හෙද සේවාවට අලුතින් සිසු හෙද හෙදියන් 3315 ක් පුහුණුවට

හෙද සේවාවට අලුතින් සිසු හෙද හෙදියන් 3315 ක් පුහුණුවට

මෙරට හෙද සේවාව සඳහා තවත් සිසු හෙද හෙදියන් 3315 දෙනෙකු බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මෙලෙස තෝරා ගැනුණු පිරිස සඳහා බඳවා ගැනීමේ ලිපි නිල වශයෙන් ප්‍රදානය කිරීම සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් එම අමාත්‍යංශයේදී හෙට (10) පෙරවරුවේ සිදු කිරීමට නියමිතය.
මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පත්වීම්ලාභීන් පිරිසකට ලිපි ප්‍රදානය සංකේතාත්මකව අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරෙන අතර එයට අමතරව අනෙකුත් සිසු සිසුවියන් සඳහා එදිනම පත්වීම් ලිපි ලබා දීමට පියවර ගෙන තිබේ.
දිවයින පුරා හෙද විදුහල් 15 කදී මෙම සිසු හෙද හෙදියන් සදහා පුහුණුව ලබා දීම සිදු කෙරේ.
2020 කාණ්ඩය සඳහා තෝරාගත් සිසු හෙද හෙදියන් මෙලෙස බඳවා ගැනෙන අතර 2018/2019 උසස් පෙළ ප්‍රතිඵල අනුව මෙවර සිසුන් 3315 දෙනෙකු සිසු හෙද පුහුණුව සඳහා සුදුසුකම් ලබා ඇත.
එමෙන්ම 2019/2020 උසස් පෙළ ප්‍රතිඵල අනුව සිසු හෙද හෙදියන් තෝරා ගැනීම සදහා වන ගැසට් නිවේදනයද ලබන අගෝස්තු මාසය තුළදී නිකුත් කිරීමට සැලසුම් කර ඇත.