මෑන් පවර් නීතිගත කරන, අයිතිවාසිකම් නැති කරන අත්‍යවශ්‍ය සේවා නම් කිරීමේ බලය ලැබෙන දේශපාලන අරමුදල් පිහිටුවීමට ඉඩ ලැබෙන අලුත් කම්කරු පනත

මෑන් පවර් නීතිගත කරන, අයිතිවාසිකම් නැති කරන අත්‍යවශ්‍ය සේවා නම් කිරීමේ බලය ලැබෙන දේශපාලන අරමුදල් පිහිටුවීමට ඉඩ ලැබෙන අලුත් කම්කරු පනත

ශ්‍රී ලංකාවේ සේවා නියුක්ති පනත ලෙස හඳුන්වා කම්කරු ඇමති මනූෂ නානායක්කාර විසින් ඉදිරිපත් කර ඇති කෙටුම්පත රටේ වෘත්තීය සමිතිවල දැඩි අවධානයට ලක්වී වී තිබේ. ඒ එම නව පනත සම්මත වීමේදී වෘත්තීය සමිති ආඥා පනත, ප්‍රසූතිකාධාර ආඥා පනත, පඩි පාලක සභා ආඥා පනත, කර්මාන්තශාලා ආඥා පනත, කාර්මික ආරවුල් පනත, සාප්පු හා කාර්යාල පනත, කාන්තාවන් තරුණයින් හා ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ පනත, සේවය අවසන් කිරීමේ පනත, පාරිතෝෂික ගෙවීමේ පනත, සේවකයින්ගේ අයවැය සහන දීමනා පනත, ජාතික අවම වේතන පනත හා සේවා නියුක්තයන්ගේ විශ්‍රාම යෑමේ අවම වයස පනත යන පනත් අහෝසි වී මෙම අලුත් පනත නිර්මාණය වන නිසාය.

පරිච්ඡේද 21ක් ඇති පිටු 216ක් පුරා දීර්ඝ වශයෙන් කෙටුම්පත් කර ඇති  එම පනත හඳුන්වා ඇත්තේ ‘ශ්‍රී ලංකාවේ සේවා නියුක්ති පනත’ වශයෙනි. එම පනත පැහැදිලි කර ඇත්තේ ‘සේවා නියුක්තයන් කර්මාන්තයකට හෝ සේවාවකට සේවයට බඳවා ගැනීම, සේවා ගිවිසුම, සේවය අවසන් කිරීම, සේවය කිරීමේ කාලය, නිවාඩු, මාතෘ නිවාඩු, වේතන ගෙවීම, ජාතික වේතන කවුන්සිලයක් පිහිටුවීම, පාරිතෝෂික ගෙවීම, කාන්තාවන් තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීම, කාර්මික ආරවුල් විසඳීම, වෘත්තීය සමිති ලියාපදිංචි කිරීම, වෘත්තීය ආරක්ෂාව, සෞඛ්‍ය හා සුභසාධනය, නිවසේ සිට වැඩ කිරීම, විදේශ සේවා නියුක්තයකු සේවයේ යෙදවීම, වැඩපළ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය වැළැක්වීම, ලේඛන පැවැත්වීම සහ ඊට සම්බන්ධ හෝ අනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතක් වශයෙනි.

දීර්ඝ ලියවිල්ලක් වන එම කෙටුම්පතේ ඇති සෑම කරුණක් සම්බන්ධයෙන්ම අපගේ අවධානය මෙහිදී යොමු නොවන අතර අවධානය යොමු වන්නේ සීමිත කරුනු කිහිපයකට පමණය.

අයිතිවාසිකම් නීතියෙන්ම නැති කිරීම

ඒ අනුව වෘත්තීය සමිති ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් එහි ඇති එක් බාධකයක් වන්නේ,  වෘත්තීය සමිතියක් ලියාපදිංචි කිරීම සඳහා සාමාජිකයින් 7 දෙනෙකු සිටීම ප්‍රමාණවත් යන මේ වනවිට ඇති කොන්දේසිය වෙනුවට ඒ සඳහා 100 දෙනෙකු හෝ සේවක වර්ගයේ සමස්ත සාමාජික සංඛ්‍යාව 100ට අඩු අවස්ථාවක ඒ සඳහා සාමාජිකයින් 25 දෙනෙකු අත්සන් කළ යුතු බවට වන කොන්දේසියයි.

එමෙන්ම පනත මගින් අධිකරණ නිලධරයන්ට, සන්නද්ධ හමුදා සාමාජිකයන්ට, පොලිස් නිලධරයන්ට, බන්ධනාගාර නිලධාරීන්ට, ගොවි හමුදා ආඥා පනත යටතේ පිහිටුවා ඇති යම් හමුදාවක සාමාජිකයින්ට වෘත්තීය සමිති අයිතිවාසිකම් නොමැති බව නීතිමය වශයෙන්ම අහිමි කර තිබේ.

අත්‍යවශ්‍ය සේවා නම් කිරීමේ බලය

එසේම අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් මෙතෙක් සිදුකළ යම්කිසි කර්මාන්තයක් හෝ සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ නියෝග පැනවීමේ බලයද මෙම පනත මගින් කම්කරු ඇමතිවරයා ඔහුටද අදාල කරගෙන ඇත. ඒ යටතේ සඳහන් කරන්නේ යම්කිසි කර්මාන්තයක් හෝ සේවාවක් අත්‍යවශ්‍ය කර්මාන්තයක් හෝ සේවාවක් ලෙස කම්කරු විෂයභාර ඇමතිවරයාට නියෝග මගින් වරින් වර ප්‍රකාශයට පත්කළ හැකි බවයි. එසේම ඒ ආකාරයට අත්‍යවශ්‍ය කර්මාන්තයක් හෝ සේවාවක් බවට ප්‍රකාශයට පත්කර ඇති කර්මාන්තයක හෝ සේවාවක වැඩ වර්ජනයක් සිදු කිරීමේදී එහි 137 වගන්තිය අනුව වෘත්තීය සමිති රෙජිස්ටර්වරයාට දන්වා ඒ සඳහා සේවකයින්ගේ සියයට 40ක කැමැත්ත ඇති බවට රහස් ඡන්දයක් පැවැත්වීම, වැඩ වර්ජනය සිදු කිරීමට අපේක්ෂිත දිනට දින 28කට පෙර සේවා යෝජකට හා වෘත්තීය සමිති රෙජිස්ටාර්වරයාට ලිඛිතව දැන්වීමක් කිරීම සිදුකිරීම හා ඊට අදාළ අනෙකුත් කටයුතු සම්පූර්ණ කළ යුතුය. එසේ නොවන වැඩ වර්ජන මෙම පනත සම්මත වුවහොත් නීති විරෝධී වේ.

ලියාපදිංචි කරන ලද වෘත්තීය සමිතිවල වාර්තා නිසි වේලාවට ඉදිරිපත් නොකළහොත් එය වරදක් බවට පත්කර ඇති අතර එම වරද මහේස්ත්‍රාත්වරයකුට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 5000 වැඩි නොවන දඩයකට යටත් කර ඇත.

දේශපාලන අරමුදලක්

අහෝසි වනවා යැයි සඳහන් කර ඇති ඉහත සඳහන් පනත් හා ආඥා පනත්වල කිසිදු අයුරකින් සඳහන් නොවන අලුත් කරුණක්ද මෙම කෙටුම්පතට ඇතුලත් කර ඇති අතර ඒ වෘත්තීය සමිතියට සාමාජිකයින් ගෙවන මුදලින් හෝ අමතරව ගෙවන මුදලකින් දේශපාලන අරමුදල නමින් වෙනම අරමුදලක් පිහිටුවිය හැකි බවය.  එම අරමුදලෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් හෝ වෙනත් පොදු ධුරයකට තෝරා ගැනීමට ඉදිරිපත් වූ හෝ ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයකුගේ වියදම් ගෙවිය හැකි බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෝ වෙනත් පොදු ධුරයක් දරන අයකු නඩත්තු කිරීම කළ හැකි බව හා එකී ධුරයක් සඳහා අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා යම් ඡන්ද හිමි නාමලේඛනයක් සකස් කිරීම හෝ සංශෝධනය කිරීම හෝ ඡන්ද සභිකයින්ගේ නම් ලියාපදිංචි කිරීම කළ හැකි බව සඳහන් කර තිබේ.

මෙම කරුණු කොතරම් සදාචාරාත්මකද යන්න හා මැතිවරණ කොමිෂන් සභාවේ නීති රීති හා ඡන්ද වියදම් පනත සමඟ ගැටෙනවාද යන්න සලකා බැලිය යුත්තකි. මන්ද මෙසේ අරමුදල් ගොඩනගා මුදල් වියදම් කිරීමට යන්නේ  වෘත්තීය සමිති සාමාජිකයින්ගේ සුභසිද්ධිය සඳහා නොවන දේශපාලන කටයුත්තක් සඳහා වන බැවිනි. එය සමහර විට ඡන්ද වියදම් සීමා කිරීමේ පනතෙන් මඟහැර යෑම සඳහා හා කළු සල්ලිවලින් දේශපාලනඥයින් බේරා ගැනීම සඳහා ඉදිරිපත් කළ අදහසක්ද විය හැකිය.

මෑන් පවර් නීතිගත කිරීම

ඉහත සඳහන් කළ පනත් හා ආඥා පනත්වල නැති අනෙක් සුවිශේෂිම අලුත්ම එක් කිරීම වන්නේ අප මෑන් පවර් ලෙස ව්‍යහාරයේ හඳුන්වන ශමිකයින් සැපයීමේ ව්‍යාපාරයට නීත්‍යානුකූල පදනමක් ලබාදීමය. එය කෙටුම්පතේ ‘මිනිස්බල (ශ්‍රමිකයන්) සැපයීමේ ආයතන හා රැකියා නියෝජිත ආයතන පිළිබඳ විධිවිධාන’ පරිච්ජේදය යටතේ සඳහන් කර ඇත.

එහි අංක (1) යටතේ සඳහන් කරන්නේ මිනිස්බල (ශ්‍රමිකයන්) සැපයුම් ආයතනයක් සහ මිනිස්බල සේවාවන් අවශ්‍ය කරනු ලබන සේවායෝජක ආයතනයක් අතර අතිකර ගනු ලබන ලිඛිත ගිවිසුමක් මිනිස් බල සේවාවක් සැපයීමේ ගිවිසුමක් වන බවයි.

එමෙන්ම එකී ගිවිසුමක් තුළ දෙපාර්ශවය විසින් එකඟවන කරුණු නිශ්චිතව සඳහන් කළ යුතු බවද සඳහන් කර තිබේ.

(අ) මිනිස් බල සැපයුම් ආයතන සහ බඳවා ගන්නා ලද සේවා නියුක්තිකයින් අතර රැකියා ගිවිසුමක් හඳුනාගත හැකිවීම

(ආ) සියලුම වේතන, සේවක අර්ථසාධක අරමුදල, සේවකයින්ගේ භාර අරමුදල සහ අනිකුත් සියලුම සේවා නියුක්ති ප්‍රතිලාභ සඳහා දායක මුදල් ගෙවීම, ශ්‍රමිකයින් තෝරා ගැනීම, සේවා නියුක්තිකයින් සේවයෙන් ඉවත් කිරීම, යන කරුණු සඳහා මිනිස් බල සේවාව සපයන ආයතනය සිදුකළ යුතු බවට නියම කරමින් මිනිස් බල සැපයුම් ආයතනය  සහ සේවාව ලබා ගන්නා ආයතනය ලිඛිතව ගිවිසුම් ගත වී තිබීම,

යන කරුණු මෑන් පවර් ආයතනයක් තුළ දක්නට ලැබේ නම් එම ආයතන සේවා නියුක්තිකයින්ගේ සේවා යෝජකයා ලෙස සැළකිය යුතු බව සඳහන් කර තිබේ.

මෑන් පවර් ආයතනය සේවා නියුක්තිකයින් එකම ආයතනයකට හෝ විවිධ ආයතනවලට සේවය සැපයීම සඳහා සපයනු ලැබුවද, එළඹෙන ලද ගිවිසුමේ ස්වභාවය කුමක් වුවද වසරක කාලයක් තුළ දින 36ක කාලයකට වඩා එකී සේවකයා සේවයේ යොදවා තිබීම සේවා නියුක්තිකයාගේ සේවා යෝජකයා මෑන් පවර් ආයතනය බව සැළකීමට ප්‍රමාණවත් බවද සඳහන් කර තිබේ.

එසේ බාහිර ආයතනවලට ලබාදෙන ශ්‍රමිකයින්ගේ වෘත්තීය ආරක්ෂාව, සෞඛ්‍ය හා සුභසාධනය තහවුරු කිරීමේ වගකීම මෑන් පවර් ආයතනයට පවරා තිබේ. මෙය නම් සිදුනොවිය හැකි දෙයකි. මන්ද යම් සේවා නියුක්තිකයකු මෑන් පවර් ආයතනයක් විසින් වෙනත් ආයතනයකට ලබාදීමෙන් පසු වෘත්තීය ආරක්ෂාව, සෞඛ්‍ය හා සුභසාධනය පිළිබඳව තීරණය වන්නේ සේවය ලබාගන්නා ආයතනය තුළදී වන නිසාය.

ඊට අමතරව තවත් කළ නොහැක්කක්ද සඳහන් කර තිබේ. ඒ මෑන් පවර් ආයතනවලින් සේවකයින් ලබා ගන්නා සේවා යෝජක ආයතන විසින් මෑන් පවර් ආයතන ඊටීඑෆ්, ඊපීඑෆ් වැනි සමාජ ආරක්ෂණ දායක මුදල් මාසිකව ගෙවනවාදැයි අධීක්ෂණය කළ යුතු බවයි. එසේ අධීක්ෂණය කිරීමේදී එම විධිවිධාන උල්ලංගනය කරන බව දැනගත් වහාම කම්කරු දෙපාර්තමේන්තුවට දැනුම් දීමට කටයුතු කළ යුතු බවද එහි දක්වා තිබේ. එමෙන්ම එසේ දැනුම් දීමට අපොහොසත් වන අවස්ථාවක මෑන් පවර් සේවකයින් ලබා ගන්නා සේවා යෝජක ආයතනයද එම මෑන් පවර් සේවකයින්ගේ හිඟ ව්‍යවස්ථාපිත වගකීම් හෙවත් ඊපීඑෆ්, ඊටීඑෆ් ගෙවීමට බැඳී සිටින බව දක්වා තිබේ.

සැබැඳි පුවත්

ඉනුත් ඔබ්බට යමින් එහි තවදුරටත් සඳහන් කර ඇත්තේ,  ශ්‍රී ලංකාව තුළ සේවා නියුක්තිය සඳහා සේවා නියුක්තිකයින් බඳවා ගැනීමට අපේක්ෂා කරන සේවා යෝජකයින්ට රැකියා නියෝජිත ආයතන මගින් සේවාවන් ලබාගත හැකි බවය. ඒ අනුව ඉදිරියට සිදුවිය හැක්කේ රටතුළ අලුතින් ආරම්භ කරන ආයතනවලට ඒවාහී සෑම තරාතිරමකම රැකියා අවස්ථා සඳහා මෑන් පවර් ආයතන සේවකයින් බඳවා ගැනීමට හැකි වීමයි. මෙතෙක් ශ්‍රී ලංකාව තුළ බහුල වශයෙන් සිදුවූයේ බාහිරකරණය කළ හැකි රැකියා අවස්ථා පමණක් මෑන් පවර් සේවකයින් මගින් සපුරා ගැනීමය. ඒවා පිරිසිදු කිරීමේ සේවා, ආරක්ෂක සේවා, නඩත්තු සේවා ආදී ලෙස ආයතනයේ මූලික කාර්යයට සම්බන්ධ නැති සේවා විය. එහෙත් මෙම යෝජිත පනතෙන් කියන්නේ ඉන් ඔබ්බට ගොස් ආයතනයේ මූලික කාර්යයට අදාළ රැකියා පවා මෑන් පවර් රැකියා ලෙස බඳවා ගතහැකි බවයි.

මෙහිදී මතකයට නැගෙන්නේ කොමර්ෂල් බැංකුව සම්බන්ධයෙන් මෑන් පවර් සේවකයකු ගොනුකළ නඩුවකදී අධිකරණය ලබාදුන් තීන්දුවයි. එහිදී අධිකරණය පැවසුවේ එකී මෑන් පවර් සේවකයා බැංකුව වෙනුවෙන් පෙනී සිටිමින් එහි සේවය කර ඇති බැවින්, ඔහුව සේවයේ යොදවා ඇත්තේ එම බැංකුව බැවින් හා එම සේවකයාට වැටුප් ගෙවා ඇත්තේ බැංකුව විසින් බැවින් එම සේවකයා බැංකුවේ සේවකයකු ලෙස සලකන බවයි. එහෙත් ඉන්ද ලංකාවේ බැංකු පාඩමක් ඉගෙනගෙන  නැති අතර අදටත් සමහර බැංකුවල ගනුදෙනුකරුවන් සමඟ ඉදිරි කවුන්ටරවල කටයුතු කරන්නේ මෑන් පවර් සේවකයින්ය. ගනුදෙනුකරුවන් සිතන්නේ ඔවුන් කටයුතු කරන්නේ අදාළ බැංකුවේම සේවකයින් සමඟ බවය. එහෙත් ඇත්ත වන්නේ ඔවුන් මෑන් පවර් සේවකයින් වීමය.

කම්කරු ඇමති මනූෂ නානායක්කාර සිය කෙටුම්පතෙන් සිදුකර ඇත්තේ මේ යථාර්ථය නැතිකර සේවක අයිතිවාසිකම් ලබාදීම වෙනුවට සේවා අයිතිවාසිකම් ලබාදෙන බව පෙන්නමින්, සේවක අයිතිවාසිකම් නොලැබෙන මෑන් පවර් ව්‍යාපාරය පවා එක් කම්කරු නීති පවතක් ලෙස නීතිගත කිරීමට උත්සාහ කිරීමකි.

| ලසන්ත රුහුණගේ (anidda)