අක්ෂි ආබාධ නිසා ඇතිවන අන්ධභාවය වැලැක්වීම, දැනුවත් කිරිම සදහා ව්‍යාපෘතියක්

අක්ෂි ආබාධ නිසා ඇතිවන අන්ධභාවය වැලැක්වීම, දැනුවත් කිරිම සදහා ව්‍යාපෘතියක්

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඕස්ට්‍රේලියාවේ “සියල්ලන්ටම පෙනීම ලබාදීමේ” (Sight-for-All, Australia)  සංවිධානය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කෙරේ.  

දියවැඩියාව, ග්ලෝකෝමාව වැනි රෝගී තත්ත්වය නිසා ඇතිවන අක්ෂි අන්ධභාවය අද මුළු ලෝකයටම තර්ජනයක් වී ඇත.

එලෙස ජනතාව අන්ධභාවයට පත්වීමෙන් ආරක්ෂා කර ගැනීම අරමුණු කර ගනිමින් ඊට හේතු සාධක වන බෝ නොවන රෝග තත්ත්වයන් කලින් හඳුනා ගැනීම, පාලනය හා වළක්වා ගැනීම සදහා ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතියට අදාලව  ඕස්ට්‍රේලියාවේ (Sight-for-All, Australia) සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම 21 දින සිදු විය.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සහ ඕස්ට්‍රෙිලියාවේ sight-for-All සංවිධානයේ නිර්මාතෘ සහ අනුශාසක Dr. James Sunter Mueeke මහතා අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිනි.

බදුල්ල පලාත් මහා රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය එරන්ද වන්නිගම මහතාගේ ඉල්ලීමක් මත ඕස්ට්‍රේලියාවේ “sight-for-All” සංවිධානය මඟින් මෙම ව්‍යාපෘතිය මෙරටට ගෙන එන ලදී. මෙහි මූලික පියවර වශයෙන් ඇමරිකන් ඩොලර් 53,130 කට අධික වටිනාකමකින් යුත් නව තාක්ෂණයෙන් සමන්විත vitreo-retina ඒකකයක් බදුල්ල පළාත් මහ රෝහල වෙත දැනටමත් ලබා දී ඇත. එමෙන්ම මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රධාන වශයෙන්ම දිවයිනේ සියලුම රෝහල්වලට නව තාක්ෂණික අංගවලින් සමන්විත දියවැඩියා සහ ග්ලෝකොමා රෝගී තත්ත්වයන් කලින් හඳුනා ගැනීම සදහා යොදා ගන්නා උපකරණ ලබාදීමට ද නියමිතය.