ගෘහස්ථ සේවක නීති අණපනත් ක්‍රියාත්මක කරන්නේ කවදාද ? - ප්‍රොටෙක්ට් සංගමය

ගෘහස්ථ සේවක නීති අණපනත් ක්‍රියාත්මක කරන්නේ කවදාද ? - ප්‍රොටෙක්ට් සංගමය

ගෘහස්ථ සේවකයන්ට ද යහපත් රැකියා කොන්දේසි සහ කම්කරු නීති ආවරණය ලබා ගැනීම සඳහා ප්‍රොටෙක්ට් සංගමය විසින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ රජය විසින් පොරොන්දු වූ ඔවුන් වෙනුවෙන් සකස්  කළ නීති හා අණපනත් ක්‍රියාත්මක කිරීම පිණිස දැනගැනීම සඳහා අමාත්‍යවරයා සමග සකච්ඡාවක් ලබාදෙන ලෙසය.

එම ලිපිය පහත සඳහන් පරිදි වේත

ප්‍රොටෙක්ට් සංගමය යනු ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ පෞද්ගලික අංශයේ සහ අවිධිමත් අංශයේ කම්කරුවන් මැනවින් සංවිධානය කිරීම වෙනුවෙන් සහ එම කම්කරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ගොඩ නැගූ වෘත්තීය සමිතියකි. විශේෂයෙන්ම අප සංගමයේ බහුතර සාමාජිකත්වයක් නියෝජනය කරන ගෘහස්ථ සේවක කම්කරුවන් කිසිදු ආකාරයක වෘත්තීය අයිතිවාසිකම් හෝ යහපත් රැකියා කොන්දේසි අහිමි කම්කරුවන් පිරිසකි.

2021.08.04 දින පාර්ලිමේන්තුවේදී හිටපු කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගෘහස්ථ කම්කරු අයිතිවාසිකම් නීතිගත කිරීමට පියවර ගන්නා බවට ප්‍රකාශ කරන ලදී. 2021.08.10 දින අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග අප ගෘහස්ථ කම්කරු අයිතිවාසිකම් නීතිගත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡාවක් කම්කරු අමාත්‍යාංශයේදී පවත්වන ලදී. එහිදී ගෘහස්ථ කම්කරුවන් සඳහා පඩි පාලක සභාවක්, අවම වේතන, ETF/EPF, අයවැය සහන දීමනා ඇතුළු කම්කරු නීති අණපනත් කිහිපයක් යටතට ගෘහස්ථ කම්කරුවන්ද ඇතුළත් කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවටත් ILO C189 අපරානුමත කරන බවටත්  එතුමා  පොරොන්දු විය. නමුත් එය සිදු නොවුණි. 

යෝජිත සේවා නියුක්ති පනත් කෙටුම්පතෙහි 20 වන අර්ථ නිරූපණ පරිච්ජේදයෙහි 324 වන වගන්තියෙහි "සේවා නියුක්තකයා" යන යෙදුම තුළ 'ගෘහ සේවා නියුක්තිකයකු' ද, "කර්මාන්තය හෝ සේවාව" යන්නට ‘ගෘහ සේවය’ ඇතුළත් වන බව සඳහන් කර ඇත.  නමුත් ඉන් අනතුරුව, එවන් සේවකයකුට මෙම කෙටුම්පතෙහි සඳහන් ප්‍රතිපාදන (සේවා පැය ගණන, අතිකාල සේවය, නිවාඩු, ප්‍රසිද්ධ නිවාඩු, සමාජ ආරක්ෂණ) ක්‍රියාත්මක කෙරෙන ආකාරය ගැන කිසිඳු සඳහනක් නැත.

"ගරු සරු" වැඩසටහනට සමගාමීව කම්කරු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පවතී ගෘහස්ථ ශ්‍රමිකයන්ගේ හමුවේදීත් අප සාමාජිකයන්ට ඇති ගැටළු සාකච්ඡා කළ අතර ඒ පිළිබඳව පෞද්ගලිකවද ඔබ තුමාව දැනුවත් කරන ලදී.

එම නිසා C189 ප්‍රඥප්තිය රට තුළ අපරානුමත කර ගෘහස්ථ කම්කරුවන් ද කම්කරු නීති ආවරණය සහිත යහපත් රැකියා කොන්දේසි භුක්ති විඳින කම්කරුවන් පිරිසක් බවට පත් කර ගැනීම සඳහා අදාළ නීති සම්පාදනය කර දෙන මෙන්ද ඉල්ලා සිටිමු.

ජූනි 16 දිනට - ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය යෙදී ඇත. ඊට ප්‍රථම මේ පිළිබඳව ඔබ තුමා සමග සාකච්චා කිරීමට දිනයක් සහ වේලාවක් ලබා දෙන මෙන්ද ඔබතුමාගෙන් නැවතත් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.