නිරෝගීමත් ජනගහණයක් බිහිකරලීම සහ පවත්වාගෙන යාමේ ගෞරවය  මහජන සෞඛ්‍ය සේවාවට හිමිවිය යුතුයි

නිරෝගීමත් ජනගහණයක් බිහිකරලීම සහ පවත්වාගෙන යාමේ ගෞරවය  මහජන සෞඛ්‍ය සේවාවට හිමිවිය යුතුයි

(ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය දින සැමරුමට සමගාමීව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී සංගමය විසින් 2023 මැයි මස 11 දින මහරගම තරුණසේවා ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබූ උළෙලට යුනි ගෝලීය වෘත්තීය සමිති ජාලයේ (UNI Global Union සුභාශිංෂණය)

ශ්‍රී ලාංකේය මහජන සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් නිරෝගීමත් පුරවැසියන් ජාතියට දායාද කිරීම උදෙසා උදාර සේවයක් සපයන රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය සහ එහි සාමාජිකයින් සංවිධානය කරන මෙම සැමරුම් උළෙලට සහභාගී වන ලෙසට ආරාධනා කිරීම ගැන ප්‍රථමයෙන්ම ස්තුති වන්ත වෙමු.

ලොව පුරා රටවල් 140, වෘත්තීය සමිති 900 නියෝජනය කරන මිලියන විස්සක සාමාජිකත්වය දරන සේවා අංශයේ වෘත්තිකයින්ගේ ගෝලීය වෘත්තීය සමිති ජාලයේ සාමාජිකත්වය ලබාගැනීමට රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය ගත් තීරණය අප අගය කරන්නෙමු. යුනි ආසියා සහ ශාන්තිකර කලාපීය විධායක මණ්ඩලය අප්‍රියෙල් මස 27 වැනි දින පැවැති රැස්වීමේදී  ශ්‍රී ලාංකේය රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය යුනි ආයතනයේ සාමාජිකත්වය පිරිනැමීමට යුනි ලෝක විධායක මණ්ඩලයට අනුමත කිරීමට තීරණය කරන ලද බවට සතුටින් දන්වා සිටිමි.

කාර්යක්ෂම සහ ප්‍රථිපලදායි දිවයින පුරාම විහිදුනු මහජන සෞඛ්‍ය සේවා ජාලයක වැදගත්කම පැහැදිලි වනුයේ  කොරෝනා වැනි වසංගත උවදුරු තත්වයන් උද්ගතවූ විටය. මන්ද ඇති හැකි සහ නැති බැරි සැමටම වෛරසයෙන් ගැලවීමට නොහැකි නිසාය.

ශ්‍රී ලාංකේයන්ගේ ජීවන තත්වයන් සෙසු දකුණු ආසියා රටවල පුරවැසියන්ගේ ජීවන ගුණාත්මක භාවය අභිබවා නිරෝගීමත් ජනගහණයක් බිහිකරලීම සහ පවත්වාගෙන යාමේ ගෞරවය  මහජන සෞඛ්‍ය සේවාවට හිමිවිය යුතුවේ.

සෞඛ්‍ය සේවාව ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සමාජ සුභසාධන අරමුණු මත පිහිටා ශක්තිමත් සමාජ සේවා ව්‍යාපාර ලෙස පවත්වාගෙන යන ආයතන ලොව පුරාම පවතී. සෞඛ්‍ය සේවා ආයතන විමධ්‍යගත කර රජයේ අයිතියට යටත් ස්වාධීන වැඩදායී ආයතන බවට පරිවර්තනය කිරීමේ කාලය දැන් උද්ගතව ඇත. එකී වාතාවරණය උදාකර ගැනීමට ඇති ප්‍රභලම අභියෝගය වන්නේ සෞඛ්‍ය සේවාවේ නිරත සියළුම සේවකයින් සහයෝගයෙන් කටයුතු කරන නව සංස්කෘතියක් බිහිකර ගැනීමට අපොහොසත් වීමය.

ඔබගේ සංගමයට මෙම තත්ත්වය නිර්මාණය කර ගැනීමට විශාල කාර්යභාරයක් කල හැක. එහිදී සිය අයිතිවාසිකම් වලට මෙන්ම යුතුකම් සහ වගකීම් වලට ප්‍රමුඛතාවය දිය හැකි, දේශපාලකයින්ගේ න්‍යාය පත්‍රවලට වැඩ නොකරන, නිදහස් ප්‍රජාතන්ත්‍රවාදීව සහ ස්වාධීනව කටයුතු කරන වෘත්තීය සමිති ඇතිකර පොදු හැඟීමකින් පරාර්ථය වෙනුවෙන් කැපවෙන නායකත්වයක් තෝරාපත් කර ගැනීමට සියළුම සෞඛ්‍ය සේවාවන්වල නිරත සේවක සේවකයින්ගේ ප්‍රමුඛතාවයක් විය යුතුව ඇත.

යුනි ගෝලීය වෘත්තීය සමිති ජාලය හා එක්වුනු රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයට මෙම ‌අයිතිහාසික මෙහෙවර කරගැනීමට ශක්තියක් සපයමින්ද, පෞද්ගලික අංශයේ රෝහල් වල දැඩි සුරාකෑමකට ලක්වෙන සේවක සේවිකාවන් සංවිධානය කොට ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමට යුනි ගෝලීය වෘත්තීය සමිති ජාලයට  අත්වැලක් විය හැකි බව සතුටින් දන්වා සිටිමු.

ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය දින සැමරීම සඳහා රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය සංවිධානය කර පවත්වන උළෙලට යුනි ආසියා ශාන්තිකර කලාපයේ කලාපීය ලේකම් රාජේන්ද්‍ර ආචාර්යා සහෝදරයා ඇතුළු සිංගප්පුරුවේ කලාපීය කාර්යාලයේ සුභ පැතුම් පිරිනමන්නෙමු. වෙනත් යොදාගත් වැඩකටයුතු අතරේ උත්සවයට සහභාගි වීමට නොහැකිවීම ගැන කනගාටුව ප්‍රකාශ කර සිටිමු.

| ජයශ්‍රී ප්‍රියලාල්

කලාපීය අධ්‍යක්ෂක, මූල්‍ය සහ වෘත්තීමය කලමනාකරුවන්ගේ සේවා අංශය

යුනි ආසියා ශාන්තිකර කලාපීය සංවිධානය, සිංගප්පූරුව.

මැයි 10, 2023