මේ විදියට ඩෙංගු පාලනය කරන්න බෑ - රවි කුමුදේස්

මේ විදියට ඩෙංගු පාලනය කරන්න බෑ - රවි කුමුදේස්
  • ඩෙංගු පාලනය කිරීමට රෝගීන් නිවැරදිව හඳුනා ගන්න ඕනේ. පරීක්ෂණ වලට පහසුකම් නෑ
  • වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ බඳවා 300ක් මුදල් අමාත්‍යාංශයයි සෞඛ්‍ය අමාත්‍යාංශය එකතුවෙලා නතර කරලා

වෛද්‍ය රසායනාගාර සේවාවට කුඩම්මාගේ සැලකිලි කරලා ඩෙංගු මරණ සහ සංකූලතා අඩු කර ගන්න බැරි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවිකුදෙස් මහතා මාධ්‍ය හමුවකදී පවසා සිටී.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටීයේ, ඩෙංගු පාලනය කිරීමට රෝගීන් නිවැරදිව හඳුනා ගන්න ඕනේ. පරීක්ෂණ  වේගවත් කරන්න ඕනේ. පරීක්ෂණ කලට වේලාවට දෙන්න බැරිවීම නිසා අනුමාන රෝගීන් පවා රෝහල් ගත කිරීමට සිදු වෙනවා. ඒකෙන් වියදම දහ ගුණයකින් වැඩි වෙනවා. නැත්නම් අනුමානය මත ප්‍රතිකාර කරන්න වෙනවා, ඒක රෝගීන්ට බරපතල අවධානමක් බව.

ඩෙංගු ප්‍රතිදේහ ජනක සහ ඩෙංගු ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය සම්පූර්ණ රුධිර පරීක්ෂණ දෙකම විනාඩි 20කින් දෙන්න අපිට පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශය නවත්තලා තියන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින්ගේ පත්වීම් ටික දීලා, අවශ්‍ය ප්‍රතික්‍රීයක ටික දුන්නොත්.  මේවා කියන්න තැනක් නෑ, අහන්න කෙනෙක් නෑ.

මේ වෙනකොට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් 300ක් පමණ ඉන්නවා පත් වීම් ලබා දීම සදහා සුදුසුකම් ලැබූ. ඔවුන්ට පත්විම් දෙන්නේ නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා මුදල් අමාත්‍යාංශය පත්වීම් දෙන එක තහනම් කරලාලු. මුදල් අමාත්‍යාංශය කියනවා අපි එහෙම දෙයක් කරලා නැහැලු.

හැබැයි ඉල්ලීම් කරලා යවපු ලිපි වලට මුදල් අමාත්‍යංශය උත්තර එවන්නේ නෑ. ඒ අයට මොනවත් ලිඛිතව දෙන්න බැහැළු. ජනාධිපතිතුමා රට වටේ කියා ගෙන යනවා සෞඛ්‍ය සේවාවට දෙන මොකුත්ම කප්පාදු කරලා නෑළු. එතකොට මේ මුදල් අමාත්‍යාංශය අපේ රටෙ එකක් නෙවෙයිද?

සාමාන්‍ය තත්ත්වයේ තිබුණු ඩෙංගු, ධූමායනය නතර කරලා අධි වසංගතයක් කර ගත්තා. දැන් රසායනාගාර සේවාව අඩාල කරලා මැරෙන්නේ නැතිව බේරා ගන්න පුළුවන් රෝගීන් මැරෙන තත්වයකට පත් කර ගන්නවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් ඩෙංගු වලට කමිටුවක් පත් කරලා. ඒකේ ඉන්නේ වෛද්‍ය වෘත්තිකයින් විතරමයි. අනිත් අය සේරම අමතක කරලා තමයි අධ්‍යක්ෂක ජනරාල් සෞඛ්‍ය සේවාව කරගෙන යන්න හදන බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.