ගාසා ජන ඝාතන වහා නතර කරනු - නිදහස් වෙළඳ කළාප හා පොදු සේවක සංගමය

ගාසා ජන ඝාතන වහා නතර කරනු - නිදහස් වෙළඳ කළාප හා පොදු සේවක සංගමය
  • ඊශ්‍රායල ජන සංහාර සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වග කිව යුතුය

පසුගිය වසරේ ඔක්තොම්බර 07 වන දින ඇරඹු ඊශ්‍රායල ප්‍රහාර විසින් මේ වන විට ගාසා ප්‍රදේශයේ 36,000 කට වැඩි පලස්තීනු වැසියන් ඝාතනය කර ඇතැයි වාර්තා වේ. ඉන් 15,000 ට වැඩි සංඛ්‍යාව දරුවන් යැයිද ගණන් බලා ඇත. ඊශ්‍රායලය පවසන්නේ ඔවුන් “හමාස් ත්‍රස්තවාදයට” එරෙහි යුද්ධයක නිරත වන බවය. එය මාස 07 ක් ඇතුළත මේසා විශාල සිවිල් වැසි ඝාතනයකින් සනාථ කළ හැක්කක් නොවේ. ඒ සංඛ්‍යාවට අතුරුදහන්වූ සිවිල් වැසියන් තවත් 10,000 ක් එකතු විය යුතු අතර නිසි වෛද්‍ය පහසුකම් නොමැතිව ඉන්නා තුවාල වූවන් 81,000 ක්ද ඇත.

රාෆා නගරයට එල්ල කෙරෙන සියලු ප්‍රහාර වහා නතර කරන මෙන් “යුක්තිය පසිඳලීමේ ජාත්‍යන්තර අධිකරණය” ඉකුත් මැයි 24 වන දින නිකුත් කළ නියෝගය නොතැකීමේ නිදහසක්ද ඊශ්‍රායලය ලබා ගෙන ඇත. ඒ හේතුවෙන් සතියක් ඇතුළත ඔවුන්ගේ ප්‍රහාර හමුවේ රෆාහි මිය ගිය අනාථවූවන් සංඛ්‍යාව අවම 200 ක් වන්නේ යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයක් පවසා ඇත. මිය ගිය සංඛ්‍යාවෙන් බහුතරය කාන්තාවන් හා කුඩා දරුවන් යැයිද එම සංවිධානය පවසා තිබිණ.

ජන සංහාරයකට වඩා කිසිදු අඩුවක් නොමැති මේ මෘග පලස්තීනු සිවිල් වැසි ඝාතන නොකඩවා කර ගෙන යාමට ඊශ්‍රායලයට ඉඩ තැබීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වග කිව යුතුයැයි නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය තරයේ විශ්වාස කරන්නෙමු. එවගේම අවාසනයක් නොමැති සාකච්ඡා සහ කේවල් කිරීම් සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වැය කරන කාලය විසින් ඊශ්‍රායලයට ඔවුන්ගේ ජන සංහාරය සඳහා අසීමිත කාලයක් ලබා දෙන්නේ යැයිද අප සංගමය කියන්නෙමු.

ඊශ්‍රායලයට සිවිල් වැසි ඝාතන සඳහා කාලය ලබා දෙන සටන් විරාම සාකච්ඡා තවත් අවශ්‍ය නොවේ. දැන් අවශ්‍ය වන්නේ වහා සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමය. එනිසා සටන් විරාමයක් වහා ක්‍රියාත්මක කරන මෙන්ද ඊශ්‍රායලයට ඔවුන්ගේ සියලු හමුදා ගාසා ප්‍රදේශයෙන් ඉවත් කර ගන්නට යැයි පැහැදිළි නිල ප්‍රකාශයක් කරන මෙන්ද නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ ඊශ්‍රායලයට අවි ආයුධ සැපයීමට එරෙහි පූර්ණ සම්බාධක පැනවීමක්ද සමගින් ය. ගාසාවට එල්ල කරන ප්‍රහාර වහා නතර නොකළහොත් ඔවුන් හුදකලා කෙරෙන වෙළඳ හා සංස්කෘතික සම්බාධකද පනවන බවට පැහැදිලි දැඩි ප්‍රකාශයක් කළ යුතු යැයිද අප සංගමය කියන්නෙමු.

අනාථව සිටින පලස්තීනු ජනතාවට අවශ්‍ය ආහාර සහ හදිසි ඖෂධ ගෙන යාම සඳහා එම ඉල්ලීම් ඉදිරි සතියේ පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ වාර්ෂික සැසි වාරයට ඉදිරිපත් කරන මෙන්ද එම ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවලට බලපෑම් කරන මෙන්ද නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ගෝලීය වෘත්තීය සමිති සම්මේලන වෙත විශේෂ ඉල්ලීමක් කරමු.