‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව’ ගැන මැතිවරණයට තරග කරන කිසිම පක්ෂයක් තම මතය හෙළි කර නෑ - මහාචාර්ය අර්ජුන පරාක්‍රම

prof-arjuna-parakrama

 නිදහස් අධ්‍යාපනය විනාශ කරන ‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව‘ තවදුරටත් ඉදිරියට ගෙනයනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වත්මන් රජය සහ මැතිවරණයට ඉදිරිපත් වන සියලු දේශපාලන පක්ෂ සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කළ යුතු යැයි මහාචාර්ය අර්ජුන පරාක්‍රම ප්‍රකාශ කරයි. මහාචාර්යවරයා එසේ ප්‍රකාශ කළේ, (ඔක්. 30) දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැති, අධ්‍යාපන සංවර්ධන සංධාන විසින් කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

ඉහත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කිසිදු විනිවිධභාවයකින් තොරව, හිටපු ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත මත පත් කළ 25 දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් සකස් කළ එකක් බවත්, ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් ඇතුළු සිවිල් සමාජයේ විවිධ පාර්ශ්ව දැක්වූ විරෝධය, පැවති රජය මුළුමනින්ම නොතකා හැර, පාර්ලිමේන්තුවේ අනුමැතියකින් පවා තොරව එය ක්‍රියාත්මක කරමින් පවතින බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ ඇති නිදහස් අධ්‍යාපනයට හානිකර කරුණු රැසක් අනාවරණය කළ මහාචාර්යවරයා, මෙම ප්‍රතිපත්ති රාමුව මෙරට අධ්‍යාපනය සම්බන්ධ කිසිදු ගැටලුවකට නිසි විසඳුමක් ඉදිරිපත් නොකරන බවද එමගින් ඉටු කෙරෙන්නේ අධ්‍යාපන ව්‍යාපාරිකයන්ගේ සහ ප්‍රභූ පන්තියේ අවශ්‍යතා පමණක් බවද ප්‍රකාශ කළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ මැතිවරණයට ඉදිරිත්ව සිටින කිසිදු පාර්ශ්වයක් මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් කුමන පිළිවෙතක් අනුගමනය කරන්නේද යන්න පැහැදිලි නොකිරීම කනගාටුවට කරුණක් බවයි.

මාධ්‍ය හමුව ඇමතූ අධ්‍යාපන සංවර්ධන සන්ධානයේ සභාපති ආචාර්ය චන්දන බණ්ඩාර ප්‍රකාශ කළේ, මහ මැතිවරණයක් කැඳවා ඇති තීරණාත්මක අවස්ථාවක, රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්දැයි මහජනතාවට හෙළි කිරීම රජය සහ සියලු දේශපාලන පක්ෂවල වගකීමක් වන අතර එය අවධාරණය කිරීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවූ බවයි. රටට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව පිළිබඳව තම සංවිධානය වසර 20ක පමණ කාලයක සිට පැවැති විවිධ රජයන්ට විධිමත්ව කරුණු ඉදිරිපත් කර ඇති බව පැවසූ සභාපතිවරයා, එවැනි ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්වවල සහභාගීත්වයෙන් බවද අවධාරණය කළේය.

ගුරු සංවිධාන ක්‍රියාකාරිනියක වන ප්‍රභාෂිණී ශ්‍රියාරත්න, සිවිල් සමාජ ක්‍රියාකාරික කමල් හේරත්, අධ්‍යාපන සංවර්ධන සන්ධානයේ ජාතික සංවිධායක ශාන්ත කුලතුංග යන අයද අදහස් දැක්වූහ.