සෞඛ්‍ය ඇමතිවරයා වහා ඉවත් කළ යුතු යයි පුරවැසි ඉල්ලීමක්

සෞඛ්‍ය ඇමතිවරයා වහා ඉවත් කළ යුතු යයි පුරවැසි ඉල්ලීමක්

TISL ආයතනය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සඳහා අවසාන තීන්දුව ලබා දෙන තෙක් සහ පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලබන ස්වාධීන පරීක්ෂණ කමිටුවක් විසින් මෙම ඖෂධ වංචා පරීක්ෂාකර අවසන් කරන තෙක් පාර්ලිමේන්තුවට වග කියන්නාවූ විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවත්වා ගැනීමට වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා වහා ඉවත් කිරීමේ ජනතා ව්‍යාපාරයකට නොපමාව මුල පුරන ලෙසත් ඉල්ලා, දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දී කුසල් පෙරේරා මහතා විසින් විපක්ෂ නායක සහ ස.ජ.බ නායක සජිත් ප්‍රේමදාස පා.ම., දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් පා.ම. , ජ.වි.පෙ සහ ජා.ජ.බ නායක අනුර කුමාර දිසානායක පා.ම., ශ්‍රී ලං. මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් පා.ම. මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපිය පහතින් දැක්වේ,

සෞඛ්‍ය අර්බුදය හා සෞඛ්‍ය ඇමති රඹුක්වැල්ලට එරෙහි විපක්ෂයේ ස්ථාවරය සම්බන්ධවය

අපගේ රෝහල්වල දැන් වර්ධනය වන අර්බුදය සම්බන්ධයෙන් නිල පාර්ලිමේන්තු විපක්ෂය වශයෙන් ඔබලාගේ පාර්ලිමේන්තු මැදිහත්වීම මා අගය කරන බැව් පළමුව කිව යුතුය. එමගින් හෙළිදරව් වූ ඖෂධ මිලට ගැනීමේ දී සිදුවූ යෝධ දූෂණ, මිලට ගැනීමේ පටිපාටිය අත හැර දැමීම, ඖෂධවල ගුණාත්මක ප්‍රමිතිය හා ඒවායේ රෝග නිවාරණ බලපෑම ආදියට අදාලව දැන් ස්වාධීන පරීක්ෂණයක අවශ්‍යතාව සමග අමාත්‍යාංශයේ දේශපාලන නායකත්වය වහා වෙනස් කිරීමේ අවශ්‍යතාවයද ඇත. එහෙත් සිදුවන්නේ ඊට ප්‍රතිවිරුද්ධයකි. ඖෂධ මිලට ගැනීමේ යෝධ වංචාවට වගකිව යුතු යැයි නම් කෙරෙන සෞඛ්‍ය ඇමතිවරයාම එම දූෂණ සොයා බැලීමේ කමිටුවක් පත් කර ඇත.

රජයේ රෝහල් සහ බාහිර රෝගීන් සඳහා ඖෂධ මිලට ගැනීමේ මෙම යෝධ දූෂණය සම්බන්ධව ජනතාවගේද කණස්සල්ල ඉස්මතු කරමින් “ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා” (TISL) ආයතනය විසින් ඉකුත් පෙබරවාරි 16 වන දින මූලික අයිතිවාසිකම් පෙත්සමක් (SC/FR 65/2023) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලදී. එම පෙත්සමෙන් ඔවුන් වග උත්තරකරුවන් සියල්ලන්ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට යටත් කෙරෙන අයුරු ඉල්ලා සිටියේ පෙත්සමෙහි සඳහන් 45 වන වග උත්තරකරුගෙන් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති ඖෂධ වර්ග 38 එසේ ආනයනය කිරීම නීති විරෝධී, අනීතික, අත්තනෝමතික, වග විභාගයකින් තොර සහ නීතිය හමුවේ වලංගු නොවන්නේ යැයි තීන්දු කරන මෙනි.

එහි වඩාත් වැදගත් වන්නේ TISL ආයතනය විසින් සෞඛ්‍ය ඇමති රඹුක්වැල්ල සමස්ථ ඖෂධ දූෂණයට ආරම්භයේ සිටම හවුල්වී ඇතැයි චෝදනා කිරීමට හැකි අයුරු සැළකිය යුතු තොරතුරු හා සාක්ෂි ප්‍රමාණයක් ගොනුකර තිබීම ය. ඒ අනුව ඔවුන්ගේ පෙත්සමෙහි “වෛද්‍ය සැපයුම් මිලට ගැනීමේදී අනෙකුත් කාරණා වලට අමතරව ඉතා නින්දිත අයුරු අදාල පටිපාට අවභාවිත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව මෙම පෙත්සම්කරුවන් අල්ලස් කොමිසම හමුවේද 2023 පෙබරවාරි 14 වන දින පැමිණිල්ලක් කර ඇතැයි” (අංක 119) සඳහන්කර ඇත.

මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි සඳහන් ඒ සියල්ල සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශපාලන නායකත්වය වහා වෙනස් කිරීමේ අවශ්‍යතාව මතුව ඇතත් ගරු ජනාධිපති එය මග හැර ඇති හෙයින්, ස්වාධීන පරීක්ෂණයකට සහ විසඳුම් වෙනුවෙන් ඉන් ඉඩ තැබෙන්නේ නැත.

විවිධ පාර්ශවයන්ට ජනතා අවශ්‍යතා සඳහා විසඳුම් ලබා ගැනීමේදී යොදා ගත හැකි ක්‍රියාදාම දෙකක් ඇත. එකක් TISL ආයතනය යොදා ගන්නා අධිකරණ ක්‍රියාවලිය වන්නේය. අනෙක ජනතා නියෝජනය වෙනුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සහ ජනතාවට සෘජුව වගකිව යුතු දේශපාලන පක්ෂ විසින් යොදා ගත යුතු දේශපාලන මැදිහත් වීමය.

ජීවිත හා සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ මෙම පෙත්සම සම්බන්ධයෙන් දැකිය හැකි අයුරු, සිවිල් සංවිධාන හා පුරවැසියන් යොමුවන අධිකරණ ක්‍රියාවලියට, නිසි අයුරින් ඉදිරිපත් කෙරෙන පෙත්සම් විභාගය සඳහා සැළකිය යුතු කාලයක් වැය වන්නේය. TISL ආයතනය ගොනු කළ මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා තීන්දු කිරීමට ශේෂ්ඨාධිකරණයට මාසයකුත් දින 20 ක් ගතව ඇත. මේ වනවිට මාස 05 ක් ගතව තිබුණත් මෙම පෙත්සම් විභාගය තවමත් අවසන් නැත. මේ අතරවාරයේ රජයේ රෝහල්වල භාවිත කෙරෙන ඇතැම් ඖෂධ හේතුවෙන් බිළින්ඳන් සහ යෞවනීන්ද සමග සැළකිය යුතු පුද්ගලයින් සංඛ්‍යාවක් අතුරු ආබාධ වලට නතු වීමත් ඇතැමුන් මිය යෑමත් සම්බන්ධ ප්‍රවෘත්ති නිරන්තරව ඇසෙන්නට ලැබෙන්නේය. ඒ අනුව මෙය වහා විසඳුම් අවශ්‍ය ඛේදවාචකයක් බවට පත්ව ඇත.

සිවිල් සංවිධාන හා පුද්ගලයින් නීති ප්‍රකාර බලාපොරොත්තුවන සහන සහ විසඳුම් වලට ස්වාධීනව, ජනතාවට දේශපාලනිකව වහා විසඳුම් ලබා දීමේ වගකීම එබැවින් ජනතා නියෝජනය සඳහා පාර්ලිමේන්තුවට පත් කෙරෙන දේශපාලන පක්ෂවල නායකයින් බාරගත යුතුය. එය පාර්ලිමේන්තුවේ කෙරෙන විවේචන හා හෑල්ලු කිරීමෙන් ඔබ්බට යා යුත්තකි. අවමංගල්‍ය කටයුතු කරනවුන් රෝහල් ඉදිරිපිට ඇත්තේ ඒ වෙනුවෙන් යැයිද යථාර්තය එය යැයිද කිසිදු හිරකිතයක් නොමැතිව මනුස්ස ජීවිත බාල්දු කළ ඇමතිවරයාගේ ඉල්ලා අස්වීම වහා අවශ්‍යවන මේ මොහොතේ, ඔහුට එරෙහිව විපක්ෂය යෝජනා කරන විශ්වාස භංග යෝජනාව කිසිසේත් ජනතාවට උත්තරයක් නොවන්නකි. විශ්වාස භංගය සඳහා පාර්ලිමේන්තුවේ ගණන් හිලව් කවරක් වූවත් ඔහුව වහා ඉවත් කළ යුතුව ඇත.

ජනතාවට අවශ්‍ය විසඳුම් කිසිවක් ලබා ගත නොහැකි පාර්ලිමේන්තු කතා වලට සීමා නොවී, විපක්ෂය විසින් ජනතාව ඇමතිය යුතු දේශපාලන මොහොතකට අපි පැමිණ ඇත්තෙමු. ඊළඟ මැතිවරණය තෙක් “ජනතා හඬ” නියෝජනය වන්නේ පාර්ලිමේන්තුවේ යැයි එහි කොටුවී ජනතාව අත හැරීම, සියලු දේශපාලන පක්ෂ සතු අනුවණ කමකි. මැතිවරණ දෙකක් අතරතුර කාලයේ බොහෝ ආණ්ඩු මගින් විසඳුම් ලබා ගැනීමට නම්, ඔවුන්ට බලපෑම් කළ යුතුව ඇත. එය දේශපාලන පක්ෂ විසින් ජනතාවගේ “සාමුහික බලය” පිළිබඳව විශ්වාසය තැබිය යුතු කාරණාවකි.  

මරණ සංඛ්‍යාවක්ද සමගින්වන මේ සෞඛ්‍ය අර්බුදය එවැනි සමාජීය ඉල්ලීමක් ගොනු කරන්නකි. සෞඛ්‍ය ඇමතිවරයා ඉල්ලා අස්නොවන්නේ නම්, ඔහුව වහා අස් කරන්නට ජනාධිපතිට බල කෙරෙන්නකි. සෞඛ්‍ය ඇමතිවරයා වහා ඉවත් කිරීමේ ඒ ජනතා ඉල්ලීම වෙනුවෙන් මේ මොහොතේ ඉදිරිපත්වීම, ඔබලාගේ දේශපාලන වගකීම යැයි මම කියමි. තව දුරටත් පාර්ලිමේන්තුවේ කතා පැවැත්වීම් කළ හැකිය. එනමුත් විසඳුම් ලබාගත හැක්කේ ජනතාවගේ සාමුහික ශක්තිය මත පමණි. අවසන් වශයෙන් මෙයද කිව යුතුය. පාර්ලිමේන්තු දේශපාලනයේදී වූවත්, පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා ශක්තියක් නොමැතිව පාර්ලිමේන්තුවට සීමාවන විපක්ෂයක් සමාජ වටිනාකමක් ඇති විපක්ෂයක් නොවේ.

එනිසා, මා ඔබලාගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් TISL ආයතනය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සඳහා අවසාන තීන්දුව ලබා දෙන තෙක් සහ පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලබන ස්වාධීන පරීක්ෂණ කමිටුවක් විසින් මෙම ඖෂධ වංචා පරීක්ෂාකර අවසන් කරන තෙක් පාර්ලිමේන්තුවට වග කියන්නාවූ විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවත්වා ගැනීමට වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා වහා ඉවත් කිරීමේ ජනතා ව්‍යාපාරයකට නොපමාව මුල පුරන මෙන් ය.

ස්තුතියි.

මෙයට විශ්වාසි,

කුසල් පෙරේරා

දේශපාලන ලේඛක 

Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.