ඡන්දේ ඉල්ලන්න නාමයෝජනා දුන් රාජ්‍ය නිලධාරීන්ට බලවත් අසාධාරණයක් සිදුවෙලා

ඡන්දේ ඉල්ලන්න නාමයෝජනා දුන් රාජ්‍ය නිලධාරීන්ට බලවත් අසාධාරණයක් සිදුවෙලා

දේශපාලන අයිතිවාසිකම් හිමි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් රාජ්‍ය නිලධාරීන් සඳහා සහන ලබාදීමේ චක්‍රලේඛයෙන් මතුවන ගැටලූ සම්බන්ධව දේ බරපතල අසාධාරණයක් තවදුරටත් සිදුවී ඇති බව සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ ඔවුන්ට කඩිනම් සහන සලසා දෙන ලෙසයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන හා ආයතන සංග්‍රහයේ xxxii වැනි පරිච්ඡේදයේ විධි විධාන අනුව දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවයේ නිරතව සිටින රාජ්‍ය නිලධාරීන් 2023 ජනවාරි 21 දින පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාරදෙන ලදි. 2023 මාර්තු 09 දින පැවැත්වීමට නියමිතව පැවති උක්ත පළාත් පාලන ඡන්ද විමසීම ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ දේශපාලන වුවමනාව මත 2023 අප්‍රේල් 25 දක්වා කල්දමන ලදි. ඉන් අනතුරුව යළිත් වතාවක් මැතිවරණ කොමිෂම සාධාරණ හේතුවකින් තොරව 2023 අප්‍රේල් 25 සිට දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

එවැනි තත්වයක් යටතේ දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කළ මැතිවරණ අපේක්ෂකයින්ට බරපතල අසාධාරණයක් තවදුරටත් සිදුවන බවත් අවධාරණය කරමු,

  1. 2023 පළාත් පාලන ඡන්ද විමසීම නාම යෝජනා භාරදුන් දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන් සඳහා සහන ලබාදීම 2023.05.08 දිනැති රා. ප. චක්‍රලේඛ 07/2023 මඟින් අදාළ සහන නිවැරදි හා සාධාරණව ලබාදී නොමැති බව පෙන්වා දෙන්නෙමු,
  2. රා. ප. චක්‍රලේඛ 06/2023 මඟින් පළාත් පාලන ඡන්දය සඳහා නාමයෝජනා භාරදුන් රාජ්‍ය නිලධරයන්ට 2023.03.09 සිට 2023.04.25 දක්වා මූලික වැටුප් ගෙවන ලෙස දැනුම් දී ඇත,
  3. නමුත් 07/2023 චක්‍රලේඛය 2023.05.08 දින නිකුත් කරමින් සේවයට වාර්තා කරන ලෙස දැනුම් දීම අනුව අදාළ රාජ්‍ය නිලධාරීන් 2023.05.09 දින සේවයට වාර්තා කළ ද 2023.04.26 දින සිට 2023.05.08 දින දක්වා වන කාල පරාසය පිළිබඳව මාර්ගෝපදේශයක් නොමැති වීම ආයතන ප්‍රධානීන්ට හා අදාළ රාජ්‍ය නිලධාරීන්ට ගැටළුවකට මුහුණදීමට සිදුවනු ඇත,
  4. එමෙන්ම 2023.05.08 දිනැති 07/2023 චක්‍රලේඛය අනුව අදාළ රාජ්‍ය නිලධාරියා අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින්නේ තම සේවා ස්ථානයට අයත් පළාත් පාලන බල ප්‍රදේශයේම නම් එම පළාත් පාලන බල ප්‍රදේශයෙන් බාහිර බල ප්‍රදේශයක රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනයක් වෙත ස්ථානමාරු කර සේවයට වාර්තා කිරීමට සලස්වන ලෙස දැනුම් දී ඇත. මෙම තීරණය උභතෝකෝටික ගැටළුවක් නිර්මාණය කරන්නකි,
  5. රාජ්‍ය සේවයේ ස්ථානමාරු සිදු වන්නේ වාර්ෂික ස්ථානමාරු, සුහද මාරු, නැතිනම් දඬුවම් මාරු ආදී වශයෙනි. 07/2023 චක්‍රලේඛය අනුව සිදු කරන ස්ථානමාරුව වාර්ෂික හෝ සුහද ස්ථානමාරු ගණයට අයත් නොවන අතර එය ඳඩුවම් ආකාරයක ක්‍රියාවලියක් බව බැලූ බැල්මට ගම්‍ය වේ. අවම වශයෙන් තාවකාලික අනුයුක්ත කිරීමක් නොකර ස්ථානමාරුවීමක් කිරීම හරහා එම රාජ්‍ය නිලධාරියාට තමා සේවය කළ සේවා ස්ථානය අහිමි වන අතර දේශපාලන හිමිකම් සහිත රාජ්‍ය නිලධාරීන් අනියමින් ඳඩුවමකට හා හිංසනයකට ලක් කිරීමක් බව අවධාරණය කරමු,
  6. 07/2023 චක්‍රලේඛය අනුව ස්ථාන මාරුවීමක් යටතේ සේවයට වාර්ථා කිරීමක් සිදුවන්නේ නම් මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව හෝ ස්ථාන මාරුවක අවම කාලසීමාව අවසන් වන තෙක් යළි නියමිත සේවා ස්ථානයට වාර්ථා කිරීමට නොහැකිවනු ඇත,
  7. කල්තබන ලද මැතිවරණය/ ඡන්ද විමසීම් සඳහා ඉදිරිපත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි රජයේ නිලධරයන්ට සහන සැලසීම යන 2019. 08.20 දිනැති 22/2019 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ මැතිවරණයක් කල් තබන ලද අවස්ථාවකදී අනුගමනය කළ යුතු පටිපාටිය උක්ත චක්‍රලේඛයේ 2:3:2:3 හි i, ii හා 2:3:2:4, 2:3:2:5, 2:3:2:6 වගන්ති වල ඉතා පැහැදිලිව පවතින අතර එය යම් ප්‍රමාණයක හෝ සාධාරණ හා නිවැරදි ක්‍රමවේදයක් දක්වා ඇත,
  8. අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව ඇති ගුරු සේවයට අයත් ගුරුවරුන් හා එම පාසල්වල අධ්‍යාපනය හදාරන දරුවන් මෙම තීරණයත් සමඟ දැඩි අපහසුතාවයකට ලක්ව ඇති විශේෂ පර්ශවයක් බව වැඩිදුරටත් පෙන්වා දෙන්නෙමු,
  9. 22/2019 චක්‍රලේඛය තිබියදී එහි අඩංගු කරුණු කිසිවක් අදාළ නොකර ගනිමින් නාම යෝජනා භාරදී ඇති රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයින් දැඩි අපහසුතාවයකට පත්වන පරිදි ගෙන ඇති තීරණය වහාම නිවැරදි කළ යුතු බව අවධාරණය කරමු.

වත්මන් පත්කළ ජනාධිපතිවරයා හා ආණ්ඩුව එක්ව රටේ ප්‍රජාතන්ත‍්‍රවාදය බිඳ දමමින් මැතිවරණ කල් දමමින් සිදුකරන ජාන්ත්‍රවිරෝධී වැඩ පිළිවෙල තුළින් රටත්, ජනතාවත් පමණක් නොව දේශපාලන හිමිකම් සහිත රාජ්‍ය නිලධාරීන් ද අපහසුතාවයකට පත් කර ඇත. මේ අයුරින් රාජ්‍ය නිලධාරීන් යළි යළිත් අපහසුතාවයට හා අසාධාරණයට ලක් කිරීම යුක්ති සහගත නොවන බවත් මෙම ක්‍රියා පටිපාටියද අනුමත නොකරන බවත් තරයේ ප්‍රකාශ කරමු.

දේශපාලන හිමිකම් සහිත රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම නවතා අදාළ සහන ලබාදීමට පියවර ගන්නා ලෙසත් අවම වශයෙන් 02/2019 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ විධි විධාන අනුව අදාළ සහන ක්‍රියාත්මක කරන ලෙසත් ඉතා වගකීමෙන් ඉල්ලා සිටිමුු.