වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය හරිත් අලුත්ගේ සැමට ස්තුති කරයි

වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය හරිත් අලුත්ගේ සැමට ස්තුති කරයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  ජුනි 29 දින පැවැත්වෙන වාර්ෂික මහා සංගමයෙන් පසු ධූර වලින් සමුගන්නා වර්තමාන සහභාපතිවරයා හා ලේකම්  විසින් පවත්වන පසුගිය වසර 2 ක ගමන් මඟ පිළිබඳ සමාලෝචනය කරමින් වෛද්‍ය හරිත් අලුත්ගේ මහතා තම සංගමයේ කටයුතු සාර්ථක ලෙස ඉදිරියට ගෙන යමින් සාමාජිකත්වයටත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් සුභදායි ප්‍රතිඵල අත්කර දීමට අප දැරු උත්සාහයට සහයෝගය දැක් වූ සියලු බලධාරීන්ටත්, සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්, ජනමාධ්‍ය වේදි සහෘද ඔබ ඇතුලු සියලු පාර්ශව වෙත ස්තුතිය පළ කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් කර ඇත්තේ, මීට වසර 2 කට පෙර පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහා සභාව තුලින් නව විධායක කමිටුවක් පත්වීම සංගම් ඉතිහාසයේ නව පරිච්ඡේදයක ආරම්භයක් වනු දැකීම බහුතර සමාජිකත්වයේ අපේක්ෂාව විය.

ඒ වන විට සංගමය පත්ව සිටි අවාසනාවන්ත තත්ත්වයෙන් මුදවා ගෙන, සාමාජිකත්වයේ අපේක්ෂාවන්ට ගරු කරන, සෞඛ්‍ය ක්ෂේත්‍රයට සැබෑ ලෙසම නායකත්වය දෙන සංවිධානයක් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත් කිරීම නව නිලධාරී මණ්ඩලයේ ප්‍රමුඛ අපේක්ෂාව විය.

ඒ වෙනුවෙන් සකස් වූ දස වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් අපි එළි දැක්වුවෙමු.

ඒ හරහා සැබෑ ලෙසම නිර්දේශපාලනික, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන, පාරදෘශ්‍යභාවයෙන් කටයුතු කරන, ජරාජීර්ණ මඩ සංස්කෘතිය බැහැරලන, සියලු වෛද්‍ය කාණ්ඩ වලට තමන්ගේ අනන්‍යතාවයන් සහිතව කටයුතු කිරීමට ඉඩ සලසන, අප හට ඍජු ලෙස අදාල නොවන ගැටලු වලදි ඒ ඒ ක්ෂේත්‍ර වල විද්වත් මතවාදයන්ට ගරු කරන පරිසරයක් සංගමය කුල නිර්මාණය කිරීමට නව විධායක සභාව ලෙස කටයුතු කලෙමු.

ඒ හරහා බහුතර සාමාජිකත්වයේ විශ්වාසය නැවත තහවුරු කර ගැනීමට සංගමයට හැකි විය.

ඖෂධ අර්බුදය නිර්මාණය වූ අවස්ථාවේ ඒ සඳහා තීරණාත්මක ලෙස මැදිහත්වෙමින් දසවැදෑරුම් විසදුම් මාලාවක් ඉදිරිපත් කලෙමු. කල්ගත වී හෝ අද වන විට බලධාරීන් එම යෝජනාවලියේ තිබු යථාර්ථය අවබෝධ කරගනිමින් සිටියි.

ආර්ථික අර්බුදයත් සමඟ රට තුල මන්දපෝෂණය පිළිබඳ බරපතල සංවාදයක් මතු වූ විට ඊට විසදුම් ලෙස පස්වැදෑරුම් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කලෙමු.

අද වන විට මහජන සෞඛ්‍යට බරපතල තර්ජනයක් එල්ල කර ඇති ප්‍රමිතියෙන් තොර විලවුන් හා ආලේපන පිළිබඳත්, ව්‍යාජ වෛද්‍යවරුන් හරහා මහජනතාවට එල්ල වී ඇති තර්ජන පිළිබඳවත් හඩ අවදිකරමින් සිටිමු.

එමෙන්ම බුද්ධි ගලනය හරහා වෛද්‍ය ක්ෂේත්‍රයට එල්ල වූ බලපෑම් යම් මට්ටමකින් හෝ සමනය කිරීමට විසදුම් යෝජනා බලධාරීන් වෙත ඉදිරිපත් කලෙමු. ඒ හරහා පර්යන්තයේ ඇති දුෂ්කර රෝහල් ආශ්‍රිතව පැන නගිමින් පැවති බරපතල අවදානම සමනය කිරීමට උත්සාහ දරන ලදී.

මහජන විශ්වාසය නැවත සංගමයේ ක්‍රියාකාරිත්වය වෙත සැලකිය යුතු ප්‍රමාණයකින් දිනා ගැනීම මේ හරහා නව විධායක සභාවට හැකි විය.

සංගමයට නව පරිච්ඡේදයක් එක් කරමින් ව්‍යවස්ථාමය වෙනසක් හරහා සංගමයේ සභාපති හා ලේකම්ධූර පිට පිට වාර 2 කට වඩා දැරිය නොහැකි ලෙස වෙනස්කම් සිදු කරන ලදී.

ඒ අනුව එලඹෙන 29 වන දින පැවැත්වෙන වාර්ෂික නිලවරණයේදි වර්තමාන සභාපති හා ලේකම් වෙනුවට නව නිලධාරීන් පත් වනු ඇත.

නව විධායක කමිටුව විසින් ආමන්ත්‍රණය කල යුතු අනාගත අභියෝග රාශියක් ද අද වන විට මතුවෙමින් පවති.

වෛද්‍යවරුන්ට වඩා හිතකර හා ප්‍රශස්ත සේවා වටපිටාවක් නිර්මාණය කිරීමේ කටයුත්ත ඉදිරියට ගෙන යාම ඒ අතුරින් ප්‍රමුඛ වනු ඇත.

වෛද්‍ය අධ්‍යාපන ගුණාත්මකභාවය රැකගනිමින් ඉදිරි කටයුතු සිදු කිරීමත්, නිදහස් සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කරමින් අවශ්‍ය සෞඛ්‍ය ප්‍රතිසංස්කරණය සිදු කිරීමත් ඉදිරි කාලයේදි මුහුණ දීමට ඇති තවත් අභියෝගයන්ය.

ඒ සඳහා නව විධායක කමිටුව වෙත සුභාශිංසන පිරිනමන්නෙමු.

ඉදිරියේදි ද තනතුරු නොමැතිව පවා අත්දැකීම් බෙදාහදා ගැනීමටත්, අවශ්‍ය සහයෝගය ලබා දීමටත් අපේක්ෂා කරමු.

පසුගිය වසර 2 ක කාලය තුල සංගමයේ කටයුතු සාර්ථක ලෙස ඉදිරියට ගෙන යමින් සාමාජිකත්වයටත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් සුභදායි ප්‍රතිඵල අත්කර දීමට අප දැරු උත්සාහයට සහයෝගය දැක් වූ සියලු බලධාරීන්ටත්, සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්, ජනමාධ්‍ය වේදි සහෘද ඔබ ඇතුලු සියලු පාර්ශව වෙතත් කෘතඥතාව පල කර සිටිමු.