පුද්ගලික අංශයේ සේවකයින්ගේ ඡන්දය දීමට නෛතික පහසුකම් ඉල්ලයි

right-to-vote

පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට ඔවුන්ගේ ඡන්දය භාවිත කිරීම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් නෛතිකව සහතික කිරීම සම්බන්ධවය නිදහස් වෙළඳ කලාප සහ       පොදු සේවා සේවක සංගමය කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පිළිගත් වෘත්තීය සමිතියක් ලෙස අප සංගමය නියෝජනය කරනුයේ පෞද්ගලික අංශයේ විශේෂයෙන් අපනයනය සඳහා නිෂ්පාදන කටයුතු කෙරෙන නිදහස් වෙළඳ කලාප සහ ආයෝජන මණ්ඩලය යටතේ ස්ථාපිත කෙරුණු ආයතනවල සේවක සේවිකාවන්ය.

සර්වජන ඡන්දය මූලික අයිතියක් සහ ඡන්දය භාවිත කිරීම සමාජ වගකීමක් වන නමුත් පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට ඒ අයිතිය, වගකීම ඉටු කිරීමේ ඇති බරපතල ගැටළු හැම මැතිවරණයකදී මෙන්ම ඉකුත් සැප්තැම්බර 21 වන දින ජනාධිපතිවරණයේදීද පැවතින. එවගේම එම ගැටළු, දැනට නොවැම්බර් 14 වන දිනට නියමව ඇති පාර්ලිමේන්තු මැතිවරණයේදීද එළෙසින්ම පවතිනු ඇත.

ඔබද දන්නා පරිදි ඉහත දැක්වෙන ක්‍ෂේත්‍රවල සේවක සේවිකාවන් අති බහුතරය, දුර බැහැරින් පැමිණි සංක්‍රමණික ශ්‍රමිකයින්ය. ඔවුන්ගේ ගැටළු කෙටියෙන් සඳහන් කරන්නේ නම්,

  1. තරුණ කාන්තාවන් බහුතරයක් රැකියා කරන්නේ විවාහය තෙක් පමණි
  2. තාවකාලික නවාතැන් ලබා සිටින ඔවුන්ට ඒ ලිපිනවල ගෘහ මූලික ලැයිස්තුවලට ඔවුන්ගේ නම් ඇතුළු කළ නොහැකිය
  3. එනිසා ඔවුන්ට ගමේ දෙමාපිය ගෘහමූලික ලේඛනයෙහි තම නම් තබා ගැනීමට සිදුව ඇත
  4. එම හේතුව නිසා ඔවුන්ට විශේෂ නිවාඩු පහසුකම් නොමැතිව ඡන්දය දීමට, ගමට යා නොහැක

පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 සැප්තැම්බර් මස 09 වන දින නිකුත් කරන ලද නිවේදනයෙන් පෞද්ගලික අංශයේ සේවකයින් හට ඡන්දය භාවිත කිරීමට විශේෂ නිවාඩු ලබා දිය යුතු යැයි ද එසේ නිවාඩු ලබා දීමේදී දුර ප්‍රමාණය සළකා උපරිම වශයෙන් දින තුනකට නිවාඩු සීමා කිරීමට ද උපදෙස් ලබා දී තිබිණ.

එහෙත් ඒ නිවාඩු දින ගණනය කිරීම සම්බන්ධ අර්ථ දැක්වීමක් නොවුණි. ඉන් ඇතිවූ ගැටළුවක් වූයේ පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද දිනයට පසු දින, දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ ද රජයේ සේවකයින්ට දෙනු ලැබූ නිවාඩුව පෞද්ගලික අංශයට ලබා නොදුන්

නිසා, සැප්තැම්බර් මස 23 වන සඳුදා දින පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සේවයට වාර්තා කළ යුතුව තිබිණ. ඒ සඳහා කලින් දින පැමිණිය යුතු වූවත් ඇඳිරි නීතිය හේතුවෙන් ප්‍රවාහන සේවා නොවූයෙන් සැප්තැම්බර් මස 23 වන දින සේවයට වාර්තා කිරීමට නොහැකි වූ පෞද්ගලික අංශයේ අති මහත් සේවක සංඛ්‍යාවකට එම දිනය  සඳහා ඉතිරිව තිබූ නිවාඩු භාවිතා කිරීමටත්, නිවාඩු ඉතිරිව නොතිබූ සේවකයින්ට එම දිනය පඩි රහිත නිවාඩු දිනයක් ලෙස යොදා ගැනීමටත් සිදුවිය. එබැවින් බොහෝ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට ඔවුන්ගේ “පැමිණීමේ මාසික දීමනාව” සම්පූර්ණයෙන්ම හෝ එහි කොටසක් අහිමි විය. සමහර ආයතනවල වාර්ෂික පාරිතෝෂික මුදලින් ද ඒ සඳහා අඩු කරන බව වාර්තා වී ඇත.

එවැනි ගැටළු සැළකිල්ලට ගෙන නිදහස් වෙළඳ කලාප ඇතුළු පෞද්ගලික අංශයේ සේවකයින්ට තම ඡන්ද අයිතිය භාවිතා කිරීම සඳහා පහත දැක්වෙන පහසුකම් අපි යෝජනා කරන්නෙමු.

01.       ඡන්දය භාවිත කිරීමට ගම යෑමට සිදුවන සේවක සේවිකාවන් සඳහා දුර ප්‍රමාණය සැළකිල්ලට ගෙන පඩි සහිත නිවාඩු නෛතිකව ලබාදීම

02.       එකී නිවාඩු දින ගණනය කිරීමේදී රජයේ නිවාඩු දින ඊට ඇතුළත් නොවන්නේ යැයි තීන්දු කිරීම

03.       විශේෂ හේතුන් මත මැතිවරණ දිනට පසු දිනය හෝ දින කිහිපයක් රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරෙන්නේ නම්, ඒ දින පෞද්ගලික අංශ සේවක සේවිකාවන්ටද අදාල යැයි තීන්දු කිරීම

04.       ඡන්දය ලබා දීම සඳහා මග වියදම් දරමින් දුර බැහැර ගම් බලා යාමට අකමැති අය වේ නම්, ඔවුන්ට රජයේ සේවකයින්ට මෙන් තැපැල් ඡන්ද භාවිතය සඳහා නිල පහසුකම් සැපයීම

ඡන්දය සියලු පුරවැසියන්ගේ මූලික අයිතියක් වන හෙයින්, එය භාවිත කිරීමේ පහසුකම් සහතික කිරීම් වස් පියවර ගැනීම මැතිවරණ කොමිසම සතු වගකීමක් යැයි අප විශ්වාස කරන බැවින්, ඉහත යෝජනා ඉදිරිපත් කරන අතර, ඒ සම්න්ධයෙන් ඔබ කොමිසම සමග සාකච්ඡා කිරීමට නොපමාව දිනයක් හා වේලාවක් ලබා දෙන මෙන්ද මෙයින් ඉල්ලමු.