EPF / ETF මොකද වෙන්නේ - සාකච්ඡාවක් ඉල්ලයි

EPF / ETF මොකද වෙන්නේ - සාකච්ඡාවක් ඉල්ලයි

දේශීය ණය ප්‍රශස්තකරන වැඩ පිළිවෙල යටතේ සේවක අර්ථ සාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටිමින් EPF / ETF කොල්ලයට එරෙහි සටන් ව්‍යාපාරය හා සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය විසින් සේවක අරමුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, යතෝක්ත අප සංවිධානය කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පුද්ගලික, අර්ධ රාජ්‍ය හා වතු ක්ෂේත්‍රයන් නියෝජනය කරන වෘත්තීය සමිති 1000 කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නකි.

01 රජය විසින් විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයට සමාන්තරව දේශීය ණය ප්‍රශස්තකරනය නැමැති නාමකරනය යටතේ EPF හා ETF අරමුදල් වෙත ලැබිය යුතු මුදල් හා ගිණුම් හිමියන් වෙත ලැබිය යුතු මුදල් කපා හැරීමට අදාල වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමේ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 122 කගේ අනුමැතියෙන් මුදල් ඇමති ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පසුගියදා පවරා දෙනු ලැබිණි.

02 දේශීය ණය ප්‍රශස්තකරන වැඩපිළිවෙලට අනුව ඉදිරිපත් කර ඇති සැලැස්ම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් EPF හා ETF අරමුදල් දෙකේ පවතින මුදල් වලින් රුපියල් බිලියන 3835 කට අධික මුදලක් යොදවා ගෙන 20% සිට 31% දක්වා ඉහළ පොලී අනුපාත යටතේ මිළදී ගෙන ඇති බැඳුම්කර සඳහා 2022 වර්ෂයේ සිට අරමුදලට හා සාමාජිකයින්ට හිමි විය යුතු ඉහළ පොළි හිමිකම 2025 වර්ෂය දක්වා අරමුදලට 12% ක් හා සාමාජිකයින්ට 9% වන පරිදිත් 2025 වර්ෂයේ සිට  9% වන පරිදි  2038 දක්වාත් පවත්වාගෙන යාම මගින් අරමුදලේ සාමාජිකයින්ට බරපතල අසාධාරණයක්  සිදුවේ.

03 ලක්ෂ 24 කට වැඩි EPF හා ETF සාමාජිකයින්ට අයිති ගිණුම් දෙකේ පවතින මුදල් වලින් රුපියල් බිලියන 3835 ක් යොදවා මිළදී ගෙන ඇති  බැඳුම්කර සම්බන්ධයෙන් රජය එසේ කටයුතු කරන විට ඉහත කාලසීමාවට අදාලව රජය නිකුත් කර ඇති බැඳුම්කර මිළදී ගෙන ඇති ප්‍රාථමික ගැණුම්කරුවන් හා ඔවුන් මගින් දේශීය ධනපතියන් විසින් එම පොලී අනුපාත යටතේ මිළදී ගෙන ඇති බැඳුම්කර කල් පිරීමේදී කිසිදු පොලී කප්පාදුවකින් තොරව අදාල පාර්ශව වෙත ගිවිසගත් පොලිය ගෙවීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර ඇත. රජය මගින් පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි වලදි සමාන පොලී අනුපාත යටතේ බැඳුම්කර මිළදී ගත් EPF හා ETF අරමුදල් සඳහා එක ක්‍රමයකුත් ප්‍රාථමික ගැණුම්කරුවන් හා ඉහළ ධනපති පුද්ගලයින් සඳහා තවත් ක්‍රමයකුත් අනුගමනය කිරීම මගින් සාධාරණ බවේ මූලධර්මය රජය අමු අමුවේ උල්ලංගණය කර ඇත.

04 රජය විදේශීය ණය කප්පාදුවේදී 2023 මාර්තු 06 IMF සංවිධානය වෙත ලබා දෙන ලද පොරොන්දු අනුව සියළු ණය හිමියන්ට සමානව සලකන බවත් ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතුව සිදුකරන බවත් දන්වා තිබියදී එම මූලධර්මය දේශීය ණය කප්පාදුවේදී අනුගමනය නොකර සමාන පාර්ශව වලට අසමානව සැලකීමත්, විනිවිදභාවයෙන් තොරව කටයුතු සිදුකිරීමත් මගින් EPF හා ETF අරමුදල අනතුරේ හෙලා ඇත.

05 රජය විදේශීය ණය කප්පාදුවේදී ණය හිමියන් සමග සාකච්ඡාකරමින් එකඟතාවයකට පැමිණීමට කරමින් සිටියත් දේශීය ණය කප්පාදුවේදී එවැනි කිසිදු සාකච්ඡාවක් නොමැතිව බලහත්කාරී ලෙස තෝරා ගැනීම් දෙකකට අරමුදල් යටකර ඇත.

06 ඉහත 02 හි දක්වා ඇති පරිදි EPF හා ETF අරමුදල් කටයුතු කිරීමට එකඟ නොවන්නේ නම් වාර්ෂිකව අරමුදල ලබන ලාභය මත අය කරන 14% ක බද්ධ 30% දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බවට සිදුකරන තර්ජන මගින් ආණ්ඩුවේ බලහත්කාරී හා අත්තනෝමතික බව මනාව පැහැදිලි වේ.

07 EPF අරමුදලට 2038 දක්වා ලබා දෙන පොලිය සම්බන්ධයෙන් සඳහන් කර ඇතත් ETF අරමුදල සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත මේ දක්වා අභිරහසකි.

EPF හා ETF අරමුදල් දෙකේ පවතින සෑම රුපියලකම හිමිකරුවන් වන්නේ ලක්ෂ 24 කට වැඩි සක්‍රීය ගිණුම් හිමියන් වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව අරමුදලේ භාරකාරීත්වය උසුලයි. තේ වතු වල වැඩ කරන කම්කරුවාගේ සිට ඇඟලුම් කම්හල් වල  වැඩකරන පුද්ගලික අංශයේ සේවකයා දක්වාත්, වරාය, ජල සම්පාදන වැනි  අර්ධ රාජ්‍ය ආයතන වල වැඩ කරන සේවකයා දක්වාත් දිවා රෑ මහන්සිවී හරි හම්බ කර ඉතිරි කර ගත් මුදල් අත්තනෝමතික, බලහත්කාරී සහ අයුක්ති සහගත ලෙස කපා හැරීමට රජය ගෙන ඇති තීරණය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

මහ බැංකු භාරකාරීත්වයේ පවතින EPF හා ETF අරමුදල් දෙකේ රුපියල් බිලියන 3835 කට වැඩි මුදල් සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඇත්තේ මහ බැංකුව වෙතය. රජයේ දේශීය ණය කප්පාදුවට අදාල වැඩ පිළිවෙල නිසා අරමුදල් බරපතල තර්ජනයකට ලක්ව ඇත. මේ පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති සාකච්ඡාවක් කඩිනමින් අප සංවිධානයට ලබා දෙන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.