NGO නීතිය ගැන මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පැහැදිළි කිරීමක්

NGO නීතිය ගැන මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පැහැදිළි කිරීමක්

අද (15) දින ඩේලිමිරර් පුවත්පතේ ලංකාවේ NGO නීතිය හදන්න ඇමෙරිකාව මැදිහත් වී ඇත  සිරස්තලය යටතේ පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසා සිටින්නේ, එම ප්‍රවෘත්තියේ සඳහන් ආකාරයට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ නීති සකස් කිරීම සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මැදිහත්වීමක් සිදුවූයේ නැත.

එහෙත් රාජ්‍ය නොවන සංවිධාන නීතිය සකස් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හා රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන ජාතික එකමුතුව මීට අදාළව සාකච්ඡාවන් පස් වතාවක් පවත්වා ඇත.

ඔවුන්ගේ යෝජනාද සැලකිල්ලට ගෙන නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් සකස් කරන ලද කෙටුම්පත 2023-01-31 රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන ජාතික එකමුතුව වෙත රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පැවති සාකච්ඡාවකින් අනතුරුව ලබා දී ඇත.

එම කෙටුම්පත සම්බන්ධයෙන් ඔවුන්ට තවදුරටත් යෝජනා හා නිරික්ශණ  ඇත්නම් එය සති තුනක කාලයක් තුළ ලබා දෙන ලෙස දැනුම් දෙන ලදී.

ඔවුන් විසින් මෙම කෙටුම්පත විවිධ තානාපති කාර්යාල මාධ්‍ය ආයතන, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙන්ම ජාත්‍යන්තර සංවිධාන  වෙතද  ලබාදීමට කටයුතු කර ඇත.

ඉන්පසු රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන ජාතික එකමුතුව හා විවිධ සංවිධාන මෙන්ම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවද මෙම  පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නිරීක්ෂණ ලබාදී තිබිණි.

එම නිරීක්ෂණ සලකා බලා පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම සඳහා යෝජනාවලියක් නැවත  නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලදී.

මෙම පනත් කෙටුම්පත සෑදීමේදී මෙන්ම මාර්ගගත සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පත  සෑදීමේදී ද බලපෑමට ලක්වන පාර්ශ්වයන්ගේ සහ එම නීති පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ගේ හා ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ලක් කරන ලදී.