RTI පනතට සංශෝධන අවශ්‍ය නැත - NMSJ

rti-nmsj

තොරතුරු පනතට සංශෝධන ගෙන ඒමේ අවශ්‍යතාවයක් නැති බවත්, කොමිෂන් සභාව මුහුණ දෙමින් සිටින දුෂ්කරතා ඉවත් කිරීම ඉතා වැදගත් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට සංශෝධනයක් ගෙන ඒමට රජය අදහස් කර ඇති බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරන්නේ තොරතුරු දැනගැනීමේ පනතට අවශ්‍යව ඇත්තේ සංශෝධන නොවන බව ය. සැබෑ අවශ්‍යතාවය වන්නේ මේ වන විටත් තොරතුරු කොමිසම මුහුණ දෙමින් සිටින දුෂ්කරතා ඉවත් කිරීම ය.

වාර්තා වන ආකාරයට මේ වන විට තොරතුරු කොමිසම මුහුණ දෙමින් සිටින දුෂ්කරතාවයන් අතර සම්පත් හිඟය සහ තනතුරු ගණනාවක්ම පුරප්පාඩු වී පැවැතීම ප්‍රමුඛ වේ. එමෙන්ම මහජනයාට තොරතුරු දැනගැනීමට අයිතියක් ඇති කරුණු පිළිබඳව රජයේ ඇතැම් අංශ විසින් තොරතුරු ලබා නොදීම මඟින් තොරතුරු කොමිසම අවතක්සේරු කරන සිදුවීම් වාර්තා වීම ද කිසිසේත්ම යහපත් නොවේ. දූෂණ විරෝධි ක්‍රියාවලිය සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය මඟින් ලැබෙන සහාය රජය අගය කල යුතුය.

ඇත්ත වශයෙන්ම රජය අවධානය යොමුකල යුත්තේ එවැනි කරුණු පිළිබඳව ය. එම අවධානය නොපමාවම යොමුකරනු ඇතැයි අප අපේක්ෂා කරන්නෙමු.