ලාදුරු රෝගය සම්බන්ධව නිවැරදි තොරතුරු සමාජ මාධ්‍ය හරහා සමාජ ගත කිරීම සඳහා ව්‍යාපෘතියක් දියත් කරයි

ලාදුරු රෝගය සම්බන්ධව නිවැරදි තොරතුරු සමාජ මාධ්‍ය හරහා සමාජ ගත කිරීම සඳහා ව්‍යාපෘතියක් දියත් කරයි

ලාදුරු රෝගය සම්බන්ධව නිවැරදි තොරතුරු සමාජ මාධ්‍ය හරහා නව ක්‍රමවේද ඔස්සේ සමාජ ගත කිරිමට ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය සහ එලායන්ස් ඩිවලෝප්මන්ට් ට්‍රස්ටි (ADT)  ආයතනය එක්ව A2P (ACT2PREVENT CAMPAIGN 2024) නමින් ව්‍යාපෘතියක් දියත් කිරීමේ සමාරම්භක වැඩසටහන අද (14)  සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විනි.

A2P ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය (Anti – Leprosy Campaign) සහ ADT (Alliance Development Trust) ආයතනය එක්ව ක්‍රියාත්මක කරන වැඩසටහනකි. ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය ලංකාවේ ලාදුරු වැළැක්විම සම්බන්ධයෙන් වන කේන්ද්‍රගත ආයතනය වන අතර, ADT ආයතනය මේ සදහා අත්වැල් බැඳගත් රාජ්‍ය නොවන ආයතනයකි.

ඉතා ප්‍රබල මාධ්‍යයක් වන සමාජ මාධ්‍ය හරහා නව ක්‍රමවේද ඔස්සේ නිවැරදි තොරතුරු ජනගත කිරිම මගින් රෝගය සම්බන්ධ නිවැරදි දත්ත, තොරතුරු සහ දැනුම්වත්භාවය ලබාදීම මෙහි මූලික අරමුණ වන අතර, රෝගය සම්බන්ධව පවතින වැරදි මත නිවැරදි කර ඉතා ඉක්මණින් සැඟවී සිටින රෝගීන් ප්‍රතිකාර සදහා යොමු කිරිමට අපේක්ෂා කරන අතර ම රෝගීන් සමාජයෙන් කොන් කිරීම අවම කිරිම තුලින් ඔවුන්ට යහපත් මානසික වටපිටාවක් නිර්මාණය කිරීම ද තවත් ඉළක්කයකි.

ලාදුරු රෝගය ඉතා සෙමින් ව්‍යාප්ත වන නිසි අවධානයට යොමු නොවූ රෝගයකි. රෝගය සම්බන්ධයෙන් පවතින වැරදි මිථ්‍යා මත සහ රෝගී බවට පත්වූවන් සමාජයෙන් කොන් කිරිම අදටත් නොවිසදුණු ගැටළුවක්ව පවතී. තවද රෝගයට ලක්වුවන් මානසිකව ද බිදවැටීමට ලක්වන අතර, රෝගීන්ගේ ඇතිවන දුබලතා රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑම් එල්ල කරනු ලබයි.

ශ්‍රී ලංකාව රටක් ලෙස මෙම රෝගය තුරන් කිරිම සදහා කටයුතු කරමින් සිටින නමුත් රෝගය හා බැදී ඇති ඉහත සාධක මෙම ගමනට බාධාවක්ව පවති. එම නිසා ඉහත සාධක බිඳ දැමීම සදහා නව උපක්‍රම භාවිතය කාලීන අවශ්‍යතාවයකි.

ලාදුරු රෝගය මර්දනය කිරිම සදහා ලාදුරු ව්‍යාපාරය 1954 වර්ෂයේ දී ආරම්භ කළ බවත්, මෙම වසරේ අද වනවිට ලාදුරු රෝගීන් 1500 ක් පමණ වාර්තා වන බවත්, 2024 වර්ෂයේ පළමු කාර්තුවේ රෝගීන් වාර්තාවීමේ අඩුවක් දැකගන්නට ලැබෙන්නේ රෝගය මර්දනය සදහා ගන්නා ලද විවිධ ක්‍රියාමාර්ග නිසා බවද පැවැසීය. ලාදුරු රෝගය සෞඛ්‍ය පද්ධතිය තුල හදුනාගන්නා සේම 1990 ගණන් වල මාධ්‍ය හරහා විශාල දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කළ බව ද පැවැසීය. ඒ අනුව රෝගය පිළිබද සැකසහිත විශාල රෝගීන් ප්‍රමාණයක් සායන සදහා පැමිණි බව ද පැවැසීය. අද වනවිට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් ක්‍රියාත්මක කරන සායන සහ රෝහල් සායන හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද ගුණාත්මක ඉහළ ප්‍රතිකාර මාස 06 ක්, අවුරුද්දක් වශයෙන් ලබාගත හැකි බවත්, එම කාලය තුල නිසිපරිදි ප්‍රතිකාර ලබාගැනීමෙන් රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බව ද පැවැසීය.

ලාදුරු රෝගය යනු බිය විය යූතු නැති රෝගයක් බවත්, එම රෝගින් ‌සමාජයෙන් කොන් නොකළ යුතු බවත්, රෝගියෙකුට ප්‍රතිකාර ආරම්භ කර දින දෙකකින් පසු තවත් පුද්ගලයෙකුට රෝගය බෝකිරීමේ හැකියාව නැතිව යන බව ද පැවැසීය. මාධ්‍ය මේ පිළිබදව අවධානය යොමු කිරිමත් සමග බරවා, මැලේරියා, සරම්ප රෝග තුරන් කළා සේම මෙම රෝගය ද තුරන් කිරිමට ජනතාව දැනුවත් කරමින් ඉදිරියට යා හැකි වන බව ද පැවැසීය.

මෙම අවස්ථාවට ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත, එලායන්ස් ඩිවලෝප්මන්ට් ට්‍රස්ටි අධ්‍යක්ෂ රඝු බාලචන්ද්‍රන්, ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලාදුරු මර්දන ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කේ.ඩී.එන්.පි රණවීර යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.