ඉන්දියාවෙන් ණයට අරං, බෙහෙත් වලින් අවුරුද්දකට රුපියල් බිලියන 25ක් ගසා කන ලකුණු

ඉන්දියාවෙන් ණයට අරං, බෙහෙත් වලින් අවුරුද්දකට රුපියල් බිලියන 25ක් ගසා කන ලකුණු

ඉන්දීය ණය ආධාර යටතේ, ඉන්දියානු සමාගමක් හරහා ඇටොවාස්ටීන් හෙවත් කොලෙස්ටරෝල් පෙති මිලදී ගැනීමට ඉදිරිපත් කර ඇති ඇනවුමක් හරහා මාසයකට ඇමරිකන් ඩොලර් 2, 40, 000/- ක පමණ වැඩිපුර ලභාංශයක් තබා ගැනීමට හැකිව තිබේ.

මෙම ඇනවුමට අනූව මිලි ග්‍රෑම් 20  ඇටොවාස්ටීන් සියයේ පැක්ට්ටු  22 331 ඇනවුම් කර ඇති අතර, ඇමරිකානු ඩොලර් 1, 41, 360ක මුදලකට  තොගය මිල දී ගැනීමට නියමිතය. ඒ අනූව එම පැකට්ටුවක මිල ඇ. ඩො. 6.33ක් වේ. මෙම පැකට්ටුවක් මීට පෙර ගෙන්වා ඇති උපරිම මිල ඇ. ඩො. 1.33ක් වන අතර, ඒ අනූව එක් පැකට්ටුවකින් පමණක් වැඩිපුර තබා ඇති ලාභාංශය ඩොලර් 5ක් පමණ වේ.

එසේම  මෙම පෙති වර්ගයේම මිලි ග්‍රෑම් 10 ප්‍රමණයේ පැකට්ටුවක් ඇස්තමේන්තු කර ඇත්තේ ඩොලර් 4කට වන අතර, එම පැකට්ටුවක් මීට පෙර මිල දී ගෙන ඇති උපරිම මිල ඩොලරයකටත් වඩා අඩුය. ඒ අනූව එමගින් සිදුවන පාඩුව පමණක් ඩොලර් 3කට වඩා වැඩිය.

මාසිකව මෙම පෙති වර්ග දෙකෙන්ම පැකට් 30 000ක් පමණ ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින්, මෙම ගනුදෙණුව හරහා පමණක් මසකට අහිමිවන ණය මුදල ඩොලර් 240000ක් පමණ වේ. වසරකට කොලෙස්ටරෝල් පෙත්තෙන් පමණක් රුපියල් බිලියනක් පමණ අහිමි කර ගන්නා මෙම ගණුදෙනුව අනුමත කල සෞඛ්‍ය බලධාරීන් පිළිබදව වහා විමර්ෂණය කල යුත්තේ, මෙම ඖෂධ වල කලින් මිල ගණන් පිළිබදව  හොදින්ම දැන දැන මෙම තීරණ සදහා අනුමැතිය ලබා දීම සාමාන්‍ය තත්වයක් නොවන නිසාය.

මෙලෙස පෙති වර්ග 25ක පමණ ප්‍රමාණයක් මිල දී ගැනීමට යන බව වාර්ථා වෙන අතර, එසේ වුවහොත්,  ඉන්දියාවෙන්  හිඟමන් යැද ලබාගත් බිලියන 25ක් වසරක් තුලදී නැවත ඉන්දියාවට හෝ තැරව් කරුවෙකුගේ සාක්කුවට වැටෙනු ඇත.

මෙම ඖෂධ පෙති සියල්ලම රට තුල නිපදවිය හැකිව තිබියදී ඒවා අධෛර්‍යට පත් කර, මෙලෙස නාස්තියට හා ගසාකෑමට ලක් කිරීම වහා නැවැත්විය යුතුය.

දේශීය ඖෂධ  නිෂ්පාදනය අධෛර්‍යට පත් කරමින් සිටින ඖෂධ නියාමන අධිකාරිය වැනි ආයතන පිළිබදව අප වඩාත් සැලකිලිමත් වන්නේ සහ ශ්‍රි  ලංකාවේ ඖෂධ අර්බුධයට ඔවුන් වගකිව යුතු බව අප නැවත නැවතත් අවධාරණය කරනු ලබන්නේ, ඖෂධ සදහා මෙලෙස වැයවන අනවශ්‍ය මුදල් කන්දරාව, රට තුල ඖෂධ හිගයක් ඇතිවීමට සහ ඖෂධ මිලදී ගැනීම සඳහා මුදල් අහේනියක් ඇති වීමට සෘජු ලෙසම බලපාන බැවිනි.

මසකට ඩොලර් 240000 ක් ඉතිරි කර කොලෙස්ටරෝල් පෙත්ත නිපදවිය හැකි සමාගම් රට තුල තිබියදී, ඒවා අධෛර්‍යට පත් කොට, ඉන්දියාව වැනි රටකින් අතිශය වැඩි මුලදලකට ඖෂධ මිලදී ගැනීමට සිදු වන්නේනම්, ශ්‍රී ලාංකාවේ සෞඛ්‍ය යාන්ත්‍රණ හසුරුවන සියලුම ආයතන, ඒවායේ ප්‍රධාන නියාමකයින්  සහ දේශපාලන හිතවත්කම් වලට ඔවුන්ව පත් කල පාලකයින් සෘජුවම ඊට වගකිව යුතුය.

අගමැති ධූර, ජනපති ධූර සහ සෞඛ්‍ය අමාත්‍ය ධූර වෙනස් වූවාට, ක්‍රමය වෙනස් වී නොමැති බව තේරුම් ගැනීම සඳහා ද මෙය ඉතා හොඳ නිදසුනක් බැවින්, මෙවන් තීරණ පිළිබදව මීට වඩා සැලකිල්ල වර්තමාන අගමැතිවරයා ඇතුලු අලුතින් රට කරවන්නට පැමිණි පාර්ශවයන්ට තිබිය යුතුය.

රවී කුමුදේශ්, සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය