වෛද්‍ය රසායනාගාර පුහුණුව ප්‍රතිපත්තිවලට එරෙහිව යාමක්

වෛද්‍ය රසායනාගාර පුහුණුව ප්‍රතිපත්තිවලට එරෙහිව යාමක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිවලට එරෙහිව පෞද්ගලික සුඛවිහරණය උදෙසා කුමන්ත්‍රණකාරී ලෙස වෛද්‍ය රසායනාගාර ඩිප්ලෝමා සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම අත්හිටුවන ලෙසත්, ත්‍රිවිධ හමුදාවේ සේවා අවශ්‍යතාවයට අදාලව නිළධාරීන් පුහුණු කිරීමට අවශ්‍ය වන්නේ නම්, එම සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත යොමු කරමින් එකී කටයුක්ත සිදු කර ගන්නා ලෙසත් ඉල්ලා සෞඛ්‍ය අමාථ්‍යංශයේ ලේකම්වරයා වෙත් ලිපියක් යවමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ උපදේශක මණ්ඩලයක් නමින් පෙනී සිටින කණ්ඩායමක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජය නොමඟ යවමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ ප්‍රතිපත්ති වලට පටහැනිව වෛද්‍ය රසායනාගාර විද්‍යා ඩිප්ලෝමාව සඳහා සිසුන් ඇතුලත් කර ගැනීමේ සූදානමක් පවතින බවත් 2023.05.11 දින සිට එම සිසුන්ට පුහුණුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවද අප වෙත වාර්තා වී ඇත.

මෙකී ඊනියා උපදේශක මණ්ඩලයේ ඇතැම් පාර්ශවයන් වෛද්‍ය රසායනාගාර විද්‍යා උපාධිධාරීන් සෞඛ්‍ය සේවාවට ඇතුලත් කර ගැනීමට සහ එම උපාධි පාඨමාලාව පවත්වා ගැනීමට දිගින් දිගටම බාධා ඇති කල කණ්ඩායමක් වන අතර තම තමන්ගේ සුඛ විහරණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් අනවශ්‍ය ලෙස නාස්ති කරමින් ඩිප්ලෝමා පාඨාමාලාව පවත්වා ගැනීම සඳහා කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරන බවත් අප මීට පෙරද සෞඛ්‍ය අමාත්‍යාශය දැනුවත් කොට ඇත.

මේ වන විට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය හරහාත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ විවෘත විශ්වවිද්‍යාලය හරහාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත් නිළධාරී සංඛ්‍යාවටත් වඩා වැඩි වෛද්‍ය රසායනාගාර විද්‍යාවේදී උපාධීධාරීන් ප්‍රමාණයක් උපාධිධාරීන් ලෙස සේවයට එක් කරමින් සිටී. ඒ අනූව වෛද්‍ය රසායනාගාර සේවාවේ අනුමත නිළධාරී සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මේ වන විටත් උපාධිධාරීන් 231 ක ප්‍රමාණයක් රජයේ පත්වීම් ලබා ගැනීමට නොහැකිව උපාධීධාරී රැකියා විරහික පෝලිමක රඳවා තබා ඇති අතර මින් පෙරදීද අපගේ කරුණු දැක්වීම් හා විරෝධතාවය නොසලකා හරිමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ එක් නිළධාරියෙකු වෙනුවෙන් රුපියල් මිලියන 3 කට ආසන්න මහජන මුදලක් වැය කරමින් පුහුණු කිරීම‍ට බඳවාගත් ඩිප්ලෝමාධාරීන් 69 ක ප්‍රමාණයක්ද එම විරැකියා පෝලිමටම යොමු කරමින් පවතී.

කෙසේ නමුත් මෙම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලෙහි ආරම්භක පියවරක් ලෙස ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන් සඳහා ඩිප්ලෝමාව ලබා දීම දඩමීමා කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය නොමඟ යැවීමට එම පාර්ශ්ව කටයුතු කර ඇත. තවද, ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන් සඳහා වෘත්තීමය හා උපාධි අධ්‍යාපනය ලබා දීම යන කරුණු වෙනුවෙන්ම පිහිටුවා ඇති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මඟින් වෛද්‍ය රසායනාගාර විද්‍යාවේදී උපාධිය ලබා දීම සඳහා පහසුකම් සහ හැකියාව තිබියදී එම විශ්වවිද්‍යාලය විසින් නිපදවන ත්‍රිවිධ හමුදාවේ සේවා අවශ්‍යතාවයට අතිරික්ත වශයෙන් නිපදවනු ලබන උපාධිධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයට බඳවා ගැනීම හරහා රජය අමතර වගකීමකට බැඳී සිටියදීම ඩතා විශාල මහජන මුදල් ප්‍රමාණයක් වැය කරමින් ත්‍රිවිධ හමුදා නිළධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා පුහුණු කිරීමේ කිසිඳු පාරදෘශ්‍ය බාවයක් නොමැති බවත් අප ඉතා ඕනෑ කමින් පෙන්වා දෙමු.

එනයින් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය රසායනාගාර පුහුණු පාසලේ වෛද්‍ය රසායනාගාර විද්‍යා ඩිප්ලෝමා පුහුණු පාඨමාලාව සඳහා නැවත සිසුන් ඇතුලත් කරවා ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසත් පවතින ආර්ථික අර්බුධය හමුවේ අතිවිශාල මහජන මුදලක් අනවශ්‍ය ලෙස නාස්ති කිරීමේ මෙම උත්සහය වලක්වන ලෙසත්, ත්‍රිවිධ හමුදාවේ සේවා අවශ්‍යතාවයට අදාලව නිළධාරීන් පුහුණු කිරීමට අවශ්‍ය වන්නේ නම්, එම සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත යොමු කරමින් එකී කටයුක්ත සිදු කර ගන්නා ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.

එසේම අනවශ්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත අප නිළධාරීන් යොමු කිරීමට කටයුතු නොකරන ලෙසක් කඩනමින් මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.