පේරාදෙණිය ළමා රෝහලේ දරුවා මිය ගියේ එන්නතේ බලපෑමෙන් නොවෙයිලු

පේරාදෙණිය ළමා රෝහලේ දරුවා මිය ගියේ එන්නතේ බලපෑමෙන් නොවෙයිලු

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරණායක විශේෂිත ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය වයස අවුරුදු දෙකහමාරක දරුවා මිය යාමට එම දරුවාට ලබාදුන් නිර්වින්දන එන්නතේ කිසිදු බලපෑමක් නොමැති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පවසයි.

රෝහල් අධ්‍යක්ෂවරයා මේ බව සදහන් කලේ අද  (22) සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේද  සහභාගීත්වයෙන්  මෙය පැවැත්විණි.

මිය ගිය දරුවා ළමා රෝහලේ ශල්‍යාගාරයේ ශල්‍යකර්මයකට භාජනය වු බවද, එම ශල්‍යකර්මය විකලාංග විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදු කරන ලද, රෝහල විසින් නිර්දේශ කරන ලද ශල්‍යකර්මයක් බවද ඒ මහතා පැවසීය. ඉන් අනතුරුව ඇති වු සංකුලතාවයක් නිසා  දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කල බවද එහි ප්‍රතිකාර ලබමින් සිටියදී එම දරුවා මිය ගිය බවද  හෙතෙම කීය.

දරුවා හට ශල්‍යාගාරයේදී භාවිතා කරන ලද propofol එන්නත සම්බන්ධව අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කල බවත් එම නිර්වින්දන එන්නත 20ml හා 50ml කුප්පි වශයෙන් ඇසුරුම් කර තිබෙන අතර එක් කුප්පියකින් දරුවන් කිහිපදෙනෙකුට එම එන්නත ලබා දෙන බවද අධ්‍යක්ෂවරයා පැවසීය. ‌එම මිය ගිය දරුවාට ලබා දුන් එන්නත් කුප්පියෙන් තවත් දරුවන් හතර දෙනෙකුට අදාළ එන්නත ලබා දුන් බවද එම දරුවන්ට කිසිදු සංකුලතාවයක් ඇති නොවූ බවද  ඒ මහතා කීය. සාමාන්‍යයෙන් දරුවකුගේ මරණයකින් පසුව වෛද්‍යවරුන් විසින් මරණයට හේතුව ප්‍රකාශ කරන බවද මෙම දරුවාගේ මරණයට හේතුව  ප්‍රකාශ නොකර විවෘතව තබා මරණ පරීක්ෂණයක් ඉල්ලා ඇති බවද හෙතෙම පැවසීය.

අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා (JMO) වෙත අදාළ පරීක්ෂණය ගොනු කර තිබෙන බවද අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් මියගිය දරුවාගේ කොටස් රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමට යොමු කර තිබෙන බවද  ඒ මහතා තමන් වෙත දැන්වු බවද වෛද්‍ය වීරබණ්ඩාර මහතා කීය. මෙම පරීක්ෂණ වලට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය මගින්ද විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ තීන්දුව අනුව පරීක්ෂණ සිදුකරන බවත්  අධ්‍යක්ෂවරයා පැවසීය.

තවද වයස අවුරුදු එකහමාරක දරුවකුගේ මරණයක්ද සිදු වු අතර ඒ සම්බන්ධව දෙමාපියන් මරණ පරීක්ෂණයක්වත් පවත්වන ලෙසට ඉල්ලීමක්වත් නොකල බවද එම මරණයද  ශල්‍ය දැඩි සත්කාර ඒකකයේදී සිදු වී ඇති අතර එම මරණයට හේතුව දරුවාගේ පෙනහළු වල  ආසාදනයක් බවද වෛද්‍යවරු විසින් මරණ පරීක්ෂණ වාර්තා ලබාදී තිබු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා...

දරුවන්ගේ ශල්‍යකර්ම සදහා භාවිතා කල නිර්වින්දන ඖෂධයත් සමග එම දරුවන් මියයාමේ සම්බන්ධතාවයක් තිබෙන බවට ජනමාධ්‍ය මගින්  චෝදනාවක් එල්ල කලත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවද, මියගිය දරුවන්ගෙන් එක් අයෙකු අවුරුදු දෙකයි මාස පහක දරුවෙක් වන අතර අනෙක් දරුවා අවුරුද්දයි මාස ගණනක දරුවෙක් වන බවද පැවසීය.

එක් දරුවෙක් මැයි  12 වැනි දිනත් අනික් දරුවා මැයි  23 වැනි දිනත් මිය ගොස් තිබෙන බව ද, අවුරුදු දෙකකයි මාස පහක දරුවා ශල්‍යකර්මයකින් පසුව දැඩි සත්කාර  ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙන අතර  අනෙක් දරුවත් දැඩි සත්කාර  ඒකකයේ  ප්‍රතිකාර ලබමින් සිටියදී  මියගොස් තිබෙන බවද කීය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මෙයට පෙර නිර්වින්දන ඖෂධයක් වන bupivacane  දීමෙන් පසුව ඇති වු සංකුලතා හේතුවෙන් දෙදෙනෙකු මිය ගිය අතර මේ වන විට ඒ පිළිබදව පරීක්ෂණයක් සිදු කරන බවද මෙම දරුවන් දෙදෙනාට ඒ ඖෂධය කිසිසේත්ම පාවිච්චි නොකල බවද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.