ලංකා ඛනිජ තෙල් මොකද වෙන්නේ?-සේවක සංගමයෙන් අනතුරු ඇඟවීම්

ලංකා ඛනිජ තෙල් මොකද වෙන්නේ?-සේවක සංගමයෙන් අනතුරු ඇඟවීම්
මේ දක්වා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව (CPC) යටතේ තෙල් බෙදාහැරීම් සිදු කළ පුද්ගලික සැපයුම්කරුවන් සතු පිරවුම්හල් 150 බැගින් විදේශ සමාගම් තුනකට තෙල් බෙදා හැරීම සඳහා පැවරීමට රජය තීරණය කොට ඇති බව ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමය පවසයි.
 
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ චීනයේ සිනොපෙක්,  ඇමරිකාවේ RM Park සහ ඔස්ට්‍ර්ලියාවේ යුනයිටඩ් යන සමාගම් වෙත මෙරට තෙල් වෙළඳාමට බලපත්‍ ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
 
 ඒ සඳහා මුල් වටයේ ලබා දෙන පිරහුම් හල් 150 ට අමතරව තවත් නව පිරවුම්හල් 50 බැගින් ඉදිකර ගැනීමට අවසරය ලබාදෙන බවත්, අවසානයේ පිරවුම් හල් 600 ක් හරහා නව සමාගම් තුනක් මෙරට තෙල් වෙළදාම කරනු ඇති බවත්  ඔවුන් පෙන්වාදෙයි.
 
LIOC සමාගම සඳහා දැනට සතු පිරවුම්හල් 230ට අමතරව තවත් පිරවුම්හල් 50 කටද අවසර හිමිවෙන බවත්, අවසානයේ ලංකා ඛනිජතෙල්  නීතිගත සංස්ථාව වෙළඳ පංගුව 30% - 40% අතර ප්‍රමාණයකට සීමා වෙන බවත්  ඔවුන් සිය නිවේදනයෙන් පැහැදිලි කර සිටියි.
 
“සිනොපෙක් සමාගම සමඟ රජය 2023. 05. 22 දින ගිවිසුම් අත්සන් කළ අතර 2023. 06. 08 ඇමරිකාවේ RM Parks සමාගම සමඟ ගිවිසුම් අත්සන් කිරීමටත්, ඔස්ට්‍රලියාවේ යුනයිටඩ් සමාගම සමඟ 2023. 06. 20 දින ගිවිසුම් ගතවීමටත් සැලසුම් කොට ඇතිබවට තොරතුරු ලැබී ඇති බවද ඔවුන් අවධාරණය කරයි.
 
එකී නිවේදනයේ මෙසේද, සඳහන්ය.
 
 
විකුණන් කෑ මේ වැඩ පිළිවෙල සාධාරණීකරණය සඳහා තෙල් සංස්ථාව පාඩු ලබන බවත්, රජයට හා මහා භාණ්ඩාගාරයට බරක් ව ඇති බවටත් ජනාධිපතිතුමන් දිගින් දිගටම ප්‍රකාශ කරයි. එම ප්‍රකාශ ඉතා පිළිකුලෙන් යුතුව අපි ප්‍රතික්ෂේප කරමු. CPC ය 2007/2008 වන තෙක් කිසිවිටෙක පාඩු ලබා නොමැත. 2008 න් පසු ලෝක වෙළඳපළේ තෙල් මිල ඉහළ යාම සමඟ තෙල් මිලට ගන්නා මිලට අඩුවෙන් පාඩුපිට විකිණීමට රජය නියම කිරීම නිසාත්, එම සහනාධාරය නැවත රජය තෙල් සංස්ථාවට නොගෙවීම නිසාත්, තෙල් සංස්ථාවට පාඩු විය. නමුත් ජනාධිපති පවසන පරිදි රජයෙන් හෝ මහා භාණ්ඩාගාරයෙන් කිසිවිටෙක තෙල් සංස්ථාව මුදල් ලබා නොගත් අතර මහජන බැංකුව හා ලංකා බැංකුව මගින් ලබා ගත් ණයවලින් තෙල් ගෙනැවිත් පාඩුවට විකුණන ලදී. සත්‍ය නම් රජය හා මහා භාණ්ඩාගාරය තෙල් සංස්ථාවට ණය හා බරක් වී තිබීමයි. 
 
කෙසේ හෝ IMF බලපෑම මත මිල සූත්‍රයට අනුව නියම මිලට (සහනාධාර නොමැතිව) තෙල් විකිනීම ඇරඹීම සමග CPC ය ලාභ ලබයි. 2023 මුල් මාස 04 ලාභය රුපියල් බිලියන 43 කි. එසේනම් තෙල් වෙළඳාම විදේශිකයන්ට දෙන්නෙ කුමකටද? 
සිනොපෙක් ගිවිසුමේ 18 (a) වගන්තිය අනුව මිල සූත්‍රය ට පරිබාහිරව පාඩුවට තෙල් විකිණීමට රජය නියම කළහොත් (CPC යට පෙර පාඩු කළා මෙන්) සිදුවන පාඩුව මාස 03 ක් ඇතුළත රජය එම සමාගමට ගෙවීමට බැඳී සිටී. මෙම පහසුකම්  CPC යට ලබාදේ නම් CPC ය සැමදා ලාභ උපයා එම ලාභය මේ රට තුළ ඉතිරි කරනු ඇත. අප රජයෙන් ප්‍රශ්නකර සිටිනුයේ මෙම පාවාදීමෙන් රටට හිමිවන ප්‍රතිලාභය කුමක්ද යන්න පැහැදිලි කරන ලෙසයි.
 
 
(01). මෙම සමාගම් 03 ට පිරවුම්හල් පැවරීමත් සමග CPC හි වෙළඳ පංගුව 40% වඩා අඩුවේ. CPC යට නොමැති වරදාන සමඟ අනෙක් සමාගම් පැමිණ තිබීම මගින් CPC යට පැවැත්මක් නොමැත. විදුලිබල මණ්ඩලය අනාගතයේ දැවිතෙල් භාවිතයෙන් ඉවත්වී ස්වභාවික වායු සඳහා මාරුවීම හෝ පැමිණෙන සමාගම්වලින් දැවි තෙල් ලබා ගැනීමට තීරණය කිරීම සමඟ පිරිපහදුවේ නිපදවෙන 35% පමණ වන දැවි තෙල් අලෙවි කර ගැනීමට නොහැකිව පිරිපහදුව වැසෙනු ඇත. CPC ය වැසීගොස් සමස්ථ තෙල් පාලනය විදේශ බලවතුන් අතට පත්වනු ඇත. මෙය රටේ ස්වාධීනත්වයට මෙන්ම ආරක්ෂාවට ද බරපතළ ගැටලුවක් ඇති කරනු ඇත.
(02). CPC 2023 මුල් මාස 04ට සාපේක්ෂව මේ වසරේ රුපියල් බිලියන 120 ට වැඩි ලාභයක් ලබනු පෙනේ. මේවා විදේශීය සමාගම් සතු වූ විට වැඩි ලාභයක් රටින් පිටතට (අසරණ මහජනතාවගෙන් සූරාගෙන) යාම රටේ ආර්ථිකයට බරපතළ ලෙස බලපානු ඇත.
(03). මෙම ගනුදෙනුවෙන් රටට කිසිදු ස්ථිර ආයෝජනයක් නොමැත. ඇත්තේ වසරක් යන තෙක් එම සමාගම් විදේශ බැංකු හරහා තෙල් ගෙන ඒම පමණි. ඉන් රජය බලාපොරොත්තු වන්නේ ඩොලර් අර්බුදයට තාවකාලික විසඳුමක් පමණි. නමුත් ප්‍රතිපලය සදාකාලික වනු ඇත.
 
 
(04) මිල සුත්‍රයට අනුව දේශීය තෙල් මිලෙහි 95%ක් පමණම තීරණ වන්නේ ලෝක වෙළඳපොළේ මිල, බදු හා අනෙකුත් නොවැලැක්විය හැකි වියදම් බැවින් තරඟකාරීත්වය මගින් තෙල් මිල අඩුවීමක් බලාපොරොත්තු විය නොහැක. සිදුවන්නේ අනිවාර්යෙන්ම තරගකාරීව තෙල් මිල වැඩිවීමත්, රජයට සමාගම් වල අලාභ ගෙවීමට සිදු වීමත්, ජනතාවට එම බරත් පැටවීම වේ.  

මෙම ව්‍යසනයන් වැළැක්වීම සඳහා වෘත්තීය සමිති පෙළ ගැසීම පමණක ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කරමු. මෙය ජාතික ගැටලුවක් සේ සලකා දේශපාලන පක්ෂවලටත්, සියලුම ප්‍රගතිශීලී කණ්ඩායම් වලටත්, සංවිධාන වලටත් සමස්ත සියලුම ජනතාවටත් මෙම ජාතික පාවාදීමට එරෙහිව පෙළ ගැසෙන මෙන් ආරාධනය කරමු”