නිදහස් සෞඛ්‍ය බිඳවැටීම වැළැක්වීමට රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරන්න - වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

නිදහස් සෞඛ්‍ය බිඳවැටීම වැළැක්වීමට රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරන්න - වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව ඖෂධ හිඟය, ඉහළ යන ඖෂධ වල මිල, ප්‍රමිතිය අඩු ඖෂධ පිළිබඳ චෝදනා, උපකරණ ක්‍රියා විරහිත වීම සහ මානව සම්පත් අහිමි වීම යන පංචවිධ අර්බුදයන් හමුවේ නුදුරු අනාගතයේදීම බිඳවැටීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බවත්, වෛද්‍යවරුන් රට හැර යාම හමුවේ නිදහස් සෞඛ්‍ය සේවාව බිඳ වැටීම වැළැක්වීමෙහිලා රාජ්‍ය ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අවධානරණය කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

මෙම අර්බුද අතරින් ඖෂධ සහ උපකරණ ගැටළුව ආශ්‍රිත කරුණු සඳහා කෙටි කාලීන ක්‍රියාමාර්ග ඔස්සේ විසඳුම් ලබා දිය හැකි වුවත් මානව සම්පත කළමනාකරණය පිළිබඳ ගැටලුව දීර්ඝ කාලීන දැඩි බලපෑම් ඇති කරන බව වටහා ගත යුතුය. විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍යවරුන් ඇතුළු අත්දැකීම් සපිරි සෞඛ්‍ය සේවකයින් බිහිකිරීම දීර්ඝ කාලීන සහ සංකීර්ණ  ක්‍රියාවලියකි.

පවතින ආර්ථික අර්බුදය, ජීවන වියදම ඉහළ යාම සහ සමාජ දේශපාලන අස්ථාවරත්වය හමුවේ  මෙරට විශේෂඥ වෛද්‍යවරුන් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් වේගයෙන් රට හැර යමින් පවතින බව නොරහසකි. ගෙවුණු 2022 වර්ෂයේ සිට මේ දක්වා වෛද්‍යවරුන් දහසකට අධික ප්‍රමාණයක් පද්ධතියෙන් ඉවත්ව ගොස් ඇති බව තොරතුරු ඇත. ඒ හේතුවෙන් දැනටමත් මෙරට පර්යන්ත රෝහල් පද්ධතියේ රෝගී සත්කාර සේවාවන් පවත්වා ගැනීම දැඩි අභියෝගයක් බවට පත්ව ඇත. මෙම ප්‍රවණතාවය ඉදිරියටත් පැවතියහොත්, මෙරට පර්යන්ත රෝහල් පද්ධතිය පමණක් නොව සමස්ත සෞඛ්‍ය සේවාවම දරුණු බිඳ වැටීමකට ලක් වීමේ දිනය වැඩි ඈතක නොවනු ඇත.

අනීතික තර්ජන සහ නීති පැනවීම් වලට වඩා රට තුළ වෛද්‍යවරුන් රැඳී සිටීම දිරිමත් කිරීම වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම අවධාරණය කර ඇත. මේ සම්බන්ධයෙන් කරුණු අටකින් සමන්විත අපගේ යෝජනාවලිය පසුගියදා එළි දැක්වුණු අතර ජනාධිපතිතුමන් ඇතුළු සියලු පාර්ශව වෙත මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇත.

අධික ජීවන වියදම, ඉහළ ණය පොලී අනුපාත මෙන්ම අධික ප්‍රවාහන වියදම් හමුවේ ආර්ථික අර්බුදයට මුහුණ දී ඇති වෛද්‍යවරුන් වෙනුවෙන් වෙළෙඳපොළ වටිනාකම සහ කාර්ය සාධනය පදනම් කරගත් නව වැටුප් ව්‍යුහයක් හඳුන්වා දීම ප්‍රමුඛ යෝජනාවකි. එමෙන්ම වෛද්‍යවරුන්ගේ නේවාසික පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කිරීම, දුෂ්කර සේවා ස්ථානයන්හි සේවය කරන වෛද්‍යවරුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම, වෘත්තීය අභිවෘද්ධිය ඉහල නැංවීම සහ පශ්චාත් උපාධි අධ්‍යයන අවස්ථාවන් පුළුල් කිරීම, අසාධාරණ බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම මෙන්ම ඖෂධ හිඟය විසඳීම ආදි කරුණු පදනම් කරගත් වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක වීම ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගැනීම වෙනුවෙන් බෙහෙවින්ම ඉවහල් වනු ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත් කර ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බුද්ධිගලනයට විසඳුම් සෙවීමේ කමිටුව හරහා මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් කඩිනමින් ප්‍රකාශයට පත් විය යුතු බව අපගේ හැඟීමයි.

ලෝකය ඉදිරියේ ශ්‍රී ලාංකීය නාමය ඉහළින්ම ඔසවා තැබූ මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ජීවනාලිය වන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් රැකගැනීම, නිරෝගිමත් සහ ශක්තිමත් අනාගත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මේ මොහොතේ රජය ඇතුළු සියලු බලධාරීන්ගේ ප්‍රමුඛතම වගකීමයි.