නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ගැන පැමිණිලි කිරීමට වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ කොමිසමට

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ගැන පැමිණිලි කිරීමට වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ කොමිසමට

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රතික්ෂේපිත අනුමැතිය සහිතව තවදුරටත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  වෛද්‍ය සේවා - II තනතුරේ වැඩ බලන වෛද්‍ය ජී. විජේසූරිය මහතා වෙත අදාල රාජකාරි වෙනුවෙන්  පිළිගත නොහැකි  අයුරින් වැටුප්  දීමනා වරදාන වරප්‍රසාද ලබාදීම සම්බන්ධයෙන්  අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත  පැමිණිලි කිරිමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් දැනුවත් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්, වෛද්‍ය සේවා - II,  වෛද්‍ය ජී. විජේසුරිය මහතා  රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රතික්ෂේපිත අනුමැතියක් මධ්‍යයේ තවදුරටත් එම තනතුරේ තබා ගැනීමේ සදාචාර විරෝධී හා අනීතික ස්වභාවය පිළිබද  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස දිගින් දිගටම කරුණු පෙන්වා දී ඇත.

එලෙසින් කරුණු පෙන්වා දී ඇති  පසුබිමක  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඔබ ඇතුලු නිලධාරින්  කිහිපදෙනෙකුගේ ආශිර්වාදය මත මෙම නිලධාරියා තවදුරටත් එම තනතුරේ රාජකාරි සිදු කරන බව අප සංගමයේ සාමාජිකත්වයේ  අදහසයි.

තත්ත්වය තවදුරටත් බැරෑරුම් වනුයේ වෛද්‍ය ජී. විජේසුරිය මහතා විසින් විධිමත් අනුමැතියකින් තොරව තනතුරේ රාජකාරි කිරීම සදහා වන වැටුප් දීමනා හා අනෙකුත් වරදාන වරප්‍රසාද සියල්ල මේ දක්වාම ඔහු වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දිමයි.

මේ හරහා  රාජ්‍ය සේවයේ මූල්‍ය  රෙගුලාසි මෙන්ම දෙපාර්තමේන්තු චක්‍රලේඛ පවා බරපතල ලෙස අභියෝගයට ලක්වන බව පෙන්වා දෙමි.

ඒ අනුව තවදුරටත් මෙම අනිතික ධූරය හෙබවීම වෙනුවෙන් වෛද්‍ය ජී. විජේසුරිය මහතා වෙත වැටුප් දීමනා  හා වරප්‍රසාද  ලබා දීමට කටයුතු කරනුයේ නම්  අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා ලෙස  ඔබට විරුද්ධව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත විධිමත් පරිදි පැමිණිලි කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කරන ලදී.

මේ පිළිබදව ඔබගේ ප්‍රමුඛ අවධානය  යොමු කොට පවතින අසතුටුදායක තත්ත්වය නිවැරදි කිරිම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා මෙන් අවධාරණය කරමු.