එකඟතා ක්‍රියාත්මක නොවීමෙන් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයකට සැරසෙයි

එකඟතා ක්‍රියාත්මක නොවීමෙන් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයකට සැරසෙයි

සතියක් ඇතුළත පරිපූරක වෛද්‍ය සේවාවට අදාල සාකච්ඡාමය එකඟතා ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹීමට කටයුතු කරන බව දන්වා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් දන්වා සිටිනවා.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, පරිපූරක වෛද්‍ය සේවාවට අදාල ගැටළු හැකි සෑම අවස්ථාවකදීම සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට අප උපරිම වශයෙන් උත්සහ දරා ඇත. බොහෝ ඉල්ලීම් මෙතෙක් ධූරය හෙබවූ සෞඛ්‍ය ඇමතිවරුන් ගණනාවක් හා සෞඛ්‍ය ලේකම්වරුන් ගණනාවක් සමඟ සාකච්ඡා කර සැලකිය යුතු කලකට පෙර එකඟතාවයන් ලබා ගෙන ඇති නමුත් එම බොහෝමයක් එකඟතාවයන් සාකච්ඡා සටහන් තුලට පමණක් සීමා වෙමින් පවතී.

කෙසේ නමුත් පරිපූරක වෛද්‍ය සේවාවට අදාල බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීමට වසර හතරකට අධික කාලයක් වැය කර ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව එකිනෙකා වෙත චෝදනා කිරීම හැරුනු කොට එහි ප්‍රතිපලයක් නොමැත. මේ නිසා පරිපූරක වෛද්‍ය සේවාවේ

  • පළමු පන්තියේ නිළධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉමට අදාල කලමණාකරණ පුහුණුව නොපැවැත්වීම
  • එම නිළධාරීන්ගේ වැටුප් වර්ධක විලම්භලය වීම හා උසස්වීම් ඇණහිටීම/ පමාවීම
  • උපාධිධාරීන් සීමාවාසික පුහුණුවට බඳවා ගැනීම විධිමත්ව සිදු කිරීමට නොහැකි වීම
  • සීමාවාසික පුහුණුවට අදාල අමාත්‍යවරයාගේ හා ලේකම්ගේ නියෝග නොසලකා හැරීම

වැනි අකටයුතුකම් සිදු වෙමින් පවතී. ඒ අනුව ඉතා සුහදව සාකච්ඡා කරමින් ඇතිකරගත් සාර්ථක හා ධනාත්මක එකඟතාවයන් ක්‍රියාත්මක නොකරන අමාත්‍යාංශයක් බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පත්වී ඇත.

තවද සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ මැදිහත්වීම මත සෞඛ්‍ය අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානීගේ එකඟතාවය මත ආර්ථික යුක්තිය ඉටු කිරීමට අදාලව පරිපූරක වෛද්‍ය සේවාවට යෝජිත රු 10,500ක දීමනාවෙහි ඉතිරි කොටස ලබා දීමට අදාල එකඟාවයන් ක්‍රියාත්මක නොකිරීම.

නිළඇඳුම් දීමනාවට සමාන්තරව ඇමතුම් සේවා දීමනාව (Being On-call Allowance) ඉහල දැමීමට අදාල එකඟතාවය ක්‍රියාත්මක නොකිරීම යන කරුණු පිළිබඳවද ඔබගේ කාරුණික අවධානය යොමු කරවමු.

එ් අනූව සතියක කාලයක් ඇතුලත අදාල එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන්නේ නම් 2024.06.06 වන දින සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙමින් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සිදු වන බව කාරුණිකව දන්වා සිටිමු.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කඩිනම් අවස්ථාවක් අපේක්ෂා කරමු.