ගුරු හිඟය පියවීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බවට නිවේදනයක්!

ගුරු හිඟය පියවීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බවට නිවේදනයක්!
ජූලි මාසය අවසන් වන විට විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718ක් සම්පූර්ණ කිරීමට රජය කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.
 
විදුහල්පති සේවය සඳහා බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වන විට පැවැත්වෙන බවත්, එම සම්මුඛ පරීක්ෂණ මේ මස 15 දින වන විට අවසන් කරන බවත් අධ්‍යාපන ඇමැතිවරයා පවසා ඇත්තේ ඊයේ (08) පාර්ලිමේන්තු සැසියට එක්වෙමිනි.
 
 
යාපන දිස්ත්‍රික් මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන ඇමැතිවරයා මේ බව සඳහන් කළ අතර නියමිත කාලවල විභාග පවත්වා බඳවාගැනීම් නොකිරීම නිසා මෙලෙස විදුහල්පති පුරප්පාඩු ඇතිව තිබෙන බවද හෙතෙම මෙහිදී අවධාරණය කළේය.
 
මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නඩුවක් හේතුවෙන් අදාළ පත්වීම් දීමට නොහැකි වූ බවත්, එහෙත් මේ වන විට එම නඩුව සමථයකට පත් කර ඇති බවත් ඇමැතිවරයා කියා සිටියේය.
 
පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා, එළැඹෙන 16 දා විද්‍යාපීඨ ගුරුවරුන් 7,500කට පත්වීම් දීමට නියමිත බව පැවසූ ඇමැතිවරයා නව පත්වීම් ලබන ගුරුවරුන් එළැඹෙන ජූනි 19 දා සිට පාසල්වලට වාර්තා කළ යුතු බව අවධාරණය කළේය.
 

ඉදිරියේදී ගුරුවරුන් බඳවාගැනීමේදී පළාත් මට්ටමින් තිබෙන ගුරු හිඟයන් පියවීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරමින් එම බඳවාගැනීම් සිදු කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය..