අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසකට කැබිනට් අනුමැතිය

අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසකට කැබිනට් අනුමැතිය

අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීම සඳහා අධ්‍යාපන පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිව හිමිව තිබේ.

ඒ අනුව රටේ සෑම ශිෂ්‍යයෙකුටම සම ප්‍රවේශ අවස්ථා සහ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම අරමුණු කරගෙන, “වසර 2048 දී පූර්ණ සංවර්ධිත ශ්‍රී ලංකාවක්” යන දැක්මට අනුකූලව සකස් කර ඇති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව 2023-2033 මඟින් අධ්‍යාපනයේ සිදු විය යුතු පරිවර්තනීය වෙනස පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, දීර්ඝකාලීන ඉගෙනුම් ක්‍රමවේදයක් තහවුරු කිරීම සඳහා ආයතනික ව්‍යූහය, විෂයමාලා හා ඇගයීම් ක්‍රමවේදය තුළ නව පරිවර්තනයක් සිදු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබ ඇති අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ මත පදනම්ව සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කාර්යක්ෂමව හා ඵලදායී අයුරින් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු පරිපාලන ව්‍යූහයක් ස්ථාපිත කිරීමේ අරමුණින් පහත සඳහන් පරිදි පියවර ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

  • ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පාසල් වර්ගීකරණය කිරීම.
  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒකක 09ක් පළාත් 09 තුළ ස්ථාපිත කිරීම.
  • කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව විද්‍යාත්මක හා ප්‍රමුඛතා අනුපිළිවෙළක් මත පදනම්ව 100 සිට 122 දක්වා අදියර වශයෙන් වැඩි කිරීම.
  • පාසල් සුපරීක්ෂණය, ගුරුවරු අධීක්ෂණය සහ පාසල් පාදක ඇගයීම්වල වලංගුතාව තහවුරු කිරීම අරමුණු කර ගනිමින් දැනට පවතින කොට්ඨාස අධ්‍යාපන කාර්යල 314 ද ඇතුළත් කර ගනිමින් පාසල් මණ්ඩල 350ක් ස්ථාපිත කිරීම.
  • තෝරාගත් ද්විතියීක පාසල් එකක් හෝ කිහිපයක් ප්‍රමුඛ පාසල් ලෙස නම් කරමින් එක් පොකුරක් පාසල් 8 සිට 12ක් පමණ වන සංඛ්‍යාවකින් සමන්විත වන පරිදි සමස්ත පාසල් පද්ධතිය පාසල් පොකුරු 1,220කට ඇතුළත් කිරීම.
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය සහ ගුරු උපදේශක සේවය සඳහා අවශ්‍ය නිලධාරින් බඳවා ගැනීම.