ආපදාවට ලක් ප්‍රදේශ වල ජනතාවට විශේෂ සෞඛ්‍ය වැඩපිලිවෙලක් ක්‍රියාත්මකයි

ආපදාවට ලක් ප්‍රදේශ වල ජනතාවට විශේෂ සෞඛ්‍ය වැඩපිලිවෙලක් ක්‍රියාත්මකයි

රට තුළ දැනට පවතින හදිසි ආපදා තත්වය කළමණාකරණය කර ගනිමින්, පීඩාවට පත්වු ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් හා අනෙකුත් පහසුකම් ලබා දීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා කළමණාකරණ එ්කකය මගින් විශේෂ ආපදා සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වීම සහ ප්‍රගතිය පිළිබදව සොයා බැලීම සදහා විශේෂ සාකච්ජාවක් ඊයේ දින (03) රාත්‍රියේ  සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.

හදිසි ආපදා තත්වයට පත් වු ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය හා UNICEF නියෝජනය කරමින් නියෝජිතයින්ද මෙම සාකච්ජාව සදහා සුම් තාක්ෂණයෙන් සහභාගී විය.

අයහපත් කාලගුණික තත්වය හා ගංවතුර තත්වය හේතුවෙන් අවතැන් වු ජනතාව මේ වන විට අවතැන් කදවුරු වල සිටින හෙයින් එම කදවුරු වලට ගොස් එම ජනතාවගේ සෞඛ්‍ය තත්වය පිලිබදව විශේෂ විමසීමකට, පරීක්ෂාවකට ලක් කර ඔවුන් හට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී නිලධාරීන්ට උපදේ ලබා දුන්නේය.

ආපදාවට ලක් වු ප්‍රදේශයේ ලගම ප්‍රධාන රෝහලන් වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් එම අවතැන් කදවුරු වෙත නිරන්තරයෙන් යොමු කොට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන මෙන්ද පාලිත මහීපාල මහතා දන්වා සිටියේය.

එමෙන්ම මී උණ රෝගයට ලබා දෙන ඖෂධ එම ප්‍රදේශ  වලට හිගයකින් තොරව ලබා දෙන ලෙසත්, ගංවතුරට යට වු ළිං පිරිසිදු කර ක්ලෝරීන්කරණය (TCL POWDER) කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා මෙන් ද උපදෙස් ලබා දුන්නේය.

අවතැන් කදවුරු වල සිටින ජනතාවට ලබා දෙන ආහාර වල සුරක්ෂිතතාවය, පිරිසුදු කම, පිලිබදව නිරන්තරයෙන්, අවධානයෙන් කටයුතු කරන ලෙසට උපදෙස් ලබා දුන් ලේකම්වරයා ඉදිරියේ දී යම් වසංගත තත්වයක් පැතිරීමේ අවදානමක්

ඇති වීමට ඉඩකඩ තිබිය හැකි හෙයින් එය පාලන හා මර්දන කිරීමට සියලු දෙනා මහත් කැපවීමෙන් කටයුතු කරන ලෙසටද, අවධාරණය කලේය.

එමෙන්ම ගර්භණී මව්වරුන් හා කුඩා දර්වන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිලිබදවත්, වයස් ගත ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිලිබදවත් විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසටද, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ගංවතුර තත්වය පහව යාමත් සමග ඩෙංගු මදුරු ව්‍යාප්තියේ වර්ධනයක් ඇති විය හැකි  බැවින් එය පාලනය කිරීම සදහාත් විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට මෙහිදී, උපදෙස් ලබා දෙන ලදී.

එම ප්‍රදේශ වල සෞඛ්‍ය සේවාවන් සිදු කරන නිලධාරීන්ට පවතින ගැටලු පිලිබද ද සෞඛ්‍ය ලේකම්වරයා මෙහිදී විමසීමක් කලේය.

මෙම විශේෂ සාකච්ජාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධයක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු වෛද්‍යවරන් පිරිසක්ද සහභාගී වුහ.