කුරුළු උණ රෝගයට මුහුණ දෙන්න සුදානම් - සෞඛ්‍ය අමාත්‍යංශය

කුරුළු උණ රෝගයට මුහුණ දෙන්න සුදානම් - සෞඛ්‍ය අමාත්‍යංශය

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එක්ව වත්මන් ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය පිළිබද කරුණු රැස්කිරීමේ සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ තාක්ෂණික කමිටුව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් (25) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වෙන ලදි.

ඒ ඇසුරෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මාධ්‍ය වෙත යොමු කිරිම සදහා යොමු කළ මාධ්‍ය නිවේදනය පහත පරිදි වේ.

මෙම දින වල ඇතැම් රටවල පැතිර යන කුරුළු උණ රෝගී තත්ත්වය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිළිමත්ව පසු වේ. මේ සම්බන්ධව තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මහජන සෞඛ්‍යයට අදාළව විශේෂ දැණුම්දීමක් සිදු කර නැත. තව ද ගෝලීය වශයෙන් කිසිඳු ගමනාගමන හෝ වෙළඳ තහනමක් පනවා නැත.    

තවද වසංගත රෝග විද්‍යායතනය සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය මේ සම්බන්ධව මෙරට  රෝහල් 20 කින් ලබාගත් නියැදි පරීක්ෂා කිරීම දෛනිකව සිදු කරනු ලබයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ  වෛද්‍ය පර්යේෂණ ආයතනයෙහි (MRI) වෛරස් විද්‍යා දෙපාර්තමේන්තුව H5 සහ H7 ප්‍රභේද  හඳුනා ගැනීමේ හැකියාවට අමතරව H9 ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදය ද  හඳුනා ගැනීමට අවශ්‍ය  PCR පරීක්ෂණ පහසුකම් ස්ථාපිත කර ඇත.  පසුගිය වසර 12 පුරාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කුරුළු උණ බාහිර තත්ත්ව ඇගයීම් වැඩසටහනේ 100% නිරවද්‍යතාවයක්  MRI ආයතනය මගින් තහවුරු කර ඇත.

එබැවින් කුරුළු උණ තර්ජනයකට මුහුණ දීම සඳහා සෞඛ්‍ය අමාතංශයේ ඉහළම ප්‍රමිතීන්වලට වලට අනුකූල හඳුනා ගැනීමේ සහ ආරක්‍ෂිත පද්ධති පවතින බවට අපට සහතික විය හැක.