නීතිය නවීකරණය විය යුතුයි - ඒ්ත් ඒ් කුමකටද?

නීතිය නවීකරණය විය යුතුයි - ඒ්ත් ඒ් කුමකටද?
ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේ සිදුකෙරෙමින් පවතින පනත් සංශෝධන තුළින්  වෘත්තීය සමිති හා සේවක අයිතිවාසිකම් හමුවේ  අභියෝග රාශියක් පැනනැඟී ඇති බව පර්යේෂකයෙකු හා බාහිර කථිකාචාර්යවරයෙකු වන හරීන්ද්‍ර දසනායක පවසයි.
 
රට අර්බුදයක පවතින බැවින් අර්බුදයට පවත්නා එකම විසඳුම මේ යයි තහවුරු කරමින් වැඩකරන ජනතාවටත්, රටටත්, රටේ අනාගතයටත් ඉතා අහිතකර අණ පනත් ගණනාවක් මේ මොහොතේ සම්මත කර ගැනීමේ ක්‍රියාදාමයක පාලකයින් නිරතවී සිටින බව ඔහු කියා සිටියේ පසුගියදා 'වැඩබිම' විසින් සංවිධානය කළ සංවාදශීලි සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.
 
IMF යෝජනා කුමක් වුවද, ආණ්ඩුව උත්සාහ කරනුයේ එකී යෝජනාවන්ට මුවාවී තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරවා ගැනීම හා තමන්ට සහය දෙන සුළු ව්‍යාපාරික හා කර්මාන්ත හිමිකරුවන් පිරිසකගේ අවශ්‍යතාව ඉටුකරන්නට බැව් ඔහු අවධාරණය කළේය.
 
මේ හේතුව නිසා ගෙන එන සංශෝධන යනු පැවති නීතිමය තත්ත්වයටත් ඔබ්බට ගිය අතිශය ඒ්කාධිකාරී, අමානුෂික, දේශපාලන අධිකාරියට සෘජුව යටත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හකුළාදමන නීතිමය අණ පනත් බැව් හෙතෙම නිදසුන් සහිතව පෙන්වා දුන්නේය.
 
මෙහිදී මතුවන ගැටලු කිහිපයක් පිළිබඳ ඔහුගේ අවධානය යොමුවිය.
 
* ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් පවත්නා ආර්ථික අර්බුදය හමුවේ පාලකයින් විසින් ගෙන එනු ලබන විසඳුම් යෝජනා සියල්ලම පාහේ තාක්ෂණික විසඳුම් ලෙස ඉදිරිපත්වීම. මෙහිදී තවත් බහුවිධ පර්යාවලෝකනයන් නොසලකා හැරේ. නිදසුනක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ඔවුන්ගේ යෝජනා ක්‍රියාත්මක කරමින් අර්බුදයෙන් ගොඩට පැමිණි රටවල් පවතිනවා සේම ඒ් නිසාම තව තවත් අර්බුදයට ගිය රටවල්ද පවතී. එබැවින් පවතින්නේ එකම විසඳුමක් හෝ එකම මානයක් නොවන බව අප විසින් අමතක නොකළ යුතුය.
 
* තාක්ෂණික විසඳුම් යෝජනා වුවද, විද්‍යාත්මක, විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මකවීම වෙනුවට හුද විශ්වාස පද්ධතියක් තුළ පමණක් ක්‍රියාත්මක වීම. මේ නිසා යම් කිසි යෝජනාවකින් සාර්ථක ප්‍රතිඵල ලැබේවි යයි නිගමනය කිරීම හුදු විශ්වාසය මත පදනම් වූ කාරණයක් බවට පමණක් ලඝුවී ඇත. මේ නිසාම අසාර්ථක වූ ව්‍යෘාපෘතින් පිළිබඳ ඒ්වායේ හේතු සාධක පිළිබඳ නිවරදි තක්සේරුවක් සපයා ගැනීම මගහැරී යයි..
 
* ප්‍රජාතන්ත්‍රවාදය තුළ එකඟවිය හැකි අවකාශයක් හා සංකල්පීය රාමුවක් තුළ ස්ථාන ගත කිරීම නිසා කිසිවෙකුටත් එරෙහි විය නොහැකි පදනමක් හිමිවීම.
නිදසුන්.
01. පුද්ගල නිදහස උත්තරීතර කොට සැලකීම.
                 (මෙයට විරුද්ධ විය නොහැකි වුවත්, සියුම්ව නිරීක්ෂණය කරන විට මේ තුළ සාමූහික අයිතිවාසිකම් නොසලකා හැරීම දැකිය හැකිය.)
02. පුද්ගලික අංශය වෙත බාරදීම.
                 (පුද්ගලීකරණය සංකල්පයක් ලෙස බැහැරකරලිය නොහැකි වුවත්, මෙහිදී රාජ්‍ය නියාමනය පවා ඉවත් කිරීම බෙහෙවින් අනතුරුදායකය) 
03. ශ්‍රමය බලවේගයක් ලෙස සැලකීම.
             (මෙයද බැලූ බැල්මට වරදක් ලෙස නොපෙනුණත්, මේ තුඝ ශ්‍රමයේ වටිනාකම හෑල්ලු කිරීමත්, ඊට පැවති නීතිමය රැකවරණය අහිමි කරලීම තුළින් නිදහස් වෙළෙඳපොළ තුළ හිතුමනාපෙට සංසරණයවීමට ඉඩදීමත් සිදුවෙයි)
 
* අර්බුදයෙන් ගොඩ ඒ්ම සඳහා ගෙන එනු ලබන විසඳුම් යෝජනා කර්මාන්තමය ( Industrial) වීම වෙනුවට ආයතනික ( Institutional) වීම නිසා අර්බුදයේ ඇතැම් සුළු ගැටලුවකට තාවකාලික විසඳුමක් ලබාදිය හැකි වුවත්, ජාතික වශයෙන් මෙන්ම දීර්ඝ කාලීන වශයෙන්  සලකා බලනවිට එය අර්බුදයෙන් ගොඩඒ්මකට වඩා අර්බුදය වඩාත් තීව්‍ර කිරීමකට ඉඩලබාදෙනු ඇත.
 
 
 මෙවැනි තත්ත්වයක් යටතේ කළ හැක්කේ කුමක්ද යන්න පිළිබඳවද, හරේන්ද්‍ර දසනායකගේ අවධානය යොමුවිය. ඔහු යෝජනා කළ ඇතැම් දේ පහත පරිදි සාරාංශ ගත කළ හැකිය.
 
* IMF මෙන්ම ණය ලබාදෙන අය විසින් පනවනු ලබන ණය කොන්දේසි හා ඒ්වා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සෘජුව එකී ණය ලබාදෙන නියෝජිත පිරිස් සමඟ සාකච්ඡා කොට දේශීය වශයෙන් යෝජනා ඉදිරිපත් කිරීම.
                    මෙහිදී තුර්කිය වැනි රටවලදී IMF සහ world Bank වැනි ආයතන වසර දෙකක් වැනි කාලයක් තුළ තම යෝජනා හකුළාගනිමින් දේශීය යෝජනාවන් කෙරෙහි නම්‍යශීලිත්වයක් දක්වා තිබේ. බොහේ විට මෙහිදී වෘත්තීය සමිති මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් සංවිධානය වී තම නියෝජිතයින් මාර්ගයෙන් මෙවැනි ණය දෙන ආයතන හෝ සංවිධානවල වගකිව යුතු නිලධාරීන් සමග පළමුව සාකච්ඡා කළ යුතුය. බොහෝ විට ඔවුන්ගේ පාර්ශ්වයෙන් හෝ පාලකයින්ගේ පාර්ශ්වයෙන් අදහස් හෝ යෝජනා ඉල්ලන තෙක් නොසිට පළමුව තමන්ගේ පාර්ශ්වයෙන් තමන්ට පවත්නා ගැටළු හා විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීම වඩාත් ඵලදායි වෙි.
 
* දැනුම වර්ධනය කරගත යුතුය.
               වෘත්තීය සමිති විසින් දේශීය වශයෙන් බලපෑමකට ලක්වන විෂය ක්ෂේත්‍රයන් හා ප්‍රදේශ පිළිබඳ නිවරදි දත්ත මත පදනම් වූ තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ විය යුතුය.- ඒ් සඳහා පර්යේෂණ කරන හා රිසර්ච් හබ් එකක් පවත්වා ගැනීම වටියි. ඒ් සඳහා රාජ්‍ය නොවන සංවිධාන හෝ මැදිහත් විය හැකි විවිධ ආයතනවල සහය ලබාගත යුතුය. නිකරුණේ කරුණු දක්වනවාට වඩා නිවරදි දත්ත මත පදනම් වූ විද්‍යාත්මක ක්‍රමවේදියන් ගැන යෝජනාවන් ඉදිරිපත් කරන විට ඒ්වා නොසලකා හරින්නට හැකියාවක් නැත. බලපෑම් කළ හැකි ශක්‍යතාවය ඉහළය.
 
* නිවරදි සටන් හඳුනාගත යුතුය.
             ඇතැම් සටන් මහජන විරෝධී යයි මහජනයා තේරුම් ගෙන ඔවුන්ගේ සහය නොලැබෙන අව්ස්ථාවන්වල ඒ්වා පරාජයට පත්වීම දැකිය හැකි. මෑතකදී අස්වැසුම සටනට උරදුන් බොහෝ වෘත්තීය සමිති මේවන විට අකර්මණ්‍ය වෙමින් පවතින බව දේශකයින්ගේ අදහස විය.  මහජන සහය ලබාගැනීමට නම් එම ගැටලු සාමාන්‍ය මහජනයාට වැටහෙන අයුරින් තේරුම් කරදිය යුතුය. ඒ් සඳහා නිර්මාණාත්මක  සන්නිවේදන වැඩපිළිවෙළක් තිබිය යුතුය.
 
* උපක්‍රම වෙනස් කළ යුතුය.
             (සම්ප්‍රදායික වර්ජන, උද්ඝෝෂණ වෙනුවට නිර්මාණශීලි සටන් කරා යොමුවිය යුතු අතර දේශීය වශයෙන් බේරාගත නොහැකි ගැටලු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහය ලබාගැනීමට කටයුතු කළ යුතුය. ජාත්‍යන්තරය ලවා බලපෑම් කරවිය හැකිය.) 
 
* සන්නිවේදන ක්‍රියාමාර්ග ශක්තිමක් කළ යුතුය.
                ( පාලකයින්ට, බලධාරීන්ට පවත්නා ශක්තියට ප්‍රතිචාර වශයෙන් වෘත්තීය සමිති විසින් උපක්‍රමිකව,නිර්මාණාත්මකව තොරතුරු මහජනයා වෙත ගෙනයාමත්, ඔවුන්ට තමාට වාසි දායක ලෙස කරුණු ඒ්ත්තු ගැන්වීමත් උදෙසා ශක්තිමත් සන්නිවේදන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.
 
* වෘත්තීය සමිති සභාග ගත වීම.
             (පවත්නා අවම කොන්දේසි යටතේ හෝ එකතුවීම හා සාමූහික ක්‍රියාමාර්ග තේරීම)
 
* අවිධිමත් ක්ෂේත්‍රයේ සේවකයින් විධිමත් සංවිධාන ව්‍යුහයකට දිනා ගැනීම හා ඒ් තුළ පවත්නා වාසි සහගත තත්ත්වය පිළිබඳ ඔවුන්ට නිසි අවබෝධයක් ලබාදීමත්, එම ව්‍යාපාරය ශක්තිමත් කිරීමත් කළ යුතුවීම.
 
* Gig economy එක නියෝජනය කරන පිරිස් සංවිධානය කර ගැනීම හා නව තත්ත්වය හඳුනා වෘත්තීය සමිති පෙරමුණු බිහිකර ගැනීම.
 
* බහුවිධ උපාය මාර්ග තෝරා ගැනීම.
          ( ඒ් ඒ් වෘත්තීය ක්ෂේත්‍රයන්ට, ඒ් ඒ් විෂය ක්ෂේත්‍රයන්ට ආවේණික විවිධ හැඩයන් තිබිය හැකි වුවද, එකී බහුවිධ ප්‍රවේශයන් ඒ්කාබද්ධ කෙරෙන වැඩපිළිවෙළකට යා යුතුය).
 
 
රට තුළ මේවන විට ක්‍රියාත්මක වෙමින් පවත්නා පනත් සංශෝධන ක්‍රියාවලින් දෙස බැලිය යුත්තේ මෙම ඉහත පර්යාවලෝකයන් හා කරුණු සිහියේ තබාගෙන බැව් හරීන්ද්‍ර දසනායක මහතාගේ අදහසයි.
 
කම්කරු නීති සංශෝධනය කරමින් "තනි කම්කරු නීතියක්' ගෙන ඒ්ම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට 'ප්‍රති ත්‍රස්ත පනත' ගෙන ඒ්ම, විකාශන අධිකාරී පනත ගෙන ඒ්ම ආදිය පිළිබඳ පුළුල් සාකච්ඡාවක් ආරම්ළ කළ යුතුය. නිදසුනක් ලෙස පවත්නා කම්කරු නීති නවීකරණය වීම පිළිබඳ ගැටළුවක් නොමැති වුවද, නවීකරණය වන්නේ තිබුණාටත් වඩා අන්ත පසුගාමී තැනකට නම් එය කෙසේ හෝ පරාජය කළ යුතුය. මාධ්‍ය නියාමනයක් අවශ්‍ය බැව් සැබෑය. එසේ වුවද, ගෙන ඒ්මට නියමිත විකාශන අධිකාරී පනත තුළින් පවත්නා තත්ත්වයටත් වඩා අන්තරාදායක ලෙස මාධ්‍ය මර්දනයටත්, ඒ් තුළින් ජනතාවගේ තොරතුරු දන ගැනීමේ අයිතියටත් සිදුවන හානිය ඉතා අධික නම් මේ උත්සාහය පරාජය කළ යුතුමය. අනෙකුත් අණ පනත් කෙටුම්පත් ගැන තත්ත්වයද එහෙමමය. මේ නිසා වහාම ක්‍රියාමාර්ග ගත යුතුය.
 
පී.ඩබ් මුතුකුඩආරච්චි