2026 වසර සඳහා ඉදිරිපත් කර ඇති අය වැය යෝජනා සම්බන්ධව ලංකා බැංකු සේවක සංගමය විසින් නොවැම්බර් 10 දින සිදුකළ මාධ්‍ය සාකච්ඡාව හා බැදුණු සවිස්තරාත්මක මාධ්‍ය නිවේදනයක් ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක අත්සනින් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින් දැක්වේ.
- අපේ රටේ පාර්ලිමේන්තු ක්‍රමවේදයට අනුව නිදහසින් පසුව බිහි වූ සෑම ආණ්ඩුවක්ම අය වැය යෝජනා ඉදිරිපත් කර ඇත. නමුත් එම සියලු යෝජනා, යෝජනා පමණක්ම වුණි. රටට සිදු වූ යහපතක් නැත. සංවර්ධනයක් සිදුවූවේ නැත. ඒ අනුව මෙවර ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවට ද එම ප්‍රතිඵලය උරුම කර නොදී යථාර්ථයක් කරන ලෙසට පළමුවෙන්ම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.
- මෙවර අයවැය ආණ්ඩුව කරවන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති, ආණ්ඩුව බලයට පත්කිරීමට උරදුන් ජනතාවගේ අපේක්‍ෂා හා ශ්‍රී ලංකා රාජ්‍යය මත පතිතව ඇති ජාත්‍යන්තර ණය දෙන ආයතනයන්හි රෙගුලාසි යන කරුණු මත දෝලනය වෙමින්, නව ලිබරල්වාදය මත පිහිටා එයට මානුෂීය මුහුණුවරක් ලබාදීමට උත්සාහ දරා ඇති අය වැයක් ලෙස අපට පෙනි යයි.
අප සුපුරුදු ලෙස අයවැයට පෙර ආණ්ඩුව වෙත ඉදිරිපත් කළ කරුණු 6 ක් යටතේ වූ යෝජනා 23 අතුරින් ජාතික ආර්ථිකය, මූල්‍ය ක්‍ෂේත්‍රයේ දායකත්වය හා දුෂණය පිටුදැකීම යන කරුණු කෙරේ යම් අවධානයක් යොමුව තිබුණද රාජ්‍ය බැංකු හා එහි සේවක ප්‍රජාව සහ කම්කරු අයිතීන් යන කාරණා කෙරේ කිසිදු අවධානයක් මෙවර අයවැය තුළ යොමු වී නැත.
මෙවර අයවැය යෝජනාවලියෙහි වියදම් යෝජනා 62 ක් තුළ යම් මට්ටමක ප්‍රගතිශීලී හා සංවර්ධනාත්මත යෝජනා ගණනාවක් තිබුණද පසුගිය 2025 අයවැය ද ඇතුළු පොදුවේ අයවැය යෝජනා සළකා බැලීමේදී ඒවා බොහෝමයක් ක්‍රියාත්මක නොවූ බව පෙනීයන බැවින් මෙවර යෝජනා තුළින් එම මූල්‍ය වෙන් කිරීම් හා ප්‍රතිලාභ රටේ ජනතාව ඇතුළු අවශ්‍ය අංශ කෙරේ නිසි ලෙස යොමු වන්නේද යන්න පිළිබඳව ආණ්ඩුව සැළකිලිමත් විය යුතු අතර, වෘත්තීය සමිති හා ජනතාවද ඒ ගැන දැඩි අවධානය යොමු කළ යුතුය.
- මෙවර අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ට අහිමි කරන ලද විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ නැවත ස්ථාපිත කිරිමට යෝජනා කර ඇත. 1996 දී රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අහිමි කරන අවස්ථාවේ රාජ්‍ය බැංකු සේවකයින්ට ද එවකට හිමිව තිබූ එම ප්‍රතිලාභ අහෝසි කරන ලදී. 2014 වසරේදී සංගමය මැදිහත්වීමෙන් ප්‍රධාන රාජ්‍ය බැංකු 3 හි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ නැවත ස්ථාපිත කළද එම ප්‍රතිලාභ බරපතල අඩුපාඩු සහිතව පවත්වාගෙන යයි. තවද අනිකුත් රාජ්‍ය බැංකුවල විශ්‍රාම වැටුප් ක්‍රමවේද මේ වනතුරුත් ස්ථාපිත කර නොමැත.
සංගමය මෙවර අයවැය යෝජනාවලිය හරහා 2016 වසරේ සිට පැවැති අඩුපාඩු නිවැරදි කරමින් රාජ්‍ය සේවකයන්ට යළි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිකර දීම පිළිබඳව දැඩි ප්‍රසාදය පළ කරන අතර, එම ක්‍රමවේදයට අනුව යමින් රාජ්‍ය බැංකු සේවකයන් වෙතද සංගමය යෝජනා කර ඇති පරිදි විශ්‍රාම ප්‍රතිලාභ නොපමාව ලබාදෙන ලෙස දැඩි ලෙස ඉල්ලා සිටිමු. මේ වනවිටත් රාජ්‍ය බැංකු සේවකයින්ට හිමි විය යුතු විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ පිළිබඳව යෝජනා සංගමය විසින් භාණ්ඩාගාරයට ඉදිරිපත් කර ඇති අතර, එම යෝජනා කමිටු වෙත යොමු කොට දිගින් දිගටම ප්‍රමාද කරමින් කටයුතු කරන ආකාරය දකින්නට තිබේ. එසේ නොකොට හැකි ඉක්මණින් රාජ්‍ය බැංකු සේවක විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ නිසි පරිදි ස්ථාපිත කිරීමට සංගමය බලකර සිටී. එසේම මෙවර අයවැය සම්මත කිරීමට පෙර ඒ සඳහා වගන්තියක් ඇතුලත් කරන මෙන් ඉල්ලා සිටිමු.
- රටේ ආර්ථිකය බිඳවැටීමෙන් පසු ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමට යැයි කියමින් පසුගිය වික්‍රමසිංහ පාලනය විසින් වෘත්තිකයන්ට දරාගත නොහැකි මට්ටමින් උපයනවිට බදු (APIT) අය කිරීම සිදුකරන ලදී. සංගමය එසේ බදු අය කිරීම ප්‍රතික්‍ෂේප නොකළ නමුදු එම අය කරනු ලබන බදු ප්‍රතිශත දරාගත නොහැකි මට්ටමේ ඉහළ අගයක් වීම නිසා දරාගත හැකි මට්ටමට පහත හෙලන ලෙසට දිගින් දිගටම ඉල්ලා සිටින ලදී. එහෙත් පසුගිය ආණ්ඩුව හෝ හිටපු ජනාධිපතිවරයා ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකරන ලදී. බැංකු සේවකයන්ට පමණක් නොව රටේ සියලු වෘත්තීයවේදීන්ට එම දරාගත නොහැකි මට්ටමේ බදු අයකිරීම හේතුවෙන් වෘත්තිකයන් තොග පිටින් ආයතන වලින් පමණක් නොව රටෙන් පවා නික්ම යන බව අත්දැකීමෙන් සියලුදෙනාම දනී.
පසුගිය ජනාධිපතිවරණයට පෙර සිට ලංකා බැංකු සේවක සංගමය ලෙස අපද ඇතුලත්ව, මෙම අසාධාරණ බදු අයකිරීමට එරෙහිව පිහිටුවාගත් වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව (PTUA) ලෙස සියලු දේශපාලන ප්‍රවාහයන්ගේ අවධානය බදු සංශෝධන කෙරෙහි යොමු කරවන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට පත්වී ඉදිරිපත් කරනු ලැබු පළමුවැනි අයවැය යෝජනාව මගින් බදු නිදහස් සීමාව රු. 100,000/- සිට රු. 150,000/- දක්වා වර්ධනය කිරීම පැසසුම් සහගත කටයුත්තක් වුවද වෘත්තිකයන්ගේ මූලික ඉල්ලීම වුයේ එම සීමාව රු. 200,000/- දක්වා වර්ධනය කොට බදු අනුපාත පහල හෙලන ලෙසය. එහෙත් මූලික අවස්ථාවේ ඉහත සංශෝධනය සිදුකළ බවටත්, ඊලඟ අවස්ථාවේ අපගේ මූලික ඉල්ලිම් යළි සමාලෝචනය කරන බවටත් ආණ්ඩුව පාර්ශවයෙන් තහවුරුවක් අප වෙත ලබාදෙන ලදී.
රජය මේ වසර තුළ සිය බදු ආදායම ඉහළ නංවා ගැනීමට සමත් වූ අතර, එයට වාහන ආනයනය තුලින් රුපියල් බිලියන 639 ක් උපයා ගැනීමද හේතු විය. එසේම උපයනවිට බදු (APIT) තුලින් අපේක්‍ෂා කළ ඉලක්කද ඉක්මවා යාමට සමත් විය. එසේම මේ වසරේද ආණ්ඩුව රු. බිලියන 4900 ක් ඉලක්ක කරන අතර, ඒ සඳහා සමාජ ආරක්‍ෂණ බද්දේ සීමාවද පහත හෙලා ඇති අතර, එයද යම් පමණකින් බදු බරින් මිරිකී සිටින වෘත්තිකයින් මත පතිත වේ. පවතින සියලු තත්වයන් සළකා බලමින් මෙවර අයවැයෙන් අවම වශයෙන් වෘත්තිකයින් සඳහා ඉතිහාසයේ ක්‍රියාත්මක වූ සේවා නියුක්ති සහනය (Employment Relief) යන්න සංගම් විසින් ඉල්ලා සිටියද ඒ පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු නොවීම කණාගාටුදායකය. ඔවුන් වෙනත් බදු ගෙවන්නන්ගෙන් වෙන් කොට සිය දළ ආදායමට බදු ගෙවන බැවින් එය මීට පෙර ලබාදී තිබී මේ වනවිට අහෝසි කර ඇත.
ඒ අනුව මෙවර අයවැය යෝජනාවේ දී එම තහවුරු කිරීම් යථාර්තයක් බවට පත්වනු ඇතැයි අපේක්‍ෂා කළද එම තත්වයන් පිළිබඳව කිසිදු සඳහනක් අයවැය යෝජනාවට ඇතුලත් නොකිරීම සම්බන්ධයෙන් බරපතල කණගාටුව පළකර සිටිමු. ඒ අනුව අප ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් යළිත් ඉතා දැඩිව ඉල්ලා සිටිනුයේ වෘත්තිකයන් මත අසාධාරණ ලෙස පටවා ඇති බදු බර සංශෝධනය කිරීමට නොපමාව කටයුතු කරන ලෙසටය.
- පසුගිය ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් ලංකා බැංකුවේ පනත සංශෝධනය කිරීමට තීරණය කර වැඩපිළිවෙලක් ආරම්භ කර තිබුණි. එම ආණ්ඩුව බිඳ වැටීමත් සමඟ පත්වූ වත්මන් ආණ්ඩුව විසින් ද එම තීරණය ඒ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යාමට තීන්දු කර ඇති බවද හා ඒ සමඟම මහජන බැංකුවේ පනතද සංශෝධනය කිරීමට යෝජනා කර ඇති බවද වාර්තා වේ. එම පනත් සංශෝධනවල අරමුණ කොටස් නිකුත් කිරීම් හරහා පෞද්ගලිකකරණය කිරීමට බවට තොරතුරු වාර්තා වේ. සංගමය එම තත්වයන් වලට සෘජුවම මැදිහත්වීම් සිදුකර ඇත.
ඒ අනුව මෙවර අයවැය යෝජනාවේදී රාජ්‍ය බැංකුවල පැවැත්ම ගැන අවධානය යොමු කරනු ඇතැයි අපේක්‍ෂා කළද එවැන්නක් සිදු වී නොමැත.
මේ පිළිබඳව අප දැඩි අවධානයෙන් පසුවන අතර, රාජ්‍ය බැංකුවල කොටස් විකිණීම හෝ පෞද්ගලිකකරණය පිළිබඳව කිසිවක් මෙවර අයවැයේ සඳහන්ව නැත. එසේ වුවද රාජ්‍ය ව්‍යවසායන්ට බලපාන ප්‍රධාන පනත් කීපයක් ගෙන ඒමට යෝජනා වී ඇත. එනම් රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර පනත, රාජ්‍ය වාණිජ ආයතන කළමනාකරණ පනත, රාජ්‍ය ව්‍යාපාර සමාගමක් පිහිටුවීමේ පනත් වැනි මේවායේ හොඳ නරක තවම නිගමනය කළ නොහැක. ඒ නිසා ඒවායේ අඩංගු කරුණු මොනවාද යන්න සොයා බැලීමට සිදුවේ. කෙසේ වෙතත් රාජ්‍ය බැංකු පෞද්ගලිකකරණය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුවහොත් අප එයට කොන්දේසි විරහිතව නැඟී සිටින බව අවධාරණය කරමු.
- 4 වන යෝජනාව තුළ සුළු හා මධ්‍ය පරිමාණ අංශය වර්ධනය සඳහා පොදු යෝජනා රැසක් මෙවර ඉදිරිපත් කර තිබේ. එය ඉතා හොඳ තත්වයක් නමුත් ඒ සඳහා ඉතාම වැදගත් වන “ජාතික සංවර්ධන බැංකුව’‘ ක් යන්න අමතක කර ඇත. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙන්ම ආණ්ඩුවේ පළමු අයවැය තුළද සඳහන් වූ එම කටයුත්ත වෙනුවෙන් රටේ එකම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව නවීකරණය කරන මෙන් අප ඉල්ලා සිටි නමුත් එය ඉටු වී නැත. ඒ පිළිබඳව නැවත අවධානය යොමු කළයුතු බැව් අප අවධාරණය කරමු.
- 31 වන යෝජනාව තුළ “හිසට වහලක් හිතට නිවනක්” යටතේ සෑම පුරවැසියෙකුටම සුදුසු නිවහනක් පිළිබඳව වටිනා වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇත. නමුත් ඒ සඳහා අවශ්‍යම කරන අඩු පොලී යටතේ සහනදායී ලෙස නිවාස ණයක් සැපයිය හැකි ප්‍රධානම බැංකු දෙක වන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව හා HDFC බැංකුව තවදුරටත් ශක්තිමත් කිරීමට කළ යෝජනාවද සැළකිල්ලට ගෙන නැත. එසේම තවදුරටත් මහ බැංකුව විසින් සීමාකිරීම් කෙරේ නම් වෙනම පැවතීම වෙනුවට එම බැංකු දෙක ඒකාබද්ධ කර තනි බැංකුවක් ලෙස දියුණු කිරීම හෝ එම බැංකු වෙනත් ශක්තිමත් බැංකු දෙකක් හා වෙන් වෙන්ව ඒකාබද්ධ කිරීමට කළ යෝජනාවද මෙහිදී මඟහැරී ඇති නමුත් කැබිනට් මණ්ඩලය විසින් මේ වනවිට එවන් යෝජනාවක් අනුමත කර ඇත.
මෙම සියලු තත්ත්වයන් කෙරෙහි සංගමය දැඩි අවධානයෙන් කටයුතු කරමින් සිටින අතර, HDFC හා SMIB යන රාජ්‍ය බැංකු දෙකද ඇතුළු සියලු රාජ්‍ය බැංකු රාජ්‍ය අයිතිය යටතේ තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යායුතු බව දැඩිව අවධාරණය කිරීමට කැමැත්තෙමු.
- ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා බැංකු විසින් ගෙවූ 15% පොලී අනුපාතය වෙනුවෙන් රජය විසින් ගෙවිය යුතු වූ නමුත් නොගෙවා තිබූ අමතර පොලිය සඳහා වන බිලියන ගණනක හිඟ මුදල නැවත ගෙවීමට පියවර ගැනීම හා රාජ්‍ය සේවකයින්ට සහන පොලී යටතේ නිවාස හා දේපල ණය ලබාදිමට නැවත පියවර ගැනිම යහපත් පියවරයන් ලෙස අප දකිමු.
- කම්කරු අයිතීන් පිළිබඳව මෙවර අයවැය තුළ කිසිදු සඳහනක් නැත. නමුත් ආයෝජන ආරක්‍ෂණ පනත ගෙන ඒමට නියමිත අතර, වරාය පනත හා ක්‍රමෝපාය සංවර්ධන පනත සංශෝධනය කිරීමට යෝජනා වී ඇත. මෙම පනත් තුළ කම්කරු අයිතීන්වලට කුමක් හෝ අගතියක් සිදුවේද යන්න පිළිබඳව අප සැලකිලිමත්ව සිටිමු. කම්කරු පන්තියේ ශක්තිය තුළින් බලයට පැමිණි මෙවන් ආණ්ඩුවක අයවැය තුළ කම්කරුවා අමතකව තිබීම ගැටලු සහගතය. වරාය නගර (Port City) ආයෝජන සමාගම් 04 කට දුන් සහන අතර රටේ පවතින ප්‍රධාන කම්කරු නීතියක් ඉවත්කර තිබීම පිළිබඳව වෘත්තිය සමිතිවල දැඩි මැදිහත්වීම මත එම ගැසට් නිවේදනය අවලංගු කිරිමට අධිකරණය තීන්දු කරනු ලැබූ බව පෙන්වා දෙමු.
මෙවර අයවැය තුළින් ආණ්ඩුව අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ ආරක්‍ෂණය, ප්‍රවාහනය වැනි ක්‍ෂේත්‍ර වලට පෙරට වඩා වැඩි මුදලක් වෙන්කර තිබීම හොඳ තත්ත්වයකි. එසේම මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂය ද ඉහළ නංවා ඇත. එම වෙන් කිරිම් අනුව ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත ක්‍රියාවන් එසේම සිදුවන්නේ නම් එය ඉතා යහපත්ය. එබැවින් ඒවා එසේ සිදුවන්නේ ද යන්න පිළිබඳව විමසිලිමත්වීම හා ඒ සඳහා බලපෑම් කිරීම වෘත්තිය සමිති හා පොදු රටවැසියාගේ වගකීමයි. පසුගිය කාලය තුළ නීතියේ ආධිපත්‍යය පිහිටුවීම, දූෂණය පිටු දැකීම වැනි කාරණා කෙරේ ආණ්ඩුවේ අවධානය යොමුව තිබුණද ආර්ථිකයේ ප්‍රතිලාභ සමාජයේ පහළ කොටස් කෙරේ ගලායාමක් දක්නට නොලැබුණි. එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මඟපෙන්වීම් වලට පූර්ණ වශයෙන් යටහත් නොවෙමින් රටක් ලෙස ස්වාධීනව තීන්දු තීරණ ගනිමින් කටයුතු කළයුතු බැව් පෙන්වාදෙන අතරම ආණ්ඩුව පත්කිරීමට මූලික වූ ජනතා අභිලාෂයන් වලින් පිට පනිමින් ගමන් කරන්නේ නම් ඒ සඳහා උපරිම මැදිහත්වීම් වෘත්තිය සමිති ලෙස සිදුකිරීමට ලංකා බැංකු සේවක සංගමය ලෙස කටයුතු කරන බැව් අවධාරණය කර සිටිමු.

