“කොළඹ අයිතිකාරයෝ“ පාමංකඩ වමේ බලකොටුවක්

“කොළඹ අයිතිකාරයෝ“ පාමංකඩ වමේ බලකොටුවක්

පාමංකඩ යනු කොළඹ නගරයේ දකුණු දිග එක් සීමාවක්.පා + මං+ කඩ යනු පා ගමනෙන් පැමිණෙන මාර්ගය බිඳෙන තැන. නොඑසේ නම්  පා ගමනින් මං කඩ හෙවත් ඇළක් දොලක්  තරණය කරන ස්ථානය.  කොළඹ නගරය දූපතක් කරන  දෙහිවල මෝය කට ඔස්සේ මුහුදට වැටෙන කෝට්ටේ සිට එන ඇල තරණය කළ යුතු එක මංකඩකි  පාමංකඩ.පසුව එහි පාලමක් ඉදි කර ඇත. වර්තමානයේ එහි පුළුල් පාලමක්  ඉදිකර ඇතත් අතීතයේ එය ප්‍රසිද්ධව තිබුණේ "කළු පාලම කියාය. මන්ද එම පාලම තද කලු පාටින් යුක්ත යකඩ පාලමක් වූ බැවිනි. අතීතයේ පාමංකඩ කළු පාලම ළඟ වෙසක් නාට්‍යය හෝ වෙසක් සැරසිල්ල වැල්ලවත්ත, කිරුළපන, නුගේගොඩ, කොහුවල,කළුබෝවිල ඉතාම ජනප්‍රිය වෙසක් ඉසව්වකි.

පාලම පසුකර මදක් දුරක් කොළඹ දෙසට පැමිණෙත්දි ව හමුවන්නේ පාමංකඩ හන්දිය යි. පාමංකඩ හන්දිය අවුරුදු දෙසීයකට ආසන්න ඉතිහාසයක් ඇති ගම් පියසකි.

නමුත් ඒ ඈත ඉතිහාසය අපිට හමුවන්නේ නැත. අවුරුදු සීයකට ආසන්න ඉතිහාසයක් අපිට කියන්න තවමත් අපේ වයෝවෘද්ධයන් අප අතර රැඳී සිටීම අපේ වාසනාවකි.

පාමංකඩ අළුවලවත්තේ හෙන්දරික් මාමා හෙවත් කලමුල්ල ආරච්චිලාගේ හේන්ද්‍රික් පෙරේරා (86) පාමංකඩ පමණක් නොව අවට ප්‍රදේශයේ ඉතිහාසය ද මනා මතකයක් ඇති චරිතයකි.

පාමංකඩ

"මම ඉපදුනේ 1936. මගේ අම්මා එංගොහාමි. තාත්තා පොඩි අප්පුහාමි. තාත්තා බම්බලපිටිය බ්‍රෝකර් වැඩයි කීයක් හරි හොයා ගන්න පුළුවන් හැම වැඩේම කළා. මම ඉපදුනේ ලයින්හෝම් එකේ.එතකොට අපේ අම්මලා  හිටියේ බම්බලපිටියේ මල්ලිකා නිවාසය  ළඟ "ගිනි පෙට්ටි මෝලවත්තේ". එතන ගිනිපෙට්ටි මෝලක් තිබුණා. ඒකයි ඒ නම වැටුනේ. පොඩි පොඩි ගෙවල් තමයි තිබුණේ. (බම්බලපිටිය House of fashion ආයතනය ලඟින් ඇතුලට ඇති පාර)  පස්සේ අපි ආවා වැල්ලවත්තේ කොටාලේන් (වර්තමාන සුවිශුද්ධාරාම පාර) එකට. කොටාලේන් එක කිව්වේ හැව්ලොක් පාරේ ඉඳන් මහගල්වල (කෝට්ටේ මහත්තයාගේ ගල්වල) ළඟට යනකන් තිබුණ පොඩි පාරට.

| කලමුල්ල ආරච්චිලාගේ හේන්ද්‍රික් පෙරේරා

අම්මා රත්නපුරේ ඉහළ රත්ගම. වෙලාවක අපේ පුංචි අම්මලා කඩ කරනවා පලාබද්දල. අම්මා ඒකෙ ඉඳලා තියෙනවා. අපේ තාත්තලා සිරීපාදේ ගිය වෙලාවක තමයි අම්මව ජොයින්ට් වෙලා තියෙන්නේ. ඒ වෙනකොට අම්මගේ පළමු කසාදයේ තාත්තා මැරිලා. අපේ තාත්තා බැඳලා එක ළමයෙකුත් අරන්  අම්මා කොළඹට ආවා. අම්මටයි තාත්තටයි එකම දරුවා මමයි. අම්මගේ ඉස්සෙල්ලා හිරේ දරුවා ඔක්කොම දැන් මැරිලා දැන්. අපි ඉස්සර අම්ම එක්ක රත්නපුරේ යනවා. හංවැල්ල පාරෙන් තමයි යන්නේ. රත්නපුරෙන් බැහැල ඉහළ රත්ගඟට තව බස් එක යනවා. ඒ බස් එක තියෙන දවසටම දෙපාරයි. කැකිල්ලවිල ඉස්කෝලෙ ළඟින් කුඩාවේ තමයි අම්මලාගේ මහගෙදර.

කොටා ලේන් එකේ ගෙදර ඉඳලා අපි ආවා මල්ලිකා ලේන් එකේ ගෙදරකට. මේ සේරම ගෙවල්වල අපි හිටියේ කුලියට. මං ඉස්සෙල්ලාම ගියේ ලංකාධාර බාලිකාවට.  ඊට පස්සේ එතනම තිබිච්ච (මෙතෝදිස්ත) ආගමේ ඉස්කෝලෙට ගියා. 1942 යුද්දෙට අපි කොළොන්නාවට ගියා. තෙල් ටැංකි පිටිපස්සේ වත්තක ගෙදරක තමයි අපි හිටියේ. එහෙදී ටෙරන්ස් සිල්වා ඉස්කෝලෙට ගියා.

මට මතකයි ඒ කාලේ බෝම්බ වැටෙනවා. වැල්ලවත්ත පැත්තට බෝම්බ වැටෙන්න කලින් වැල්ලවත්ත පොලිසියේ  තිබුණා පයිබිගේට් (Fire bridged)  එකක් කියලා හමුදාවක් හිටියා. ඒගොල්ලෝ නලාවක් පිඹිනවා. එතකොට මිනිස්සු  ගිහින් හැංගෙනවා මේසවල් යට අරෙහෙ මෙහේ. අපිත් ඉස්කෝලෙට යනකොට කෝටු කෑල්ලක් සුරේ වගේ බෙල්ලෙ එල්ලලා තමයි යවන්නේ. විසිල් ගහනකොට ඒක හපාගෙන ඩෙස්ක් එක යටට රිංගනවා. තේරුම දන්නේ නම් නැහැ. එහෙම තමයි අපිට පුරුදු කරලා තිබුණේ.ටි ක දවසක් කොළොන්නාවේ  ඉඳලා ආයිත් අපි ආවා වැල්ලවත්තට.

ජීවන රටාව

නව සිය හතලිස් අටේ (1948) අපි මල්ලිකා ලේන් එකේ හිටියේ. මල්ලිකා ලේන් එකේ අපි හිටියේ වහලටයි වටේටයි සේරම පොල් අතු බැදපු ගෙවල්වල. ගෙවල් පේලි පහක් විතර තිබුණා. එක පේළියට ගෙවල් දහයක් විතර තිබුණා. අපේ පේලියේ ගෙවල් දහයයි .මේ ඉඩම අයිති කුරේ නෝනට. එයා හරි හොඳ කෙනෙක්. මල්ලිකා ලේන් එකේ මඩමේ (වැඩිහිටි නිවාසය) ඉඳන් පල්ලිය (ශා.ක්ලෙයාර් පාසල) ළඟට යනකං එයාගේ තමයි ඉඩම්. දැන් කුරේ පාක් එක තියෙන තණකොළ කොටුවත් එයාගෙ තමයි. බාලිකා නිවාසය හැදුවෙත් එයා තමයි.(වැල්ලවත්ත ඩබ්.ඒ.සිල්වා මාවතේ ලංකාධාර බාලිකා නිවාසය) කුරේ නෝනා ආගම දහමට බොහොම ලැදි කෙනෙක්. එයාගේ ගොඩක් ඉඩම් එක එක මිනිස්සුන්ට නිකන් දුන්නා. එයා නිසා තමයි එයා හිටපු පාර මල්ලිකා ලේන් කියලා නම් කළේ. අපි හිටපු පොල් අතු ගෙවල් හදලා මිනිස්සුන්ට කුලියට දුන්නේ රිකී මහත්තයා. ඒක නිසා ඒකට කිව්වේ "රිකී මහත්තයාගේ වත්ත" කියලා. රිකී මහත්තයා කියන්නේ ගොඩ පෙරකදෝරුවෙක්. මගේ හිතේ රුපියල් දහයකට අඩුයි කුලිය. ඒ කාලේ අපිත් එක්ක ඒ ගෙවල්වල හිටි අය තමයි, දෙයියන්ගේ අතේ වැඩ කරපු රික්ෂෝ රෙපයාර් කළ කාලිමුත්තු. තව හර්මානිස්  අයියා,  ඩේවිඩ් අයියා, දෙන්නම ගස් කපනවා, ගස් නගිනවා. වහලවල උළු දාන ප්‍රැන්සිස් අයියා. ඒ කාලේ වහලවල්වල උළු දාන්න වෙනම බාස්ලා හිටියා. ඒ කාලේ මේසන් හැන්දෙන් උළු කපන්න පුළුවන් අය ලංකාවෙම හිටියේ තුන් දෙනයි. ප්‍රැන්සිස් එක්කෙනෙක්. එයාගේ ගුරා තමයි සයිමන්. තව ජේමිස් අයියා හිටියා. සයිමන් අයියා ගම්පහ. ප්‍රැන්සිස් අයියා වැල්ලවත්තේමයි. ජේමිස් අයියා දකුණෙන් ආපු කෙනෙක්."

| ලංකාධාර ළමා නිවාසය

එකල වැල්ලවත්ත ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළව දකුණෙන් ආ පිරිස ගෙන් ජනාකීර්ණ වූ පළාතකි. ඔවුන් සුන්නක්කර හෙවත් හුණු වංශයේ අයය. කොළඹ ඉදිකිරීම් විශාල සංඛ්‍යාවක කොන්ත්‍රාත් ගත්තේ ද සෙසු වැඩ කළේ ද ගොඩනැගිලි අමුද්‍රව්‍ය සැපයීම  කළේ ද වැල්ලවත්තට දකුණෙන් පැමිණ පදිංචි  වූ අයය.

"ඒ කාලේ විහාර ලේන් පන්සලේ මිහිඳු පෙරහරක් යනවා. (මෙම පෙරහැර සහ වැල්ලවත්තේ බෝධිරුකාරාමය පිළිබඳ පසුව ලියමි.) ඒක මුළු කොළඹම ප්‍රසිද්ධයි. මං හිතන්නේ ඒක තමයි ඒ කාලේ කොළඹ තිබුණ ලොකුම බෞද්ධ පෙරහැර. ඉතින් අපි (1948) එදා මිහිඳු පෙරහැර එන සද්දෙට ඒක බලන්න සේරම හයිස්ට්‍රීට් එකට දුවන් ආවා. ඒ වෙලාවේ සරෝජනී කියලා ගෑනු ළමයෙක් එයාගේ අතේ තිබුණ මොකක් හරි එකක් ගෙදර ලිපට දාලා පෙරහර බලන්න දුවන් ආවා පාරට. එයා කලබලයට වැඩිදුර හිතන්නැතුව ඒක කරලා ආවේ. එතකොට සේරම හිටියේ  පෙරහරේ කල්පනාවෙන්. පැය භාගයක් ගියේ නෑ ගෙවල් ටික ඔක්කොම ගිනි අරන් අළු වුණා. පයබිගේට් (Fire bridged) එක එනකොට සේරම ඉවරයි. ඒක ආවේ පිටකොටුවේ කාන් ඔරලෝසු කනුව ලඟ ඉඳන්. ඒ කාලේ පයබිගේට් එක තිබුණේ කාන් ඔරලෝසු කණුව ළඟ කොච්චිකඩේ පල්ලියට යන පාරයි ඊට එහා පැත්තේ පාරටයි මැද්දෙ ඉඩමේ."(වර්තමාන බැන් බෑන්ග් ගොඩනැගිල්ල ඇති තැන)

ගල්වල - “අළුවල“ වීම

"ඊට පස්සේ එදා රෑම ඒ කාලේ මේ පැත්තෙ නාගරික මන්ත්‍රී හිටිය සමසමාජ පක්ෂයේ ඩොරික් ද සූසායි (ඩොරික් ද සුසායි 1947 ජනවාරි - 1953 පෙබරවාරි) එයාගේ ගෝලයා ඔස්මන්ඩ් ජයරත්නයි (1953 මැයි - 1957 දෙසැම්බර්) කට්ටිය ඇවිල්ලා අපිව වැල්ලවත්ත මහා විද්‍යාලයට ගෙනල්ලා නතර කළා. සුමාන තුනක් අපි සේරම පවුල් ඒකේ හිටියා. කන්න බොන්න සේරමත් ඒ අය දුන්නා. ඒ අතර අළුවලවත්තට මෙහා පරණ ගල්වල පුරෝපු තැන පොල් අතු ගෙවල් හැදුවා. අවුරුදු ගානක් කුණු දාලම තමයි ඒ ගල්වල ගොඩ වෙලා තිබුණේ. මේක තමයි කොළඹ තිබුණ ලොකුම ගල්වල. සුද්දෝ රේල් පාරවල් කොළඹ පාරවල්  බිල්ඩින් හදන්න කළුගල් ගත්තෙ මේ ගල්වලින් තමයි. කිරුළපන කුණු මොලේ පුච්චන කුණුවල අළු මෙතනට තමයි ගෙනත් දැම්මේ. ඒක නිසා තමයි මේ පැත්තට "අළුවල " කිව්වේ. ගල්වලට එහා දැනුත් තියෙන නගර සභාවේ නිල නිවාස පේළිය  ඒ කාලේත් තිබුණා. ඒ නිල නිවාස දැන් අවුරුදු සීයකට  කිට්ටුයි.

මේ ගල්වල මහා විශාල එකක්. මේ ගල් වලේ යටින් දෝනා තිබුණා එහා පැත්තේ ගල්වලවල්වලට යන්න. ඒ ගල්වලවල් මේ පැත්තම වැහෙන්න පැතිරිලා තිබුණේ.  කෝට්ටේ මහත්තයාගේ වත්තේ ගල්වල තමයි තිබුන ලොකුම එක. පරණ කුරේ පාක් එක ඉස්සරහ තව විශාල ගල්වලක් තිබුණා. ඩබ්ලිව්.ඒ.සිල්වා මාවතේ ධර්මෝදය පන්සලේ චෛත්‍යය හදපු තැන, පන්සල ඉස්සරහ, සුවිශුද්ධාරාම පන්සලේ බෝ ගහ ළඟ, ජේමිස් අප්පුගේ කඩේ ඉස්සරහ ලොකු ගල්වලවල් තිබුණා. මේ මහා ගල්වල අළුවලවත්තේ නගර සභාවේ ඩිපෝ එක හරියට යනකම් පැතිරිලා තිබුණා. ගල්වලේ යට දෝනාවෙන් ඩක්කු ගිහිල්ලා ඒ ගල්වලවල්වල කඩන ගල් ගෙනාවේ මේ  අළුවලවත්තේ ගල්වලට තමයි. පස්සේ මේ ගල්වල නගර සභාවේ කුණු වලිනුයි කුණු පුච්චන අළු වලින්ම පිරුණා. අපි ගෙවල් හැදුවේ ඒක උඩ තමයි. අනිත් ගල්වලවල් පස්සේ නගර සභාවේ කුණු දාලා ගොඩවෙලා දැන් ලොකු ෆ්ලැට් ගහලා තියෙනවා.අපි එනකොට මේ ගල්වලේ ගල් කඩන්නේ නැහැ. නමුත් මට මතකයි නගර සභාවේ කුණු ගෙනත් දානවා. කෝට්ටේ මහත්තයාගේ වත්තේ ගල්වල ගොඩ කරලා ලොකු ෆ්ලැට් එකක් ගැහුවේ මේ ලඟදි.

| මල්ලිකා නිවාසය සිහිවීම පිණිස නිකුත් කළ මුද්දර කවරයක්

"ගිනි ගත්ත ගෙවල්වල පවුල් 18ක් හිටියා. මෙතන ගෙවල් 13ක් ගැහුවා. සමහරු වෙන තැන් වලට ගියා.කි ල්ලපනේ ගෙවල්  300 වත්තට (කිරුලපන  නාගරික නිවාස සංකීර්ණය) සමහරු ගියා. එතන පරණ කැරකෝප්පුවක්, මිනී වලවල් උඩ හදපු ගෙවල්වලට යන්න බෑ කියලා අපේ අම්මලා ඒවට ගියේ නෑ. කිල්ලපනේ කෑම්ප් එක වත්ත කියන්නේ සුද්දගෙ කාලයේ පරණ කැරකෝප්පුව. පස්සේ නගර සභාවෙන් අපේ තාවකාලික පොල් අතු ගෙවල් ඉස්සරහ හොඳ ගෙවල් පේලියක්  හදලා, ඒ පැල්පත්වල හිටිය අයට දුන්නා. තව තොටළඟ මාදම්පිටිය පැත්තේ ගංවතුරට අහු වෙච්ච කට්ටියකුත් මේ ගෙවල්වලට ආවා.

| ඩොරික් ද සූසා

මේ ගෙවල්වල  කුලිය රුපියල් දහයයි. පස්සේ අපිට එච්චර ගෙවන්න බැහැයි කියලා අපේ තාත්තලා කිව්වට පස්සේ, ඩොරික් ද සූසා නගර සභාවේ කතා කරලා කුලිය රුපියල් පහක් කළා. මේ පැටන් එකේ ගෙවල් තමයි කිල්ලපනේ කුණු මෝලවත්තෙයි, බොරැල්ලේ මැගසින් රෝඩ් එකෙයි හැදුවේ. ඒවට කිව්වේ "රුපියල් පහේ ගෙවල්" කියලා. ඒ ගෙවල් ගොඩක් දුන්නේ නගර සභාවේ වැඩ කරන අයට. අළුවලවත්තේ ඒ ගෙවල්වලට මුලින්ම ආව අයගේ තුන්වැනි පරම්පරාව තමයි දැන් ඒ ගෙවල්වල ඉන්නේ. එහා පැත්තේ තිබුණ නගර සභාවේ ක්වාටස්වල අපි එනකොටත් කට්ටිය හිටියා. ඒ ගෙවල් පේලියෙත් සක්කිලි පවුලක් හිටියා.

වමේ බලකොටුව

එකල වැල්ලවත්ත පාමංකඩ මේ කලාපය දැඩි ශක්තිමත් වමේ බලකොටුවක් විය. මේ ප්‍රදේශයේ චූල ජනාවාස වල බොහෝ තරුණයෝ දේශපාලනයට තෝරා ගත්තේ වමේ කඳවුරයි. නගර සභාවේ, රෙදිමෝලේ සේවකයෝ වගේම නාගරික චූල ජනාවාස වල මිනිසුන් තමන්ගේ දේශපාලන පරමාදර්ශ චරිත සපයා ගත්තේ වමෙන්. නමුත් මේ මිනිස්සු වෙනුවෙන් දේශපාලනයට වමෙන් ආවේ දැන උගත් ධනවත් මහේශාඛ්‍ය චරිත මිසක් පීඩිත පන්තියේ නියෝජිතයන් නොවේ. ඔවුන් මේ දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රශ්ණවලට මැදිහත් වී  ඔවුන්ට යම් සහනයන් ලබා දුන්න ද ඔවුන් ඒ පීඩිත පන්තියේ මිනිසුන් සමග ජ.වි.පෙ  ලාල් කාන්ත කියන විදිහට "අරක්කුයි සෝඩායි වගේ කලවම්  වූයේ නැත". ඒ නිසා ඔවුන්ට වැඩි කාලයක් වමේ දේශපාලනය කොළඹ නගර සභාවේ  පවත්වා ගෙන යාමට අවශ්‍ය මූලික දේශපාලන  සුදුසුකම් වන ජනතා ඇලියාව අහෝසි වී ගියා.

"අපේ වත්තට තිබුණෙත් බාල්දි කක්කුස්සි. වත්තට හැරෙන තැනම තමයි ඒ බාල්දි කක්කුස්සි තිබුණේ. ඒවා ආංඩුවේ පොල් අතු කක්කුස්සි. පොදු කක්කුස්සි. ගෑනු හතරයි පිරිමි හතරයි තිබුණේ. පාමංකඩ හන්දියේ තව  ආණ්ඩුවේ ඩෙනේජ් කක්කුස්සි පේළියක් තිබුණා. ඒවා සේරම දැන් කඩලා. මේ ගෙවල් පේලියෙම සක්කිලි මනුස්සයෙක් හිටියා ඒ බාල්දි කක්කුස්සිවල වැඩ කරන්න. පාමංකඩ හන්දියේම ඇතුලට වෙන්න තමයි "සක්කිලිවත්ත" තිබුණේ (වර්තමාන ග්‍රේරෝ පෙදෙස) "උප්පොච්චි" කියලා සක්කිලි ගෑනියෙක් හිටියා. එයා හොඳටම බීලා ලස්සනට නටනවා. තව හිටියා රාමන් කියලා කෙනෙකුත්. ඒ මිනිස්සු සාමාන්‍ය විදිහට අපි අතර හිටියා.

රික්ෂෝ පාර්ක්

"රික්ෂෝවත්ත” තිබුණෙත් පාමංකඩ හන්දියේම තමයි. රික්ෂෝ අයිතිකාරයා හිටියේ එතන  නිසා එතන තමයි  රෑට රික්ෂෝ නවත්තන්නේ. ඒවා දවසෙ කුලියට තමයි එක එක්කෙනාට වැඩ කරන්න දෙන්නේ."

"ඒ කලේ පාමංකඩ හන්දියේ මේ වගේ සාරෙට තිබුණේ නැහැ. ඒක හෝටලයයි තිබුණේ  ඒ "සිරිසඳ හෝටලය".

මේ සිරිසඳ හෝටලය අදටත් පාමංකඩ හන්දියේ ඉතිහාසය පෙරට අරන් යමින් පවතී.

"හන්දියේ බබර් සප්පුව කළේ ඉන්දියාවෙන් ආපු මලයාලංකාරයෝ. මාළු පොලක් තිබුණා. මාළු පෙට්ටි විසිපහක් තිහක් කෝච්චියෙන් වැල්ලවත්තට ගෙනල්ලා, මෙතනට ගේනවා. මෙතෙන් දී වෙන්දේසි කරලා පොඩි වෙළෙන්දෝ අරන් යනවා. ඒ වෙන්දේසිය කළේ කල්‍යාන රෝඩ් එක පල්ලෙහා හිටිය බාරොන් පීරිස්. පාමංකඩ හන්දියේ නාට්‍ය ගැහුවේ ඒ අයගේ කට්ටිය තමයි.

පාමංකඩ ධර්මෝදය පන්සල හරි පුරාණ පන්සලක්. ඒ කාලේ ඒ නිකායේ  හාමුදුරුවරුන්ගේ ඔක්කොම නඩුව අහන්නේ, දඩුවම් දෙන්නේ මෙතන තමයි. අපි ඉතිං ගිහිල්ලා බලන් ඉන්නවා. පන්සලේ ඇබිත්තයාට හිටියේ ගොළුවෙක්. මිනිහා පාමංකඩ ඕන කෙනෙක්ගෙ ගෙයක් දන්නවා.

දැන් ෆුඩ් සිටිය ලඟින් ඇතුලට තියෙන පාරේ තිබුණ ගෙවල් පේලියෙන් පරණ එක ගෙයයි තාම ඉතුරු වෙලා තියෙන්නේ ඒ විදිහටම. එතන ඇතුලට කිව්වේ "අම්පිටිය" කියලා. ඒකේ දං, පේර, අඹරැල්ලා, ගොරකා, වෙරළු පලතුරු නැති ජාතියක් නැහැ. 

පාමංකඩ බයිලා චන්දරේ ඒ කාලේ හරි ජනප්‍රිය බයිලාකාරයා. එම්.එස්ලා, රූබන් පීරිස්ලා  එක්ක තමයි වාද බයිලා කිව්වේ? ඒගොල්ලන්ගේ ගෙට එහා  තමයි සිල්ලරයි තේ වතුරයි තිබුණ ගරාදිකඩේ තිබුණේ .

අපේ අම්මලා කියනවා නගර සභාවේ වැල්ලවත්තේ පරණ ඩිස්පෙන්සරිය තිබුණේ අළුවලවත්තට ඉස්සරහ හරියේ කියලා. මට නම් මතක නැහැ.

ඒ හරියේ තමයි තිබුණේ  "ළමයි දොළොස් දෙනාගේ ගේ". ළමයි දොළොස් දෙනාගේ ගේ කිව්වම හරි ප්‍රසිද්ධයි. ඒගොල්ලෝ ලංසි පවුලක්.

පාමංකඩ ලේන් ඒක පටන් ගන්න තැන ඉඳන් එහා පැත්තේ අර්තුසා (විද්‍යාලය) එක හරියට යනකම්ම "හේනවත්ත" තමයි. තනිකරම පාලු කැලේ. හේනවත්ත ඒක පරණ හේනක් නිසා. ඒකෙන් ඇවිල්ලා කල්‍යාණ රෝඩ් එක පැත්තට මතු වෙන්නත් පුළුවන්.

ඒ හේනවත්තට (දැන් පාමංකඩ පටුමග) හැරෙන තැන තමයි ඩබ්ලිව්.ඒ. සිල්වගේ ගෙදර තිබුණේ. කෝවුර් මහත්තයා හිටියෙත් මේ පාරේ. ඩබ්.ඒ.සිල්වගේ ගෙට එහා පැත්තේ තමයි  සෙල්ලයියගේ ගෙදර කරපු සමුපකාරේ තිබුණේ. සෙල්ලයියා තමයි ඒ කාලේ සමූපකාරේ කළේ."

දෙවන ලෝක යුද්ධ සමයේ රජය ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරීම කළේ සමූපකාර ව්‍යාපාරය ඔස්සේ. නමුත් එකල සමූපකාර ව්‍යාපාරය ව්‍යාප්ත වී තිබුණේ පෞද්ගලික මුදලාලිලා පවත්වා ගෙන ගිය නියෝජිත සමූපකාර කඩ ඔස්සේ ය.

"සැපයර් හෝල් එක හදන්න කලින් එතන තිබුණේ පයබ්‍රිකෙඩ් එකේ වතුර ටැංකියක්. හෝල් එක හදනවත් මට මතකයි. ඒ කාලේ ගැලරිය සත පනහයි. ශත 25යි පොඩි අයට. ඊළඟ පන්තිය රුපියලයි. දෙමළ පිච්චර් තමයි ගොඩක් ආවේ."

සැපයාර් සිනමා ශාලාවට යාබද  පාර පීටර්සන් ලේන් ය. එකල බයිසිකල් රේස් පදින සුප්‍රසිද්ධ පීටර්සන්ලාගේ නිවස පිහිටියේ ඒ පාරේ මැද හරියේ. කොළඹ ඉතා පැරණි ලන්දේසි පරපුරකට නෑකම් කියන බර්ගර් පවුල ජීවත් වූ මෙම නිවසේ ඉදිරිපිට ආරුක්කුවේ Peterson ලෙස කැටයම් කර නම් කර තිබුණි.

ඒ අනුව පීටර්සන් නිවස තිබූ එම මාර්ගය 'පීටර්සන් ලේන්' ලෙස නම් කෙරී ඇත. නමුත් මීට වසර කිහිපයකට පෙර එම ඉපැරණි නිවස කඩා නව මහල් නිවාස සංකීර්ණයක් එහි ඉදිකර ඇත.

"පීටර්සන් ලේන් එකේ හිටියා මුහුදේ බැහැලා විසිතුරු මාළු අල්ලන අතුකෝරල කියලා අයියලා මල්ලිලා දෙන්නෙක්. අතුකෝරල හාමු කිව්වහම ඕන කෙනෙක් දන්නවා. ඒ ලේන් එකේ ෆෙඩ්රිකා රෝඩ් එකට හැරෙන තැන තමයි 'ගාත් අයියගේ තේ වතුර කඩේ' තිබුණේ. එතනින් එහා ඇළ ගාවට යනකං තනිකරම කීර කොටුයි තණකොළ කොටුයි."

වැල්ලවත්ත, බම්බලපිටිය ප්‍රදේශයේ බොහෝ අතුරු මාර්ග නම් කර ඇත්තේ එම මාර්ගවල ජීවත් වූ සුවිශේෂ පුද්ගලයන්ගේ නම්වලිනි. විශේෂයෙන් මේ නම් බහුතරයක් බර්ගර් නම්. ඉංග්‍රීසීන් කොළඹ බලකොටුව අල්ලා ගත් පසු කොටුව ඇතුලේ සහ ඒ ආසන්න පරිධියේ ජීවත් වූ ලන්දේසින් හෙවත් බර්ගර් ජාතිකයන් කොටුවෙන් පිටමන් කිරීම නිසා ඔවුන් බොහෝ දෙනකු පැමිණ පදිංචි වූයේ බම්බලපිටිය, වැල්ලවත්ත කලාපයේය. ඔවුන් තමන්ගේ පරම්පරා නමින් සිය නිවෙස් නම් කළ නිසාම, එම මාර්ග එම නම් වලින් ම  නම් කර තිබේ. උදාහරණ හාමර්ස් ලේන්, බොස්වල් ප්ලේස්, වැවර්සට් ප්ලේස්, ෆෙඩ්රිකා රෝඩ්, පසල්ස් ලේන්, පෙනිකුවික් රෝඩ්..... වගේ ඒවා.

| කුරේ පාක්

"දැන් කුරේ පාක් එකේ පැවිලියන් එක තියෙන හරියේ තිබුණා ඒ කාලේ ලොකු බෝ ගහක්. ඒ හරියෙන් අඩි පාරක් තිබුණා කෙලින්ම සැවොයි එක පැත්තට යන්න පුළුවන්.හැම්ඩන් ලේන් එකේ දෙපැත්තෙම පොඩි පොඩි ගෙවල් තමයි තිබුණේ. හැම්ඩන් ලේන් එකේ කොනේ තමයි තිබුණේ මැණික්වල. මේ මැණික් වල කිව්වේ (මීට පෙර ලිපියක ද සඳහන් වූ වැල්ලවත්ත ඇල) ඇලේම තිබිච්ච වලකට. ඒ හරියේ කවුරුත් නාන්න යන්නේ නැහැ . මොකද මේ වලේ තිබිලා එක පාරට රත්තරන් සෙම්බුවක් මතු වෙනවා, ඒක ගන්න ගිය මිනිහෙක් ආවේ නැහැ කියලා කතාවක් තිබුණා. එතන වේළුවනාරාම පාර පැත්තට වෙන්න තමයි 'කිරි හොද්දගෙ කඩේ' තිබුණේ. එතනට තමයි පාරු එන්නේ. ඒ පාරුවල දර ගේනවා. ගඩොල් ගේනවා. වැලි ගේනවා. බඩු ගෙනල්ලා බාන්නේ මේ හරියේ තමයි. අපි යනවා ඒ පාරු බත් කන්න. හරි රසයි. අපි ඉතින් පොඩියිනේ අඬගහලා දෙනවා කන්ඩ.

ඊරොස් (සිනමා ශාලාව) එක දැන් තියෙන තැන ඉස්සර 'ගල් කඩනවත්ත'. ගෑනු උදේට ඇවිල්ල මෙතන පොඩි සයිස් වලට ගල් කඩනවා. ඒක පිටිපස්සෙත් ලොකු වත්තක් තිබුණා. එතනත් පාරු පොට් එකක් තමයි. පාමංකඩ පාලමේ ඉඳලා විහාර ලේන් පාලම ළඟට යනකන් දිගටම මේ පාරු නවත්තලා බඩු බානවා .පාමංකඩ පාලම ළඟත් තිබුණා තේ වතුර කඩයක්.

මේ ඇල රෙදි මෝල ළඟ ඉඳන් දෙහිවලට යනකන් යනවා. ඒක මැදින් හැරිලා කළුබෝවිල පැත්තට හරියට ගිහිල්ලා ඒ ඇල දිගටම කළුතරට යනකන් යනවා.

(මේ ඇල මාර්ගය ඔස්සේ මොරටුවේ මිනිසුන් ඔරු පාරු මගින් කැලණි විහාරය වඳින්න ගිය බව මොරටුවේ පැරැන්නෝ කියන බව රුසියාවේ උසස් අධ්‍යාපනය ලද ඉංජිනේරු සංස්ථාවේ හිටපු ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙකු වූ කරුණානන්ද ගජවීර මහතා මෙම ලියුම්කරු සමග වරක් ප්‍රකාශ කළේය) මේක හරිම පිරිසිදු වතුර තිබුණ ඇලක්. මේ පළාතෙම මිනිස්සු නාන්න යන්නේ  ඇළට. ඉස්සර ගොඩක් අයට පයිප්ප තිබුණේ නැහැ. තියෙන තැන්වලත් පයිප්පවල ළිං වල නාන්නෙ නැතිව මේ පළාතෙම මිනිස්සු නාන්න යන්නේ  මේ ඇළට.

ඒ වගේම රෙදි මෝලේ වාෂ්ප ඇන්ජිමේ බොයිල් වෙන  උණුවතුර බටයක් දිගේ ඇවිල්ලා ඇළට වැටෙන හරියේ ඇලේ වතුර ඔක්කොම උණුයි. ඉතිං රෙදි මෝලෙ ඇලට දුර ඉඳන් ගෑණු මිනිස්සු එනවා උණු වතුර නාන්න. ඇලේ උණු වතුර නාන එක හරි ජනප්‍රිය වැඩක් ඒ කාලේ.

මැනිං ප්ලේස් එකේ දිගටම තිබුණේ  එක වගේ ගෙවල්. ලොකු බිල්ඩිමකට තිබුණේ පෙන්තකොස්ත පල්ලිය. ඒක හරිම පරණ එකක්. ඊට එහා පැත්තේ තිබුණේ නගර සභාවේ ඩිස්පෙන්සරිය. මම දන්න දවස් ඉඳන් ඩිස්පෙන්සරිය තිබුණේ එතන තමයි. මේ පැත්තෙම ගෑණු ළමයි හම්බවෙන්න ගියේත් ඕනම ලෙඩකට බෙහෙත් ගන්න ගියෙත් ඒකට තමයි. වැල්ලවත්ත ඩිස්පැන්සරියේ ළමයි දස දහස් ගානක් කිසිම කරදරයක් නැතුව ඉපදුනා. ළමයෙක් හරි අම්මා කෙනෙක් හරි මැරුණා කියලා අපිට මතක ඇති කාලෙක අපි අහලා නෑ ඔය ඩිස්පෙන්සරියේ. ඒ තරම් හොඳ දක්ෂ දොස්තරලා වින්නඹු අම්මලා ඒකෙ හිටියේ.

ඔය වැල්ලවත්තේ (පරණ) මාකට් එක අපි ඉපදෙන්නත්  කලින් ඉඳන් තිබිච්ච එකක්. මාකට් එකේ තිබුණා මැද මිදුලක්. දෙපැත්තේ මස් කඩ තිබුණා. පිටිපස්සට වෙන්න තමයි මාළු කඩ තිබුණේ. ඉස්සරහ එලවලු කඩ. මැද මිදුලේ මැද්දේ තිබුණා තරාදියක්.තමන් ගත්ත බඩු වල බර ගැන කාට හරි සැකයක් තියෙනවා නම් ඒකේ කිරලා බලන්න පුළුවන්. ඒවා පැමිණිලි කරන්න මාර්කට් ඔෆිස් එකේ සුදු  ඇඳ ගත්ත සැන්ටිපොර්ට්ලා (PHI) හිටියා.

වැල්ලවත්ත මාර්කට් එක

මාකට් එකට මෙහා පැත්තේ තමයි හුණු කඩේ මුදලාලිගේ ගේ තිබුණේ. ඒ පේළියේ දිගටම පොඩි පොඩි කඩ තිබුණා. මාකට් එකට අයිස් දෙන අයිස් කඩෙත් තිබුණේ ඒකෙම තමයි. වයින් ස්ටෝස් එක තිබුණේ  මාර්කට් එකට ඉස්සරහ පාරෙන් එහා පැත්තේ. ඒක තාම තියෙනවා. පොඩි තැපැල් කන්තෝරුවක්  තිබුණා ලිලී මාවත ළඟ. දැන් ඒක ලොකුවට හදලා.

"මිසි අක්කගේ නාන බාල්දිය" තිබුණේ ඩබ්ලිව්.ඒ. සිල්වා මාවතේ. නාන බාල්දිය අයිතිකාරයා වෙන කෙනෙක්. මිසි අක්කගේ ගේ තිබුණේ එතන නිසා කවුරුත් කියන්නේ 'මිසි අක්කාගේ නාන බාල්දිය' කියලා. දැන් ඒ නාන බාල්දිය නැහැ.

වැල්ලවත්තේ  හිටියා ලොකු මුදලාලි තමයි ආරියසිංහල මුදලාලි. එයාගේ ආරිය සිංහල හෝටලේ තිබුණේ ගෑස් කොම්පැණිය ළඟ. (වර්තමාන හමීඩියා සප්පුව ඇති කඩ පේළිය) පාරෙන් මෙහා පැත්තෙ (ලංකා බැංකුව ළඟ) තමයි දෙහිවල ගෝරින් මුදලාලිගේ (හිටපු අමාත්‍ය එස් ද එස්.ජයසිංහ මහතාගේ අයියා) ABC කැබ්ස් ටැක්සි තිබුණේ. ඩබ්ලිව්.ඒ සිල්වා මාවතට හැරෙන තැන තිබුණා හරි ප්‍රසිද්ධ සරුවත් කඩයක්.දැ න් ඒක බොම්බේ ස්විට් වුණා. ඒ කාලේ මේ පැත්තෙ තිබුණ ලොකුම ප්‍රසිද්ධ සැලූන් එක ඔලිම්පික් සැලූන් එක තිබුණේ  ඩබ්ලිව්. ඒ.සිල්වා මාවතේ හැරෙන තැනම කඩ පේළිය කොනේම. දහයක් දොළහක් එක සැරේ කොන්ඩේ කපනවා. ඊට එහා තිබුණ පොඩි මුඩුක්කුවට හැරෙන තැන  තිබුණ සයිවර් කඩේට කිව්වේ "සත්තුනේ සයිවර් කඩේ" කියලා. මොකද තෝසයක් ශත තුනයි. ඊට එහා තිබුණා බිලියඩ් මේසයක් තියෙන ක්ලබ් එකක්. කාගෙද දන්නෙ නෑ. හැබැයි ලොකු සල්ලිකාරයෝ තමයි එතනට එන්නේ. ටිකක් එහාට යනකොට තිබුණා මුඩුක්කුවක්.

සිරිසේන අයියා හිටියේ ඒ වත්තේ තමයි. එයා වැල්ලවත්තේ  හිටිය ලොකුම  චණ්ඩියා තමයි. හැබැයි එයා හරියට මිනිස්සුන්ට උදව් කරනවා. මල්ලිකා ලේන් එකේ හිටිය කාත් කවුරුත් නැති මිනිහෙක්  මැරුණ වෙලාවේ එයාගේ මරණෙ වැඩ ඔක්කොම කළේ සිරිසේන අයියා. එයා පිටකොටුවට ගිහින් දානෙට බඩු අරන් බස් එකේ එනකොට කොන්දොස්තරත් එක්ක කතාවක් වෙලා පාක් රෝඩ් එකට හැරෙන තැන බැහැලා ගහගත්තා. එතන දි කොන්දොස්තර එයාට පිහියෙන් ඇනලා උගුර දණ්ඩ කපලා මරලා  එතන තිබුණ ලොකු බෝක්කුවක දාලා තිබුණා. ඒ කාලේ පිළියන්දල පාරේ දිව්ව ගාමිණී ප්‍රයිවට් බස් අයිතිත්  කොහුවල  ගෝරින් ජයසිංහට. මේ බස්වල කොන්දොස්තරලට ඉන්නේත් ඔක්කොම චණ්ඩි මදාවි තමයි. එහෙම එකෙක් තමයි සිරිසේනව  මරලා තිබුණේ.

වැල්ලවත්තේ පොලිසියට එහා ඉසව්වට (දෙහිවල දෙසට) කිව්වේ ගාලු පාරේ 'නෙළුම් පොකුණ හන්දිය' කියලා. එතන හිටියා ප්‍රසිද්ධ වෙදෙක් කිරිනැලියේ වෙද මහත්තයා කියලා.

ඉස්සර (ගල්කිස්සේ) උසාවිය තිබුණේ රුද්‍ර ලේන් එක පටන් ගන්න හරියේ. 'පොල් අතු උසාවිය' කියලා තමයි කියන්නේ. රුද්‍රා නගරාධිපතිතුමාගේ නමින් තමයි පාර නම් කළේ.

හන්දිය පාලනය කළේ රාමන් අයියයි චන්දරේයි තමයි.

ඒගොල්ලෝ සිරිසේන අයිය ගෙන් පස්සේ මතු වෙච්ච කට්ටිය.

ඒ කාලේ පාමංකඩ දරමඩුව තිබුණේ දැන් අයි.එස් එක තියෙන තැන. ඒකට කිව්වේ 'දරමඩුව වත්ත' කියලා. හංදියට කිව්වේ 'දරමඩුව හංදිය' කියලා.

ඒ දරමඩුව කළේ ආණ්ඩුවෙන්. දර ගෙනල්ලා හීන් කරලා මිටි ගැටගහලා  විකුණනවා.

තව පාමංකඩ හන්දියෙත් දරමඩුවක් තිබුණා.ඩබ්ලිව්.ඒ. සිල්වා මහත්තයාගේ  ගේ පිටිපස්සෙත් දර මඩුවක් තිබුණා. 'බෙලිගහ දරමඩුව' තිබුණෙත් ඒ හරියෙම තමයි.

| පරණ සැවොයි සිනමා ශාලාව

ඒ කාලේ තිබුණා පරණම ෆිල්ම් හෝල් එක තමයි ප්ලාසා එක. සැවෝයි, සැපයාර්, ඊරෝස් සේරම හැදුනේ එක කාලෙක ඊට පස්සේ. ප්ලාසා අයිතිකාරයා සිල්වා මහත්තයා. එයාගේ තමයි සැවොයි එකත්. සිල්වා මහත්තයා රට යනකොට එයාගේ මල්ලිට මේක බාර දීලා ගියා. ඒ කාලේ හොඳ පිචර් ටිකක් ඇවිල්ලා මල්ලි  හොඳට සල්ලි හම්බ වුණා. ලොකු සිල්වා ඇවිල්ලා හෝල් එක ඉල්ලුවාම සල්ලි ද හෝල් එක ද ඕනේ කියලා මල්ලි ඇහුවා. මේ ඉඩම අයිති තිබුණේ බායි (බෝරා) කෙනෙක්ට. ගඩිනර් ගෙන් තමයි පිච්චර් ගන්නේ. 'උඹ සල්ලි ගනින් මට හෝල් එක දියං’ ලොකු සිල්වා කිව්වා. එතකොට සැවොයි එක තිබුණ තැන ලොකු පාළු පිට්ටනියක් .ඊට පස්සේ තමයි ලොකු සිල්වා එතන සැවෝයි එක හැදුවේ.

මෙහෙ හිටිය හොඳම ටේලර්ලා තමයි පාමංකඩ හිටිය නඩරාජා, රවි කියන මලයාලම් ටේලර්ලා.

මේ පැත්තෙ ලොකුම රික්ෂෝ ස්ටෑන්ඩ් එක තිබුණේ වැල්ලවත්තේ මාකට් ඉස්සරහ තමයි. අනිත් එක රෙදි මෝල ලඟ.

රෙදිමෝල බායියෙක්ගේ ඉඩමක්. මෝල පටන් ගත්තෙත් ඉන්දියාවෙන් ආව බායියෙක්. රෙදි මෝල ළඟ ලයිමේ හිටියේ  ඔක්කොම රෙදි මෝලේ වැඩ කළ මලයාලම් මිනිස්සු තමයි. රෙදි මෝල ඉස්සරහ කඩපේලියෙත් ඔක්කොම මලයාලම් කඩ තමයි තිබුණේ. දැන් මයුරපති කෝවිල තියෙන තැනට ඉස්සරහා තිබුණා ප්‍රධාන මලයාලම් කඩයක්. කට්ටිය ඔක්කොම කන්න යන්නේ  එතනට තමයි. ශෙඩ් එකට මෙහා පැත්තෙත් තිබුණා ලොකු විශාල මලයාලම් කඩයක්.

ඊශවරී පාරේ හිටිය ගුණසේකර මහත්තයා තමයි නගර සභාවට යූඑන්පි එකෙන් ඉල්ලුවේ. තුන් පාරක් ඉල්ලුවා. තුන් පාරම පරාදයි. ඊට පස්සේ ස්වාධීනෙන් ඉල්ලුවා, ඒත් පරාදයි. ඉස්සර තුන් පාරයි ඉල්ලන්න පුළුවන් පැරදුනොත්  ඊට පස්සේ බැහැ. වමේ පැත්තෙන් හිටියේ ඩොරික් සූසා තමයි. ඊට පස්සේ මැනින් ප්ලේස් එකේ රාජා මහත්තයා ඉල්ලුවා මේ සීට් එකට යූඑන්පී එකෙන්. ඒත් පරාදයි. මොකද මේක තනිකර සමසමාජ සීට් එකක් .ඩොරික් ද සූසට පස් ඔස්මන් ජයරත්න. ඊට පස්සේ පිටර්සන් ලේන්  එකේ සිඩ්නි වනසිංහ දිනුවා. ඊට පස්සේ ඉල්ලුවා තරාලසිංහම්. තරාලසිංහම් කියන්නේ ඩබ්ලිව්.ඒ.සිල්වා මාවතේ සමූපකාරේ දාගෙන හිටපු සෙල්ලයියගේ බෑණා. ඒ කාලේ ශ්‍රී ලංකාකාරයෝ කවුරුත් නෑ . සටන තිබුණේ සමසමාජයයි යූඇන්පියි විතරයි.

(පින්තුර අන්තර් ජාලයෙන්)

(අරුණ පුවත්පතට ලියූ ලිපි මාළාවක සංස්කරණයකි)

upul janaka jayasinghe

| උපුල් ජනක ජයසිංහ

 

සබැඳි පුවත්