ප්‍රතිජීවක ඖෂධයක් ගැනීමට මිලියන 500 ක් වැඩිපුර ගෙවන්න හදන සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව අල්ලස් කොමිසමට

ප්‍රතිජීවක ඖෂධයක් ගැනීමට මිලියන 500 ක් වැඩිපුර ගෙවන්න හදන සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව අල්ලස් කොමිසමට
  • දුෂිත ගණුදෙනු ගැන ජනාධිපති නිහඩයි.
  • සෞඛ්‍ය අමාත්‍යාංශයහි දුෂිත ගණුදෙනු ගැන පරීක්ෂණ පවත්වන්න- සිවිල් සංවිධානත් ඉල්ලයි.

ජනාධිපති ලේකම් කාර්යාලයක් කැබිනට් මණ්ඩලයත් ජනාධිපති ලේකම් කාර්‍යාලයේ මහජන අභියාචනා කමිටු ලබා දෙන නිර්දේශ නොසලකා හරිමින් Cefuroxime ප්‍රතිජීවක ඖෂධ  එන්නත් කුප්පි ලක්ෂ 25 ක් මිලදී ගැනීම සඳහා අදාළ ටෙන්ඩරය ඉදිරිපත් කොට ඇති සමාගම් වල සුදුසුකම් නිසි පරිදි පරික්ෂා පරික්ෂා කිරීමක් හෝ නවතම මිල ගණන් කැඳවීමකින් තොරව ඩොලර් සත විසි පහකට ලබාගැනීමට හැකියාවක් පවතින එන්නත් කුප්පියක් වෙනුවෙන් ඩොලර් සත 75 බැගින් ගෙවීම හරහා ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 500 ක පමණ අලාභයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උත්සාහ දරමින් සිටින බව සඳහන් කරමින් අදාළ ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසත් පරීක්ෂණ කටයුතු අවසාන වන තුරු ටෙන්ඩරය ඉදිරි ක්‍රියාමාර්ග අත්හිටුවන ලෙස අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී ජී චමල් සංජීව මහතා සහ සිවිල් සංවිධාන බහුජන සංවිධාන නියෝජිතයෝ ඊයේ විශේෂ ඉල්ලීමක් සිදු කළහ.

අදාළ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ මහජන පැමිණිලි  කමිටුව ලබාගෙන නිර්දේශද මීට පෙර අවස්ථාවල දී ජනාධිපතිවරයා හා ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩලය මඟින් ලබාදෙන ලද නිර්දේශ සහ මුදල් අමාත්‍යාශ උපදෙස් පවා නොසලකා හරිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් හදිසි ඖෂධ මිලදී ගැනීම් සඳහා යොමුවන බව පෙනෙන්නට ඇති බැවින් ඒ සම්බන්ධව විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ද මෙමගින් ඉල්ලා ඇත.

දුෂන මර්දන ජාතික ව්‍යාපාරය, මගෙන් රටට ජාතික ව්‍යාපාර , ජනතා පාර්ලිමේන්තුව, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වෘත්තීය සහ  සිවිල් සමිති නියෝජනය කරමින්  කමන්ත රොෂාන්, අසේල සම්පත්, සංජීව  මහවත්ත, රොෂාන් ශාන්ත යන මහත්වරුද අල්ලස් හා දූෂණ කොමිසන් සභාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගිය වසරක කාල සීමාවේ දී හදිසි ඖෂධ මිලදී ගැනීම් නිසා සිදු වී ඇති දූෂණ සහ වංචා සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත එහි අතිරේක ලේකම් සමන් රත්නායක හා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව පැමිණිලි භාර දුන්හ.

ඖෂධ මිලදී ගැනීම් සඳහා මුදල් නැතැයි පවසන සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි ඖෂධ මිලදී ගැනීම් වලදී නියමිත මිලට වඩා අති විශාල පිරිවැයක් වියදම් කරමින් ඖෂධ මිලදී ගැනීමට පෙළඹීම රටේ මහජනතාවගේ බදු මුදල් වලින් දූෂණ වංචා අක්‍රමිකතා චේතනාන්විතව සිදු කිරීම සඳහා පාර කපා ගැනීමක් බව මෙහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය. ඖෂධ හිඟය පටන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ වංචා අක්‍රමිකතා සම්බන්ධයෙන් දිගින් දිගටම පෙන්වා දුන් නමුත් ජනාධිපතිවරයා අනුගමනය කරන දැඩි නිහඩ ප්‍රතිපත්තිය කනගාටුවට කරුණක් බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය

මෙහිදී අදහස් දැක්වූ සිවිල් සංවිධාන ක්‍රියාකාරී අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ දේශපාලකයින් ජනතාවගේ බදු මුදල් වලින් සෙල්ලම් කරද්දි පාරිභෝගිකයන්ට දරාගත නොහැකි මිලකට ඖෂධ මිලදී ගැනීමට සිදුවීම නිසා බොහෝ දෙනකු නිසි පරිදි ඖෂධ ලබා නොදීමෙන් මරණයට පත්වීමේ අවදානම ඉහළ යන බවයි.

එම අවස්ථාවට එක්වූ දූෂණ මර්දන ජාතික ව්‍යාපාරයේ රොෂාන් කමන්ත මහතා සඳහන් කළේ අද වන විට මෙරට රෝහල් පත්‍ර තුළ ඩෙංගු රෝගීන්ට කරන සරල රුධිර පරීක්ෂණයක් හෝ සිදුකර ගැනීමට හැකියාවක් නොමැති බවත් ඖෂධ සහ රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කරවා ගැනීමට අහිංසක රෝගීන්ට විශාල මුදලක් නැවත තත්ත්වයක් යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නිලධාරීන් විශාල වශයෙන් මුදල් අවභාවිතා කිරීම ජනතාව විසින් පිළිකුලෙන් බැහැර කළ යුතු බව සඳහන් කළේය.

මෙම දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් ඉදිරියේදී රහස් පොලිසියට පැමිණිලිකොට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් ඔහු සඳහන් කළේය

මීට පෙර ඉන්දියානු ඖෂධ සමාගමක් හරහා තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම ට සෞඛ්‍ය අමාත්‍යාංශය දරන ලද වෑයමක් හා සිවිල් සංවිධාන මඟින් අධිකරණය හමුවේ ගන්නා ලද වාරණ නියෝගයක් මගින් තාවකාලිකව නතර කිරීමට සමත් විය.

රටේ පොදු මහජනතාව අති විශාල බදු බරක් ගෙවනු ලබන්නේ දූෂිත දේශපාලකයින් හා දූෂිත නිලධාරීන් විසින් පසුගිය කාලසීමාව මුළුල්ලේ රටේ මහජනතාවගේ ජාතික ධනය මේ අන්දමට නිල වශයෙන් සුරා කෑමට ලක් කිරීම නිසා බව සඳහන් කළ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසූයේ මෙම ක්‍රමවේදය වෙනස් කිරීම සඳහා පුරවැසියන් සංවිධානය විය යුතු බවයි.