කම්කරු නීති සංශෝධනය ගැන ජාතික ජනබලවේගය කියන්නේ කුමක්ද?

  කම්කරු නීති සංශෝධනය ගැන ජාතික ජනබලවේගය කියන්නේ කුමක්ද?
ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ පක්ෂ දේශපාලනයෙන් ස්වායත්තව පවතින වෘත්තීය සමිති මෙන්ම පක්ෂ සමඟ අනන්‍ය වූ වෘත්තීය සමිතිද, පවතින බව සත්‍යයකි. එහි වාසි සහ අවාසි විවිධාකාරයෙන් දක්නට ලැබෙන බවද, සත්‍යයකි. ඒ් කෙසේ වෙතත්, පොදුවේ රටට හෝ වෘත්තීය සමිති ක්ෂේත්‍රයට බලපාන යම් යම් සංසිද්ධි සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල මැදිහත්වීම හෝ භූමිකාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී, ඔවුන් ගේ දේශපාලන ස්ථාවරත්වයන්, පක්ෂ දේශපාලනය හා පවත්නා සම්බන්ධතාවන්ද, අතිශය තීරණාත්මක බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. මන්දයත්, ඇතැම්විට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් තේරීම පවා පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ හෝ මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් විය හැකි නිසාය.
 
අද වන විට කම්කරු නීති සංශෝධනය කරමින් වැඩකරන ජනයාට බලපත්වන සියලු නීති, අණ පනත් වෙනුවට පොදු එක නීතියක් ගෙන ඒ්මට ආණ්ඩුව විසින් සැලසුම් කරමින් සිටීමත්, එවැනි කෙටුම්පතක් ජාතික කම්කරු උපදේශන සභාවට ඉදිරිපත්වී තිබීමත් මේ මොහොතේ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ. එහෙව් වටපිටාවක ජාතික ජනබලවේගය මෙම කම්කරු නීති සංශෝධනය ගැන දරන්නේ කුමන ස්ථාවරයක්ද, යන්න අතිශය වැදගත්ය. ඒ් හුදෙක් ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය හා සෘජුව ගැටගැසුණු වෘත්තීය සමිති ජාලයක් පවතින නිසාම නෙවෙයි. ඒ් හේතුවට අමතරව රටේ පොදු වැඩකරන ජනයාට බලපවත්වන නීතියක් සම්බන්ධයෙන් රටේ නීති සම්පාදනය කරන තැන නියෝජනය කරන දේශපාලන පක්ෂයක ස්ථාවරත්වය, බහුජන ව්‍යාපරය දේශපාලනය තුළ යම් යම් පොදු උපාය මාර්ග තෝරදිදී වැදගත් වන බැවිනි. ඒ් නිසාම පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී, ජාතික ජනබලවේගය මේ සම්බන්ධයෙන් පළ කළ අදහස් පහත පරිදි සාරංශ ගත කරනු වටියි.
 
"වැඩකරන ජනතාව වහලුන් බවට පත්කරන අයි.එම්.එෆ්. නියෝග වහාම හකුළා ගන්න ආණ්ඩුවට බල කරන" බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී,  විජිත හේරත්, එහිදී පවසා සිටියා. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියූ කරුණු පහත පරිදිය.
 
"ආණ්ඩුව අයි.එම්.එෆ්. කොන්දේසිවලට යටත් වෙලා මේ රටේ වැඩකරන ජනතාවගේ අයිතීන් කප්පාදු කරගෙන යනවා. ණය ප‍්‍රශස්තකරණය හරහා අර්ථසාධක අරමුදල සහ අනිකුත් සේවක විශ‍්‍රාම අරමුදල් කප්පාදු කරන්න සූදානම් වෙන ආණ්ඩුවේ කම්කරු ඇමතිවරයා අලුත් පනතක් ගෙනත් වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරන්න සූදානම් වෙනවා. මෙතෙක් කල් වැඩකරන ජනතාවගේ අයිතීන් යම්තරමකින් හෝ තහවුරු කරන්න දායක වුණු අණපනත්  13ක් අහෝසි කර අලූත් නීතියක් හඳුන්වා දෙන්න පිඹුරුපත් සකස් කර තිබෙනවා. වැඩකරන ජනතාවගේ වෘත්තිය අයිතිවාසිකම් තවදුරටත් කප්පාදු කිරීමේ අරමුණින් මේ ක්‍රියාමාර්ගවලට ආණ්ඩුව යොමුවී තිබෙනවා.
 
ආර්ථිකමය වශයෙන් රටක් බංකොලොත් වී තිබෙන වෙලාවක වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා කිරීමයි කළ යුත්තේ. ආර්ථික වශයෙන් දුබල ජනතාවගේ අයිතීන් ආරක්ෂා කළ යුතුයි. නමුත් ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම හරහාත් ‘අස්වැසුම’ හරහාත් හඳුන්වා දෙන්න යන මේ කම්කරු නීති හරහා තවදුරටත් දුප්පත් ජනතාව තලාපෙළීම ආණ්ඩුවේ කාර්යභාරය වී තිබෙනවා. අයි.එම්.එෆ්. යෝජනාවලට යටවුණු ආණ්ඩුව දුප්පත් ජනතාව, වැඩකරන ජනතාව සහ විශ‍්‍රාම අරමුදල් කප්පාදුව හරහා සෑම ක්ෂේත‍්‍රයකම ජනතාව දඩයම් කිරීම ආරම්භ කර තිබෙනවා. වැඩකරන ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් පැය අටේ වැඩ දිනය සතියේ පැය 45ක් දක්වා දීර්ඝ කර, දවසකට පැය 12ක් වැඩ කළ යුතු තත්වයක් නීතිගත කරන්න යනවා. 
 
දවසකට පැය 16 දක්වා සේවකයාගේ කැමැත්ත අනුව බව කියමින් වැඩ ගන්න උත්සාහයක් තිබෙනවා. මෙතෙක් සටන්වලින් දිනාගත් අයිතීන් කප්පාදු කර, 1999 අංක 32 දරන යම් ආයතනයක වෘත්තිය සමිතියක් පිහිටුවීමේ අයිතිය තහවුරු කළ නීතියක් වෙනස් කරන්න යනවා. හාම්පුතාට වෘත්තිය සමිති පිහිටුවීම සම්බන්ධයෙන් බාධා කරන්න බැහැ. එවැනි අවස්ථාවක කම්කරු කොමසාරිස්ට දැනුම් දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඒ ආයතනයේ වැඩකරන ජනතාවට තිබුණා. වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානය වෙන්න තිබූ මේ අයිතියත් අලුත් පනතින් අහෝසි කරන්න යනවා. ඒ අනුව හාම්පුතාට දැනුම් නොදී හදිසි වෘත්තිය අයිතිවාසිකමක් වෙනුවෙන් ක්‍රියාකිරීම අධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්කරන්න සූදානම් වෙනවා.
 
වෘත්තිය සමිති පිහිටුවීමේ යාන්ත‍්‍රණයත් දුබල කරන යෝජනා මේ තුළ තිබෙනවා. යම් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට වෘත්තිය සමිතියේ බහුතර සාමාජිකයන්ගේ අනුමැතිය ලබාගත යුතු බවට සංශෝධන නීති ගේන්න යනවා. පාලකයන්ගේ හදිසි අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව ක්‍රියාකරන්න සාමාජිකයන්ගේ ඡන්ද පවත්වලා කල්මරන්න බැහැ. ඒ වගේම කාන්තාවන්ගෙන් වැඩගැනීමේදී පනවා තිබූ සීමාවන් ඉවත් කර, මේ දක්වා ලබාදී තිබූ සියලූ බැඳීම් අහෝසි කරන්න උත්සාහ කරනවා. අපේ රටේ වැඩකරන ජනතාව වහල්ලු බවට පත්කරන්න අයි.එම්.එෆ්. එකේ කොන්දේසි අනුව මේ පනත ගෙනත් ස්ත්‍රී - පුරුෂ භේදයක් නැතිව බලපවත්වන්න ආණ්ඩුව උත්සාහ කරනවා. මේ පනත සම්මත කර ගතහොත් අපේ රටේ වැඩකරන ජනතාව වහල්ලූ බවට සියලුම ජනතාව පත්කරමින් වහල් වෙළඳාම ස්ථාපිත කරන තත්වයක් ඇති කරන්න යනවා. ඒ නිසා ජාතික ජන බලවේගය විදිහට අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ කම්කරුවන් මර්දනය කර, වහලූන් බවට පත්කරන මේ පනත හකුලා ගන්නා ලෙසයි. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටිමින් මේ පනත වහාම හකුලා ගන්නා ලෙස ජාතික ජන බලවේගයෙ ආණ්ඩුවට බල කරනවා."
 
එසේම වැඩකරන ජනතාව ආරක්ෂා කරන නීති 13ක් අහෝසි කර, අලුත් නීතියක් ගේන්න යන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, - නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.
 
ඔහු පළ කළ අදහස් පහත පරිදි සාරාංශ ගත කළ හැකිය.
 
"නව කම්කරු නීති කෙටුම්පතක් ලෙස තවමත් ඉදිරිපත් කර නැතත් ගේන්න යන සංශෝධනවල අරමුණ පැහැදිලිව අපිට තේරුම් ගන්න පුළුවන්. වැඩකරන ජනතාවට අපේ රටේ බලපවත්වමින් තිබෙන මූලික නීති 13ක් අහෝසි කර අලූත් නීතිය ගේන්න යන බව අපිට උපකල්පනය කරන්න සිදුවී තිබෙනවා. රජයේ බලපෑමක් හෝ මැදිහත් වීමක් නොමැතිව පුද්ගලයින් දෙදෙනෙකුට තමන් කැමති එකඟතාවන්ට පැමිණීමේ අවස්ථාව නීතියෙන් තහවුරු කර තිබෙනවා. මෙන්න මේ ලස්සන වගන්තිය යොදා ගනිමින් කම්කරු නීතිවලට ගලපන්න උත්සාහයක් තිබෙනවා. යථාර්ථය වෙන්නේ සමානයන් දෙදෙනෙකු සාකච්ඡාවකට වාඩිවුණොත් පමණක් කේවල් කිරීමේ හැකියාව තිබීමයි. පසුගිය අවුරුදු දෙක තුන තුළ දුප්පත්කම වැඩිවීම, රැකියා නැතිවීම, කර්මාන්ත වැසී යාම වැනි තත්වයන් තුළ පුද්ගලයන්ගේ මූලික අරමුණ ඕනෑම රැකියාවක් ගෙවන  ඕනෑම මුදලක් මත කිරීමට සූදානම් අසරණ බහුතර ජනතාවක් ඉන්නේ. හාම්පුතා සමග කේවල් කිරීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. ඉතාම අසාධාරණ කොන්ත‍්‍රාත්වලට යටත් වෙන්න සිදුවෙනවා. හොඳ සංකල්ප ඉදිරියට දමා නරක අරමුණු එක්ක පටලවලා මේ පනත ගේන්න යනවා. සේවා නියුක්තිකයාගේ එකඟතාවය මත ක්‍රියාකරන බව හැමතැනම සඳහන් කර තිබෙනවා.
 
ඉංජිනේරුවෙක් නම් තමන්ගේ නිපුණතාවය මත කේවල් කිරීමේ හැකියාව තිබෙනවා. රටේ බහුතර ජනතාවකට ඒක කරන්න බැහැ. මේ අවස්ථාවේ පනතක් හදන්න ඕනෑ බහුතර ජනතාවගේ ආරක්ෂාව ගැන හිතලා. එහෙම නැතිව හැමෝම සමානයෝය කියන දුර්මතයේ පිහිටලා නොවෙයි. පනත හදපු අය මෙ බව නොදන්නවාත් නොවෙයි. කිසිසේත්ම වැඩකරන ජනතාවගේ ආරක්ෂාව සහ උන්නතිය ගැන හිතලා ගේන පනතක් නොවෙන බව පැහැදිලි කිරීමට කරුණු රැසක් තිබෙනවා. රැකියා අවසන් කිරීමේ පනතක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. එහි දෙවන වගන්තිය අනුව යම් සේවකයෙකුගේ රැකියාව අවසන් කරනවා නම්, සේවා නියුක්තිකයාගේ ස්වකැමැත්ත හෝ කම්කරු කොමසාරිස්වරයාගේ පූර්ව අනුමැතිය අවශ්‍යයි. 
 
මේ පනත අනුව කම්කරු කොමසාරිස්වරයාට දැනුම්දීම පමණක් ප‍්‍රමාණවත් බවත්, පූර්ව අනුමැතිය අවශ්‍ය නොවන බවත් දක්වා තිබෙනවා. යෝජිත කෙටුම්පතේ 8:1 වගන්තියේ ස්වභාවික විපත්, වසංගත රෝග, බලශක්ති බිඳ වැටීම වගේ අවස්ථා යොදාගනිමින් අමතර වැඩ වුවත් පැවරිය හැකි බවට නීති සංශෝධනය වෙනවා. මේවගේ තැන්වලින් රිංගා යාමට අවස්ථා දීම සහ අර්ධ රැකියා ලබාදීම සඳහා සමාගම්වලට විශාල අවස්ථාවක් ලබාදෙනවා. ස්ථිර සේවකයන්ට වඩා මේ අයට ලැබෙන ආරක්ෂාව සහ ප‍්‍රතිලාභ ඉතාම අඩු වෙනවා.
 
කෙටුම්පතේ 16වෙනි වගන්තිය වඩාත් වැදගත්. කම්කරු කොමසාරිස්ට දැනුම්දීමෙන් පමණක් සේවකයන් ඉවත් කිරීමේ හැකියාව හාම්පුතුන්ට ලබාදෙනවා. කලින් නම්, කම්කරු කොමසාරිස්ගේ අවසරය ඕනෑ. නමුත් ව්‍යාජ කරුණු දක්වමින් වන්දි ගෙවීම් පවා අලූත් නීති වැඩකරන ජනතාවට අසාධාරණ ලෙස හඳුන්වා දෙන්න යනවා. අවුරුදු හතරකට වඩා අඩු සේවා කාලයක් ඇත්නම් ඉවත් කිරීමේදී වඩා අඩුමුදලක් වන්දි වශයෙන් දෙන්න යෝජනා කරනවා. අනෙක් පැත්තෙන් වන්දි සූත‍්‍රය අනුව කෙතරම් ගෙවිය යුතු වුණත් ලක්ෂ 25කට වඩා නොදීමට කොන්දේසි තිබෙනවා. 18 වගන්තිය වන්දි නොගෙවා සේවය අවසන් කිරීමට ඉඩ ලබාදෙමින් සේවා ස්ථානවල ”රීති උල්ලංඝනය කිරීම” යනුවෙන් දක්වා තිබෙනවා. මෙතනදී සියල්ල තීරණය කරන්නේ සේවා යෝජකයන්. මෙයින් කියැවෙන්නේ පඩි නොගෙවා සේවකයන්ව ඉවත්කරන්න සුළු හේතූන් මත ඉඩ ලබාදීමයි. සම්පූර්ණයෙන්ම කම්කරු කොමසාරිස්ගේ අධීක්ෂණයෙන් ඉවත්කර සේවා යෝජකයන්ගේ අභිමතය පරිදි සේවකයන් ඉවත් කිරීමට ඉඩ ලබාදීම පුළුල් කර තිබෙනවා.
 
ඒ වගේම කෙටුම්පතේ 32වන වගන්තිය අනුව විෂය භාර ඇමතිවරයාට සේවා නියුක්තිකයාගේ එකඟතාවය මත අතිකාල නොගෙවා පැය 12ක් වැඩගැනීමේ හැකියාව ලබාදෙන්න යනවා. අතිකාල නොගෙවා වැඩ ගැනීමට මෙයින් ඉඩ හදාගන්න හැකිවෙනවා. ”සම්පිණ්ඩන වැඩ සතියක්” කියලා ලස්සන වචනයකුත් යොදා තිබෙනවා. පැය 24ක් වැඩගැනීමේ හැකියාවත් තහවුරු කෙරෙන වගන්ති යොදා රෝමයේ වහල් සේවය හා සමාන තත්වයක් ඇති කරන්න යනවා. පීතෘ සහ මාතෘ නිවාඩු ලබාදීම් ගැන සඳහන් කරමින් ළමුන් සේවයේ යෙදීමේ අවස්ථාව ලබාගන්න යනවා. 1995 සිට ක්‍රියාත්මක වන තත්වය යටතේ ළමයා නිර්වචනය කර තිබෙන්නේ අවුරුදු 18 අඩු පිරිසයි. නමුත් මේ පනතේ අවුරුදු 16ට අඩු අය ළමයා හැටියටත් 16-18 අතර අය තරුණ පුද්ගලයන් ලෙසත් හඳුන්වා තිබෙනවා. 
 
යෝජිත පනතේ මෙවැනි වගන්තියක් යොදා තිබෙන්නේ පෙර නීතිය අනුව අවුරුදු 18ට අඩු කිසිකෙනෙක් සේවයේ යොදවන්න බැහැ. කාන්තාවන් හා ළමුන් සේවයේ යෙදවීමේ පනත අනුව එය තහනම් කර තිබුණා. නමුත් දැන් ළමා ශ‍්‍රමය ගන්න මේ පනත වෙනස් කර තිබෙනවා. ඔවුන් රාත්‍රී කාලයේ වුණත් වැඩගන්න හැකියාව ලැබෙනවා. කලින් පනත අනුව දරුවන්ට ජීවන අත්දැකීම් ගන්න අවශ්‍ය නිසා වෘත්තීය පුහුණු ආයතනයක හෝ පවුලේ කටයුතුවලට පමණක් ඔවුන් සහභාගී කර ගැනීමට ඉඩ දී තිබුණා. ළමා ශ‍්‍රමය සූරාකෑමටත්, කේවල් කිරීමේ හැකියාවක් නැති ළමුන් අඩු පඩියට යෙදවීමෙන් සූරාකෑම දරුණුවට යොදාගන්න ඉඩ දෙනවා.
 
ළමයින්ට අදාළව යෝජිත කෙටුම්පතේ 102 වගන්තිය තවත් වැදගත්. තරුණයන් යනුවෙන් ඔවුන් හඳුන්වන අයගෙන් පැය 60ක් සහ කාන්තාවන්ගෙන් පැය 80ක් දක්වා සතියකට අතිකාල සේවයට යොදවා ගැනීමේ හැකියාව ලබාදෙන්න යනවා. මේ වගේ ව්‍යාජයන් තුළ ‘මෑන් පවර් ඒජන්සි’ පවත්වාගෙන යන ශ‍්‍රම වෙළෙන්දන්ට විශාල ඉඩක් ලබාදමේ හැකියාව මේ තුළ තිබෙනවා. නරින්ට කුකුළෝ බාරදුන්නා වගේ ක්‍රියා කිරීම වෙනුවට සේවකයන් ආරක්ෂා කිරීම සඳහා රජයේ වගකීම මීට වඩා තිබිය යුතුයි. මේ පනතින් කරන්නේ යන්නේ තිබුණු ආරක්ෂාවක් ඉවත් කර ශ‍්‍රමය සූරාකෑම පහසු කිරීමයි. මෙය වගන්තියෙන් වගන්තිය සංශෝධනය කර, ගෙනයාමට නොහැකි පනතක්. මේ පනතේ තේමාවම, ආකල්පමය සූරාකෑම සහ දැනට පවතින සේවක අයිතිවාසිකම් අහෝසි කිරීමයි."
 
මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී,  ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටියේ ලස්සන වචන අස්සේ හංගලා තියෙන ගේම මොකක්ද කියලා අපි අවබෝධ කර ගත යුතු බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේද, කියා සිටියාය.
 
"රනිල් රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන මූලික පදනම් දෙකක් තිබෙනවා. අයි.එම්.එෆ්. නියෝග ක්‍රියාත්මක කිරීමට ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ජනතා විරෝධී ලෙස කටයුතු කිරීමත්, වචන හරඹවල යෙදිමත් ඒ මූලික පදනම්. ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ කියන එකේදි දේශීය ණය සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරය හොඳ උදාහරණයක්. කම්කරු නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් අනුගමනය කරන්නේත් ඒ ක්‍රියාවලියමයි. මේ කෙටුම්පත ඉදිරිපත් කරන්නේම, ”නිදහස් ආර්ථික පුද්ගලයෙක් ඉන්න. ඔහුට හාම්පුතා සමග සමාන තත්වයෙන් කේවල් කිරීමේ හැකියාව තිබෙනවා.” කියන උපකල්පනය මතයි. 
 
මෙය ඉතාමත්ම වැරදි උපකල්පනයක්. නොදන්නාකමින් අහිංසකව ඉදිරිපත් කර ඇති බවක් පෙන්වන අතර නව ලිබරල් ආර්ථික ක‍්‍රමය තුළ බලවතුන් වෙනුවෙන් සියලු වරප‍්‍රසාද ආරක්ෂා කරන්න ගෙන එන පනතක්. නමුත් වගන්ති තුළ ලස්සන සංකල්ප දවටා ඉදිරියට දමනවා. සුරක්ෂිත කළ යුතු පුද්ගලයාගේ අයිතිවාසිකම් කප්පාදු කරන්නේ ඒ පිටුපස සිටයි. ශ‍්‍රම බලකායට ස්ත්‍රීන්ගේ දායකත්වය වැඩිකිරීම සඳහා යෝග්‍ය ආකාරයට පනත ගෙන එන බව, වෙනස් කොට සැලකීමට තිබෙන අවස්ථා ප‍්‍රතික්ෂේප කිරීම වැනි වගන්ති මේ තුළ ඇතුළත් කර තිබෙනවා. ඉතාමත්ම හොඳ ලස්සන වචන තුළ ගහන ගේම මොකක්ද කියලා අපි හරියට පැහැදිලි කර ගන්න ඕනෑ. ඔය වචනවලට අහුවෙන්න එපා. වචන කිහිපයකට අහුවෙලා මේ පනත හොඳ එකක් ලෙස භාරගත්තොත් විශාල වරද්දා ගැනීමක් වෙනවා.
 
මේ බව තහවුරු කරන්න කාන්තාවන් ශ‍්‍රම දායකත්වයට වැඩියෙන් ගන්න ඕනෑ කියන මතය යොදා ගන්නවා. ලෝක බැංකුව සහ මූල්‍ය අරමුදල වැනි ආයතන දිගටම කියන්නේ ලංකාවේ ශ‍්‍රම බලකාය තුළ කාන්තා සහභාගිත්වය ඉතාම අඩු බවයි. ආර්ථික සංවර්ධනයත් ඇති කර ගන්න නම්, කාන්තාවන්ගේ ශ‍්‍රම දායකත්වය වැඩිකර ගත යුතු බව ඔවුන් ඉදිරිපත් කරනවා. ඔවුන් මේ තර්ක ගොඩනඟනකොට සැලකිල්ලට නොගන්නා කරුණු කිහිපයක් තිබෙනවා. එක් කරුණක් වන්නේ ගැහැනුන් වැඩිපුරම ශ‍්‍රමය වගුරන්නේ අවිධිමත් ක්ෂේත‍්‍රයේ බව. නිවාස ආශ්‍රිතව කුලී කම්කරුවන් ලෙස කටයුතු කිරීම, පවුලේ ව්‍යාපාර තුළ යෙදීම, වැනි තත්වයන් ඔවුන් ගණන් ගන්නේ නැහැ. ඒ වගේම මේ රටේ ස්ත්‍රීන් විසින් වැටුප් නොලබා කරන විශාල වැඩ කොටස සැලකිල්ලට ලක්කර නැහැ. 
 
පර්යේෂණවලින් හෙළිවී තිබෙන්නේ මේ රටේ කාන්තාවන් වැටුප් නොලබා කරන විශාල වැඩ කොටසක් පවතින බවයි. එය මුළු ශ‍්‍රමයෙන් 60%ක් බව හෙළිකර තිබෙනවා. ඔවුන් ආර්ථීක කටයුතුවල යෙදෙන්නේ අර 60%ක කොටස ඉටුකරන අතරයි. නමුත් ලෝක බැංකුව සහ මූල්‍ය අරමුදලේ සංඛ්‍යාවල මේ 60%ක ශ‍්‍රම කටයුතු ගැන අවධානය යොමු කරන්නේ නැහැ. තව පැත්තකින් මේ තිබෙන තත්වය තුළ දැනටමත් දිනකට පැය 14ක් පමණ වෙලාවක් කාන්තාවන් වැඩකරන බව පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා. පිරිමින් වැඩ කරන්නේ දවසකට පැය 09යි.
 
ස්ත්‍රීන් තව වැඩ කළ යුතු බවට ඔවුන් බල කරන්නේ මේ යථාර්ථය තුළයි. පැය 08 සංකල්පය ඉක්මවා පැය 24ම වැඩකරන්න යෝජනා කරන්නේ ”නම්‍යශීලී වැඩ පසුබිම” කියන ලස්සන වචන ඇතුළෙයි. ආර්ථික අර්බුදයක් තුළ මෙවැනි යෝජනා ගේන්නේ කුමන කොන්දේසි යටතේ හෝ ආර්ථික වැඩවල යෙදීමට බලකෙරෙන පසුබිමකයි.  කේවල් කිරීමේ හැකියාව කිසිසේත්ම නැති වෙනවා. කාන්තවන්ට ඉතාමත්ම පීඩාකාරී ලෙස බලපානවා. තමන්ටම වැඩකරන තත්ත්වයන් තෝරාගත හැකි බවට ඔවුන් කියනවා. නමුත් මෙය හිස් අවකාශයට එන්නේ නැහැ. ආර්ථිකව රටක් කඩා වැටී පීඩාකාරී තත්වයක් තිබෙන අතර, දුර්වල පාර්ශවයන්ට තිබෙන ඉඩ ඉතාමත්ම සීමිතයි. ජීවත්වීමට කරන අරගලය තුළ කීයකට හෝ ශ‍්‍රමය විකිණීම අනිවාර්ය තත්ත්වයක් වී තිබෙනවා. අනිවාර්ය තත්වය තෝරාගැනීමක් ලෙස අපිට අර්ථකථනය කරන්න බැහැ. 
 
මෙවැනි අවස්ථාවක හරි නම් ආණ්ඩුව කරන්න ඕනෑ, දුර්වල අය, පීඩාවට පත්වුණු අය, ආරක්ෂා කිරීමේ විධිවිධාන වැඩිකිරීමයි. නමුත් ආණ්ඩුව කරන්නේ ඔවුන්ව තවදුරටත් වහල්භාවය දක්වා ගෙනයන ක්‍රියාමාර්ග. ලෝක කම්කරු සහ යුනිසෙෆ් වැනි සංවිධාන හෙළිකර තිබෙන්නේ අවධානම් ක්ෂේත‍්‍රවල පවා දරුවන් යෙදවීමේ විශාල ඉඩක් පවතින බවයි. සමාජයේ දුර්වල කොටස් ඒ කියන්නේ කාන්තාවන් සහ දරුවන් නියැලෙන රැකියා ක්ෂේත‍්‍ර අවධානම් වැඩිම ඒවා බවට පත්වී තිබෙනවා. එවැනි කණ්ඩායම් අනාරක්ෂිතභාවයට පත්වීම වැළැක්වීම ගැනයි කළ යුත්තේ. නමුත් දැන් කරමින් ඉන්නේ හදිසියේම ජනතාවට වසන්කරමින් බොහෝ දේවල් සැඟවීමට ආණ්ඩුව උත්සාහ  කරනවා. මේ අතිශයින්ම භයානක කම්කරු නීති සංශෝධනය කිරීමේ උත්සාහය පරාජය කළ යුතුයි. සේවක අයිතිවාසිකම්, උල්ලංඝනය කිරීමට හාම්පුතුන්ට පාර කපාදීම වැළැක්විය යුතුමයි. කේවල් කිරීමේ හැකියාව නැති අය වහල් සේවය කරා ගෙනයාමේ මේ පනත් කෙටුම්පතෙන් දරන උත්සාහය ජාතික ජන බලවේගයේ අපි ජනතාව ඉදිරියේ හෙළිදරව් කරනවා. කිසිවක් හංගන්න ඉඩදෙන්නේ නැහැ."
 
 

සටහන-පී.ඩබ් මුතුකුඩආරච්චි