ලංකා බැංකු සේවක සංගමයේ දකුණු පළාත් මහා සම්මේලනයේ දී දෙනු ලැබූ ප්‍රතිඥාව

ලංකා බැංකු සේවක සංගමයේ දකුණු පළාත් මහා සම්මේලනයේ දී දෙනු ලැබූ ප්‍රතිඥාව

රාජ්‍ය බැංකු විකිණීමට, සාමූහික ගිවිසුම් කල්මැරීමට, අසාධාරණ බදු අය කිරීමට, කම්කරු නීති කප්පාදුවට, මර්දන අණ පනත්වලට, සේවක අරමුදල් කොල්ල කෑමට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය විසින්  දකුණු පළාත් සමුළුව 2024 ජුනි මස 02 දින ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ක්‍රිඩාංගණයේදී සාමාජිකයින්ගේ එකුමුතුවෙන් පවත්න ලද අතර, එහිදී ඉදිරිපත් කරන ලද පතිඥාව පහතින් දැක්වේ.

“ශ්‍රී ලංකාද්වීපයේ අගනගරයෙන් ඇරඹී, ඈත, ගම්, නියම් ගම් සිසාරා, බැංකුකරණයේ නිම් වළලු පුළුල් කරමින්, සුවහසක් ජනයාගේ ජීවන ගැටලු ලිහිල් කරලීම සඳහා, උපරිමයෙන් උර දෙමින්, දේශීය ආර්ථිකයේ පාදම දරා සිටින, මහා ස්ථම්භයන් ද්විත්වය වන, අප ලංකා බැංකුව හා මහජන බැංකුව ඇතුළු ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, රාජ්‍ය උකස් හා ආයොජන බැංකුව, HDFC බැංකුව, ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකු රටට දැයට හිතැති යුග පුරුෂයින් විසින් ස්ථාපනය කරන ලදුව, රාජ්‍ය අයිතිය යටතේ, මේ දක්වා සුරක්‍ෂිතව පවත්වාගෙන එන ලද්දේය. මෙම බැංකු, ගෝලීය, ගෘහස්ථ, දේශීය හා විදේශීය අර්බුද, කුණාටු, සැඩ සුළංවලට මුහුණ දෙමින්, ඒවා ඉදිරියේ නොසැලී සිටිමින්, ඒ අතරම ලාබ උපදවමින්, ඒ තුළින් බදු හා ලාභාංශ රාජ්‍ය භාණ්ඩාගාරය වෙත බැර කරමින්, මූල්‍ය සංචිත උපදවා බැංකුවල ප්‍රාග්ධනය තර කරමින්, පොදු ජන සුවසෙත සළසමින්, ඉතා අසීරු වුව ද, අභිමානවත් ගමනක් පැමිණ ඇත්තේය.

එවන් වූ මෙම බැංකු ද්විත්වය, මහජනතාවට තවදුරටත්, වඩ වඩාත් සේවය සලසමින්, පවත්නා වූ ගැටලු, සැළසුම් සහගතව විසඳාලමින්, මීටත් වඩා ශක්තිමත්ව නගා සිටුවීමට, ඉතා නිරවුල් ක්‍රමවේදයන් තිබිය දී, එම බැංකුවල කොටස්, රාජ්‍ය අයිතියෙන් බැහැර කරමින්, කූඨ ව්‍යාපාරිකයන්ගේත්, ධන වැද්දන්ගේත්, තෝතැන්නක් බවට පත් කිරීම සඳහා, ආණ්ඩුව නැවතත් උත්සාහ දරමින් සිටී. එබැවින්, ඉතිහාසය පුරා කළ පරිදිම, බැංකු පද්ධතිය පමණක් නොව, ජනතාව සතු රාජ්‍ය බැංකු දිවිහිමියෙන් සුරැකි, ලංකා බැංකු සේවක සංගමයේ අපි, කිසිසේත්ම, මෙම රාජ්‍ය බැංකු කොටස්, ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන්, රාජ්‍ය අයිතියෙන් බැහැර කොට විකුණමින්, පෞද්ගලීකකරණය කිරීමට ඉඩ නොදෙන බවටත්, ඒවා වඩාත් ශක්තිමත්ව ජනතාවගේ හා රටේ, ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් නගා සිටුවීම සඳහා, උපරිමයෙන් කැප වී සේවය කරන බවටත්, මේ මහා සම්මේලනය හමුවේ ප්‍රතිඥා දී සිටිමු.

මේ වනවිට, වැඩ කරන ජනතාව සිය දහදිය, කඳුළු, ලේ මතින් දිනාගත්, කම්කරු අයිතිවාසිකම් කප්පාදු කරමින් හා, ඒ හා බැඳුණු අණ පනත් සංශෝධනය කරමින්, කම්කරුවාට අහිතකර වන ආකාරයට, නව නීති පැනවීමට ආණ්ඩුව කැස කවමින් සිටී. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් මත පදනම්ව ක්‍රියාත්මක වන, පැය අටේ වැඩ මුරය, දින පහේ වැඩ සතිය, ඇතුළු කම්කරු අයිතීන් ගණනාවක්, විදෙස් ආයෝජකයින්ට සහන සැළසීමේ මුවාවෙන්, දංගෙඩියට ගෙනයාමට නියමිතය.

එසේම, වසර පනහකටත් වඩා වැඩි කාලයක්, රාජ්‍ය බැංකු සේවකයින් සිය වැටුප් හා ප්‍රතිලාභ රැකගෙන, වර්ධනය කරගත්, සාමුහික ගිවිසුම් අයිතිය, කිසිදු පදනමකින් තොරව අත්හිටුවා ඇත. උද්ධමනයෙන්, ජීවන වියදමින්, බදු බරින් මිරිකුණු බැංකු සේවකයාට හිමි, එකම අයිතියට තිත තැබීමට, ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටී. එසේම, රටේ බදු ගෙවිය යුතු විශාල පිරිසක් බදු දැලෙන් කට්ටි පනිමින්, බිලියන ගණනින් බදු ගෙවීම් පැහැර හැර තිබිය දී, බැංකු වෘත්තික ප්‍රජාව ඇතුළු, වෘත්තිකයින් මත පනවා ඇති උපයන විට ගෙවීමේ බද්දට, මේ දක්වා කිසිදු සහනයක් ලබාදී නැත. රටේ ආර්ථිකය නගා සිටුවීමට යැයි කියමින්, රාජ්‍ය බැංකුවලින් ලබාගෙන, ආපසු ගෙවීම් පැහැරහැර ඇති, මහා පරිමාණ ණය අයකර ගැනීමෙන් තොරව, දේශීය ණය ප්‍රශස්තකරණයේ මුවාවෙන්, කම්කරුවන් සතු අරමුදල් මංකොල්ල කෑමට ද, ආණ්ඩුව පිඹුරුපත් සකසා ඇත.

තවද, මෙම ජනතා විරෝධී, කම්කරු විරෝධී ක්‍රියාවන්ට එරෙහිව, ජනතාව නැගී සිටීම වැළැක්වීම සඳහා, ප්‍රතිත්‍රස්ත පනත, සමාජ මාධ්‍ය ආරක්‍ෂණ පනත, වැනි පනත් හඳුන්වා දීමට කටයුතු කෙරෙමින් පවතී.

එබැවින්, මෙම සකලවිධ උපද්‍රවයන්ට එරෙහිව, අත්හළ නොහැකි වගකීමක් සේ සළකමින්, බුද්ධිමත්ව, සක්‍රීයව හා ශක්තිමත්ව නැගී සිටීමට, අද දවසේ බැංකු වෘත්තික ප්‍රජාව ලෙස, අප සුදානම් විය යුතුය.

ඒ සඳහා අද දින, දක්‍ෂිණ ලංකාවේ ගාල්ලේ බස්නැවතුම්පොළ ඉදිරිපිට ක්‍රීඩාංගනයට, දහස් ගණනින් රොද බැඳ සිටින, ලංකා බැංකු සේවක සංගමයේ, දකුණු පළාතේ අභීත සටන්කාමී සහෝදර සහෝදරියන් වන අපි, බැංකු වෘත්තික ප්‍රජාවටත්, සමස්ත වැඩ කරන පන්තියටත්, පොදු ජනතාවටත් පීඩා ගෙන දෙන, ඉහත කී කම්කරු විරෝධී, ජනතා ද්‍රෝහී ක්‍රියාකලාපයන් නවතා දමන ලෙස, ආණ්ඩුවේ බලධාරීන්ටත්, වගකිවයුතු සියලු දෙනාටත්, එකාමෙන් පෙළ ගැසෙමින්, එක්සත්ව, එක්සිත්ව, හැකි උපරිම මට්ටමින් බලපෑම් කරන බවටත්, ආණ්ඩුව ඒ පිළිබඳව සැළකිල්ලක් නොදක්වන්නේ නම්, ජයග්‍රහණය අත්පත්කර ගන්නා තෙක්, ආණ්ඩුවේ ඉහත කී ක්‍රියාවන්ට එරෙහිව, ලංකා බැංකු සේවක සංගමය විසින්, ඉදිරියේ දී දියත් කරනු ලබන, අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා වූ, ඕනෑම වෘත්තීය අරගලයකට පූර්ණ සහයෝගය ලබාදෙන බවටත්, ප්‍රතිඥා දී, ප්‍රකාශ කර සිටිමු.”

ලංකා බැංකු සේවක සංගමය

2024-06-02