ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් සදහා සීමාවාසික පුහුණු පත්වීම් ලිපි ප්‍රධානය කෙරේ

ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් සදහා සීමාවාසික පුහුණු පත්වීම් ලිපි ප්‍රධානය කෙරේ

මෙරට බෝනොවන රෝග වල යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් ජනතාවගේ ජීවන රටාව වෙනස් කිරීමට විශාල වගකීමක් ඔවුන් වෙත පැවරෙන බව සෞඛ්‍ය  ලේකම් අවධාරණය කරයි.

මෙරට බෝනොවන රෝග වල යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් ජනතාවගේ ජීවන රටාව වෙනස් කිරීමට සීමාවාසික වෛද්‍ය පුහුණුව ලබා  වෛද්‍යවරුන් වන ඔබට විශාල වගකීමක් පැවරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

සෞඛ්‍ය ලේකම්වරයා මේබව අවධාරණය කර සිටියේ ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් 204 දෙනෙකු සදහා සීමාවාසික පුහුණු පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින්ය. පත්වීම් ලිපි ප්‍රධානය කිරීම ඊයේ දින (03) පස්වරුවේ මහරගම,නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතන  ග්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම ආයුර්වේද උපාධිධාරීන් කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය, යාපනය විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය සහ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය යන යන පීඨ වලින් වසර පහක  උපාධි  අධ්‍යාපනය හැදෑරූවන් වේ.

දිවයින තුළ පිහිටි මධ්‍යම රජයේ ආයුර්වේද රෝහල් සහ පළාත් සභා ආයුර්වේද රෝහල් 105 ක් තුළ ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ හා පුහුණු, පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ වසර 01 ක කාලයක් මෙම උපාධිධාරීන් පුහුණුව ලැබීමට නියමිතය.

සීමාවාසික පුහුණුව සාර්ථකව නිමකරන නිළධාරීන් ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගත යුතුය.මෙම පුහුණුලාභීන් වෙත මාසිකව රුපියල් 66750/= ක සීමාවාසික පුහුණු දීමනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙනු ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය  ලේකම්වරයා කියා සිටියේ ...

මෙම සීමාවාසික පුහුණු වීම් සදහා  රුපියල් මිලියන 400 ක මුදලක් වෙන්කර ලබා දීමට රජය  කටයුතු කිරීම වෙනුවෙන් ස්තූතිය පුද කර සිටිය යුතු බවය. එමෙන්ම මුදල් අමාත්‍යාංශය මින් ඉදිරියට සෑම වර්ෂයකටම සීමාවාසික පුහුණුව සදහා අවශ්‍ය අරමුදල් ලබා දීමට එකගතාවය පල කර තිබෙන බවත්, මෙම කණ්ඩායමට අමතරව ඉතිරි කණ්ඩායම අගෝස්තු මාසයේදී  බදවා ගැනීමට කටයුතු කරන බවද කීවේය.

මෙරට තුළ ආයුර්වේද රෝහල් 105 තිබෙන බවත්, සිමාවාසික පුහුණුව සදහා මෙම  පිරිස  එම රෝහල් වලට අනුයුක්ත කරන බවත්, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගැනීමට මෙම පුහුණුව ඉතාම අත්‍යවශ්‍ය බවද කී ලේකම්වරයා ඉන්පසු  ආයුර්වේද වෛද්‍යවරයෙක් ලෙස මෙරට අසරණ රෝගී ජනතාවට සේවය කිරීමේ අවකාශය ලැබෙන  බවද පැවසීය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව විශිෂ්ඨ සෞඛ්‍ය සේවාවක් බව පෙන්වා දුන් ලේකම්වරයා, වත්මන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සුභාශිංෂන ද ඔවුන්හට එක් කර සිටියේය.       

   

මෙම අවස්ථාවට ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් වෛද්‍ය කේ.වී.අතුල, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබද ජාතික ආයතනයේ අධ්‍යක්ෂ විමල් චතුරංග, බණ්ඩාරණායක ආයුර්වේද පර්යේෂනායතනයේ  අධ්‍යක්ෂ වෛද්‍ය පී. හේවාගමගේ, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය අජිත් කුමාර යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.