යෝජිත ත්‍රස්ත විරෝධී පනත (ATA) සහ එමගින් භාෂණයේ නිදහසට එල්ලවන බලපෑම් පිළිබඳ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අවධානය

යෝජිත ත්‍රස්ත විරෝධී පනත (ATA) සහ එමගින් භාෂණයේ නිදහසට එල්ලවන බලපෑම් පිළිබඳ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අවධානය

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) වෙනුවට කෙටුම්පත් කර, 2023 මාර්තු 22 දින ප්‍රකාශයට පත් කරන ලද යෝජිත ත්‍රස්ත විරෝධී පනත (ATA) (2023 මාර්තු 17 දිනැති ගැසට් නිවේදනය) පිළිබඳව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) සහ එහි අනුබද්ධ සංවිධාන බරපතල අවධානය යොමු කරති.

මාධ්‍ය ප්‍රජාවට හිතකර නොවන ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගතව තිබෙන බව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ මතයයි. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධාවන ආකාරයෙන් අර්ථකථනය කළ හැකි “ත්‍රස්තවාදී ක්‍රියා” පිළිබඳ නොපැහැදිලි හා ඉතා පුළුල් නිර්වචනයක් යෝජිත පනත් කෙටුම්පතට ඇතුළත් වේ. යෝජිත පනත් කෙටුම්පත තුළ පැවරී ඇති පුළුල් බලතල මගින්, ත්‍රස්තවාදී ක්‍රියාවකට හෝ එවැන්නකට සූදානම් වීමට දිරිගැන්වීමක් හෝ පෙළඹවීමක් ලෙස වටහා ගැනීමට ඉඩ තිබෙන දේශනයක්, අපරාධයක් ලෙසින් සැලකීමට අවස්ථාව සලසයි. එවැනි අවස්ථාවකදී සිය අභිප්‍රාය එවැන්නක් නොවන බව සනාථ කිරීමේ වගකීම පැවරෙන්නේ චෝදනාවට ලක්වන පුද්ගලයාටය. ත්‍රස්තවාදී ක්‍රියාවන්ට අනුබල දෙන ද්‍රව්‍ය ලෙස අර්ථ දැක්විය හැකි දෙයක් ප්‍රකාශනය, බෙදා හැරීම, විකිණීම හෝ සම්ප්‍රේෂණය කරන අයටද මෙම වැරදි අදාළ වේ.

ඉහත කී පනත් කෙටුම්පතට අනුව, ‘පොදු අවකාශය තුළ නොමැති ඕනෑම තොරතුරක්’ ඇතුළත් ‘ජාතික ආරක්ෂාව/ආරක්ෂාව’ කෙරෙහි ‘අහිතකර බලපෑමක්’ ඇති කරන ඕනෑම තොරතුරක් රහස්‍ය තොරතුරු ලෙසින් අර්ථ දැක්විය හැකිය. එබැවින්, වර්තමානයේ අපරාධ නීතිය යටතට ගැනෙන බොහෝ වැරදි මේ අනුව ‘ත්‍රස්තවාදී වැරදි’ ලෙස අර්ථ නිරූපනය කළ හැකි බැවින්, ‘රහස්‍ය තොරතුරු’ පිළිබඳ පුළුල් සහ නොපැහැදිලි වර්ගීකරණය හේතුවෙන් අනාගතයේදී මාධ්‍යවේදීන් තම රාජකාරිය ඉටු කිරීමේදී අසීරු තත්ත්වයකට පත් විය හැකිය.

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස, රැස්වීමේ සහ සමාගමේ නිදහස සහ විසම්මුතියේ නිදහස සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිතව සහතික කර ඇති මූලික පුරවැසි අයිතිවාසිකම්වලට යෝජිත ත්‍රස්ත විරෝධී පනත මගින් තර්ජනයක් එල්ල වී ඇති බව පැහැදිලිය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පිළිගන්නා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය යටපත් කිරීමට ඉඩ තිබෙන සංශෝධන කිසිවක් යෝජිත පනත් කෙටුම්පතට ඇතුළත් නොකිරීමට ප්‍රවේශම් සහගත විය යුතු බවද අවධාරණය කර සිටී.