සිසු හෙද පුහුණුවට බදවා ගැනීමේ නාම ලේඛණය ලබන මස එළියට

සිසු හෙද පුහුණුවට බදවා ගැනීමේ නාම ලේඛණය ලබන මස එළියට

2019/2020 වර්ෂයන්හි උසස් පෙළ විද්‍යා විෂය ධාරාවන්ගෙන් සමත් වූ සිසුන් සදහා හෙද ඩිප්ලෝමා පාඨමාලාවට බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂන මෙම වසරේ ජනවාරි, පෙබරවාරි හා මාර්තු මාසයන් වලදී දිවයින පුරා පිහිටි හෙද විදුහල්වල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වූ අතර, මුල් වටයේ සම්මුඛ පරීක්ෂණ සදහා සහභාගි වීමට නොහැකි අපේක්ෂයින් සදහා, සම්මුඛ පරීක්ෂණයට සහභාගීවීමේ අවස්ථාවක් 2024 මැයි මස 26 වන දින ලබා දෙන ලදී.

සම්මුඛ පරීක්ෂනය සදහා සහභාගි වූ අපේක්ෂකයින්  අතරින් හෙද ඩිප්ලෝමා පුහුණුව සදහා තෝරා ගනු ලබන අපේක්ෂකයින්ගේ නාම ලේඛනය, ප්‍රසිද්ධ කිරීමට පෙර අදාළ Z අගය තහවුරු කර ගැනීමට මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශයට යොමු කොට ඇති අතර එම අගයන් පිළිබද තොරතුරු ජූලි මාසයේ දී ලබා දීමට හැකි වෙතැයි එම විශ්වවිද්‍යාලය ප්‍රකාශ කොට ඇත.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකල යුතු මූලික කටයුතු අවසන් කර ඇති අතර අදාළ සහතික කල තොරතුරු මොරටුව මොරටුව විශ්වවිද්‍යාලයෙන් ලද වහාම තෝරා පත්වූ  අපේක්ෂකයින්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන II) චාමික එච්. ගමගේ මහතා සදහන් කරයි.