවය. මාධ්‍ය නිදහස අවහිර කිරීමේ තේරුම වන්නේ එම රට හෝ එහි පාලකයන් ප්‍රජාත්‍රන්තවාදී හරයන් බැහැර කරමින් කටයුතු කරන බවය. මානව අයිතිවාසිකම්වලට එහි ඉඩක් නැති බවය. ඒ වෙනුවට පොලිස්, හමුදා හෝ ඒ ආකාරයේ වෙනත් මිලිටරි බලයක් මගින් පාලනය ගෙන යමින් එය සමාජයට මුදාහරින රටක් බවය.
මෙම පනත යටතේ වන වරදක් කරන්නේ නම් අධිකරණ නියෝගයකින් තොරව අත්අඩංගුවට ගැනීමට හැකි අතර එම බලය පොලිස් නිලධාරීන්ට, සන්නද්ධ හමුදා සාමාජිකයන්ට හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ටද පවරා තිබේ. එසේ අත්අඩංගුවට ගැනීමේදී ඒ සඳහා බලය පවරා ඇති නිලධාරීන් අනුමාන කළ යුත්තේ ඉතා සුළු දෙයකි. ඒ එම පනත යටතට ගැනෙන එම නිලධාරියා ඉදිරිපිට සිදුකරන වරදක් හෝ මෙම පනත යටතේ වරදක් සිදුකර ඇතැයි විශ්වාශ කිරීමට නිලධාරියාට උපකල්පනය කළ හැකි සාධාරණ හේතු තිබීම පමණය. එය එතැනින්ද නවත්න්නේ නැත. මෙම පනත යටතේ වරදක් සම්බන්ධයෙන් ඇප ලබා සිටියදී එම ඇප කොන්දේසි යමකු උල්ලංගනය කර ඇත්නම් වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගැනීමට බලය පවරා ඇත. තවද එම නිලධාරීන්ට යම් තැනැත්තකු, වාහනයක්, යාත්‍රාවක්, දුම්රියක් හෝ ගුවන් යානයක් නැවැත්වීම හෝ සෝදීසි කිරීමේ බලය මෙන්ම යම් තැනැත්තකුගෙන් ප්‍රශ්න කිරීම පමණක් නොව යම් පරිශ්‍රයකට හෝ ඉඩමකට ඇතුළු වී සෝදීසි කිරීමේ බලයද ලබාදී ඇත.
‘යම් තැනැත්තකු මේ පනත යටතේ වරදක් සිදු කිරීම පිළබඳ සැකයට භාජනය වී සිටින විට, ඒ තැනැත්තාගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ පෞද්ගලිකත්වය පිළිබඳ නිසි සැළකිල්ලක් දක්වමින් ඔහු කායික පරීක්ෂණයක් සඳහා යොමු කිරීම සහ
‘ යම් තැනැත්තකු මේ පනත යටතේ වරදක් කිරිම පිලිබඳ සැකයයට භාජනය වී සිටින විට, ඒ තැනැත්තාගේ ඡායාරූප ලබා ගැනීමට, වීඩියෝ පටිගත කිරීම් ලබා ගැනීමට සහ ඇඟිලි සලකුණු හෝ අත්ලේ හෝ පතුලේ සලකුණු ලබා ගැනීමට ඔහු යොමු කිරීමට’ මේ මගින් බලය ලබාදී තිබේ. එහි අදහස වන්නේ මෙතෙක් අධිකරණයේ අවසරය මත සිදුවූ ඇඟිලි සලකුණු ලබාගැනීම හා ශරීරයේ අනෙකුත් දේ ලබාගැනීම පිළිබඳ නියමයන් මේ මගින් අහෝසි කර ඇති බවය.
‘සීමා කිරීමේ නියමය’ අලුතින්ම හඳුන්වා දී ඇති ක්‍රමයකි. ඒ යටතේ අධිකරණයේ අවසරය ඇතිව සිරභාරයට ගැනීමෙන් තොරව මාසයක් නොඉක්මවන කාලයක් සඳහා ජනාධිපතිවරයාට සීමා කිරීම් කළ හැකි අතර එම සීමා කිරීමේ කාලය මාස 6ක් දක්වා දීර්ඝ කළ හැකිය. එම සීමා කිරීම් වන්නේ, පදිංචි ස්ථානයෙන් බැහැරව එහා මෙහා යෑම සීමා කිරීම, විදේශගතවීම සීමා කිරීම, ශ්‍රී ලංකාව ඇතුලත ගමන් කිරීම සීමා කිරීම, පදිංචි ස්ථානය සහ සේවයේ නියුත්ත ස්ථානය අතර සාමාන්‍ය ගමන් මාර්ගයෙන් බැහැරව ගමන් සීමා කිරීම, නියමයෙහි නිශ්චිතව දක්වනු ලබන තැනැත්තන් සමඟ සන්නිවේදනය කිරීම සීමා කිරීම හා පනත යටතේ වරදක් සිදු කිරීමට පහසුකම් සැලසෙන ආකාරයේ ඇතැම් නිශ්චිත ක්‍රියාකාරකම්වල නිතරවීම සීමා කිරීම යන ඒවාය.
එම සීමා කිරීමේ නියමයක් හිතාමතාම උල්ලංගනය කරමින් ක්‍රියා කරන තැනැත්තකු මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබුවහොත් වසර තුනක් දක්වා වූ බන්ධනාගාරගත වීමක් සහ රුපියල් ලක්ෂ 3ක් නොඉක්මවන දඩයකට යටත් විය යුතුය.
දැනට ඇඳිරි නීතිය පනවන මහජන ආරක්ෂක ආඥා පනතට බැහැරව මෙම පනත යටතේද රට පුරාම හෝ ඉන් කොටසකට ජනාධිපතිවරයාට ‘ඇඳි්රි නීතිය’ පැනවීමේ බලය ලබාදී ඇත.
මෙම ඇඳිරි නීතිය උල්ලංගණය කරන අයකු මහෙස්ත්‍රාත්වරයෙකු විසින් වරදකරු කරනු ලැබූ විට රුපියල් ලක්ෂ 3ක් නොඉක්මවන දඩයකට යටත්වේ.
එමෙන්ම පොලිස්පතිවරයාගේ, ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ හා වෙරළාරක්ෂක අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත ‘ තහනම් ස්ථාන’ නම් කිරීමේ බලයද ජනාධිපතිවරයාට ලබාදී ඇත.
මෙම පනත යටතේ වරදකරු කරන යම් තැනැත්තකු සම්බන්ධයෙන් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 306 වන වගන්තිය අදාළ නොවිය යුතුය යන්න සඳහන් කර ඇති අතර පනත යටතේ නියෝග සාදනු ලබන්නේ ජනාධිපතිවරයා විසින්ය.
වෙනත් යම්ි ලිඛිත නීතියක කුමක් සඳහන් වුවද එය නොතකා මෙම පනතේ විධිවිධාන බලපවැත්වන අතර වෙනත් ලිඛිත නීතියක යම් ගැටීමක් හෝ අනනුකූලතාවක් ඇති වුවහොත් මෙම පනතේ විධිවිධාන බලපැවැත්වෙන බව සඳහන් කර තිබේ.
ඒ අනුව මෙම පනත මේ ආකාරයේ වූ සියලු අණ පනත්වලට ඉහළින් ක්‍රියාත්මක වන බවත්, එහි බළධාරියා වශයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන බවත් පැහැදිලිය.
මෙම පනත ක්‍රියාත්මක වීමෙන් පසු දැනට ක්‍රියාත්මක ත්‍රස්ත්‍රවාදව වැළැක්වීමේ පනත අහෝසි වන අතර ඒ මගින් මේ දක්වා සිදුකර ඇති කාර්යයන්ට අගතියක් සිදු නොවේ.
එහෙත් ප්‍රශ්නය වන්නේ දැනට ඇති පනත ඉතා භයානක පනතක් හෙයින් එය අහෝසි කර ජාත්‍යන්තර ප්‍රමිතියේ පනතක් ගෙන ඒම යටතේ මේ ගෙනැවිත් ඇත්තේ අහෝසි කළ යුතු යැයි කියන පනතටත් වඩා භයානක පනතක් වීමය.
ලසන්ත රුහුණගේ (අනිද්දා)