ඖෂධ හිඟවීම සම්බන්ධයෙන් COPE කමිටු අනාවරණයෙන් පසු ස්වාධීන පරික්ෂණ කමිටුවක් පත්කරන ලෙස ඉල්ලයි

ඖෂධ හිඟවීම සම්බන්ධයෙන් COPE කමිටු අනාවරණයෙන් පසු ස්වාධීන පරික්ෂණ කමිටුවක් පත්කරන ලෙස ඉල්ලයි

රට තුළ ඖෂධ හිගයක් නිර්මාණය වීම ඩොලර් අර්බුදයහි ඍජු ප්‍රතිඵලයක් පමණක් නොව දුර්වල පරිපාලන සහ කළමනාකරණ යාන්ත්‍රණය ප්‍රතිඵලයක් නිසා වූ බවට ඉදිරිපත් කරන ලද කරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී (COPE) අනාවරණය කරුණු මගින් සනාථ වී ඇති නිසා වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධව COPE කමිටුවේ දී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ සභාවක් පත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීයසමිතිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, පසුගියදා පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාකාරිත්වයන් සම්බන්ධයෙන් බලවත් කතාබහක් නිර්මාණය වූ අතර ඒ සම්බන්ධව මේ වන විට සමාජය තුළ ද දැඩි අවධානයක් යොමු වී ඇත. විශේෂයෙන් මේ වනවිට රාජ්‍ය තුළ මුදල් කළමනාකරණය ඉතා වැදගත් බවට පත් ඇති අවස්ථාවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් කළමනාකරණය සම්බන්ධව පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවේ දී දැඩි ලෙස කතාබහට ලක්වූ මෙහිදී මතුවු කරුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ කීර්තිනාමය පළුදු කරන්නට සමත්ව ඇති බැවින් ද ඒ සම්බන්ධව සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අපක්ෂපාති විමර්ශන සභාවක් පත් කිරීම වැදගත් බව වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස අපගේ මතයයි .එමගින් එකී තොරතුරුවල සත්‍ය අසත්‍යතාවද එම අනාවරණය වූ කරුණු සත්‍ය වන්නේ නම් ඒවා නැවත සිදු නොවිය යුතු වාතාවරණයක් නිර්මාණය කර ගැනීමට ද එය උපකාරී වන බව අප විශ්වාස කරමු.

විශේෂයෙන්ම කොවිඩ් රෝගය පැතිර යන අවස්ථාවේදී රටතුලට කොවිඩ් එන්නත් ගෙන්වීමේ ක්‍රියාවලිය දී යම් පාරදෘශ්‍ය භාවයෙන් තොර ස්ථාන පැවතියේ නම් ඒවා මතුවීමට බලපාන හේතු ද සහ අදාල තත්වයන් වළක්වා ගැනීමට අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග ගැන අවබෝධයක් ලබාගැනීම ඉතා වැදගත් වේ.

දෙවැන්න වන්නේ ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් දැනට ඉස්මතු වී ඇති ගැටලු සහගත තත්ත්වයන්ය. ඖෂධ නියාමන අධිකාරිය ස්වාධීන සහ අපක්ෂපාතී ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීමත් ඒ සඳහා අදාළ විෂය සම්බන්ධ ප්‍රවීණ හා අත්දැකීම් සහිත පුද්ගලයන් පත්කිරීම සිදු විය යුතු බව අපි විශ්වාස කරමු. එහි ස්වාධීනත්වයට හානි වන අන්දමට දේශපාලන බලපෑම් සිදු නොවිය යුතු වන අතර ලෝකයේ අනෙක් රටවල් වල පවත්වාගෙන යන ආකාරයේ දැඩි විනයක් ඖෂධ නියාමන අධිකාරිය ‍ ක්‍රියාත්මකවීම වීමේ ප්‍රතිපත්ති තුළ පැවතිය යුතු ව ඇත.

තවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඹෘෂධ සැපයුම් ඒකකය තුළ පරිගණකගත පද්ධතිය සම්බන්ධයෙන් වැය වූ රුපියල් මිලියන ගණනක මුදල ගැන අනාවරණය වූ කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කල යුතුය. ඹෘෂධ නියාමනය සම්බන්ධව පරිගණකගත පද්ධතියක් ස්ථාපිත කිරීමෙන් බලාපොරොත්තු වන ප්‍රධාන අරමුණු ඉෂ්ට නොවන්නේ නම් ඒ සඳහා අති විශාල මුදලක් වැය කිරීම රටේ ජාතික ධනය කාබාසිනියා කර ගැනීමක් ලෙස අප විශ්වාස කරමු.

තවද අප විසින් මීට පෙර අවස්ථා ගණනාවකදීම පෙන්වා දෙන ලද පරිදි රට තුළ ඖෂධ හිගයක් නිර්මාණය වීම ඩොලර් අර්බුදයහි ඍජු ප්‍රතිඵලයක් පමණක් නොව දුර්වල පරිපාලන සහ කළමනාකරණ යාන්ත්‍රණය ප්‍රතිඵලයක් නිසා වූ බවට ඉදිරිපත් කරන ලද කරුණු මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී අනාවරණය කරුණු මගින් තවදුරටත් සනාථ වේ. එබැවින් මේ අසීරු අවස්ථාවේදී හෝ පාඩම් ඉගෙනගෙන රාජ්‍ය සේවය වඩා කාර්යක්ශම ස්ථානයක පිහිටුවීම සඳහා සිදුවී ඇති අඩුපාඩු හැකි ඉක්මනින් හදුනාගෙන ඒවා නිවැරැදි කර ගැනීම කෙරේ අවධානය යොමු කිරීම ඉතා වැදගත් සඳහන් කළ යුතුව ඇත.