සිහින සහ ගරුත්වය : මලෛයහ දෙමළ තරුණ තරුණියන් පිළිබඳ කතා - ප්‍රජා ගැටළු හා නිගමනය (අවසන් කොටස)

estate-workers-public-problem

මෙම ප්‍රජාවේ තරුණ තරුණියන්ට මලෛයහ දෙමළ ජාතිකයින් යන අනන්‍යතාවය මත පදනම්ව රාජ්‍යයෙන්, සේවා යෝජකයින්ගෙන් හෝ පුද්ගලයින්ගෙන් තමන්ට සිදුවන වෙනස්කොට සැලකීම් පිළිබඳ විවිධ අවබෝධයන් තිබුණි.

අපි මලෛයහ දෙමළ ප්‍රජාවට අයත් නිසා අපේ හාම්පුත්තු සහ වත්තෙන් පිටත අය අපව වෙනස් ආකාරයකටයි දකින්නේ. අපිට වැඩ කිරීමට දක්ෂතාවයක් හෝ හැකියාවක් නැතැයි යන උපකල්පනයක් තිබේ.

- දැරණියගල -

තමන් සමග දෛනික වැටුප් ලබන රැකියාවල නිරත වන පිරිස අතර පූර්ණ අධ්‍යාපනයක් ලැබූ අය ද සිටින බව දැරණියගල දී අදහස් දැක්වූවන් සඳහන් කළහ. බොහෝ දෙනෙක් එම තත්වයට පත්ව ඇත්තේ ඔවුන්ට වෙනත් රැකියා අවස්ථා නොමැතිකම සහ ඔවුන්ට රැකියාවක් ලබා දීමට මිනිසුන් තුළ ඇති අකමැත්ත හේතුවෙනි.

ක්‍රියාවාදයට සම්බන්ධවී සිටින තරුණ තරුණියන්ට ඔවුන්ගේ ප්‍රජාව ගැන විශේෂ අදහස් තිබුණි. සමාජ ක්‍රියාකාරකම්වල නියැළී සිටින ඇතැම් අදහස් දැක්වූවන් තම ප්‍රජාව තුළ මිනිසුන් අයුක්තියට එරෙහිව හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හෝ කතා නොකරන බව සඳහන් කළහ. උදාහරණයක් ලෙස, තමන් ජීවත් වන පේලි නිවාසය තමන්ගේ වාසස්ථානය බවත්, එය තමන්ට අයිති නැති බවත් සියලු දෙනා ම තේරුම් ගන්නා නමුත් ඒ පිළිබඳව කුමක් කළ යුතු දැයි කළමනාකාරිත්වයෙන් හෝ පළාත් පාලන ආයතනයෙන් විමසීමට කිසිවෙකු කැමති වූයේ නැත. අනෙකුත් ප්‍රජාවන් ඔවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලා සිටිනු ඇති අවස්ථාවල දී, මලෛයහ දෙමළ ප්‍රජාව එතරම් දුරකට තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටින බව ඔවුන්ගේ හැඟීම වුවත්, ඔවුන් එයට හේතු පැහැදිලි කළේ නැත.

නිගමනය

මලෛයහ දෙමළ ප්‍රජාව පිළිබඳව ලියවී ඇති බොහෝ ලියවිලි සහ වාර්තා මගින් ඔවුන් මුහුණ දෙන ඓතිහාසික හා වර්තමාන අරගල කෙරෙහි අවධානය යොමු කර ඇත. ඔවුන්ව අඛණ්ඩව ම කොන් කිරීමට ලක්කරන මෙම පද්ධතිමය අසාර්ථකත්වයන් පිළිබඳව  වාර්තාගත කිරීම අවශ්‍ය වන අතර, එහෙත් කතාව එතැනින් අවසන් නොවේ. දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පමණක් නොව, එදිනෙදා ජීවිතයේ දී මෙන් ම අනාගතය සඳහා කරනු ලබන තේරීම් සම්බන්ධයෙන් ද කැපීපෙනෙන ලෙස දැවැන්ත ප්‍රතිරෝධයක් එල්ල වෙයි.

මලෛයහ දෙමළ ජනයා ඔවුන්ගේ ප්‍රජාව ඇතුළත ම විවිධ කථා සහ යථාර්ථයන් සහිත ප්‍රජාවක් බව මෙම වාර්තාව මගින් ලබාදෙන ප්‍රධානතම අවබෝධය වේ. සම්මුඛ  සාකච්ඡාවට භාජනය වූ තරුණ තරුණියන් සියලු දෙනා එකම පද්ධතිමය අසාධාරණයන්ට සහ බාධාවන්ට මුහුණ දුන්නද, ඔවුන් විවිධ ආකාර වලින් තම අනාගතය සඳහා මාර්ග තෝරා ගනිමින් සිටිති. සම්මුඛ සාකච්ඡාවට භාජනය වූ තරුණ තරුණියන් අතරින් ඇතමුන්ට ඉහත පෙන්වා දුන් පරිදි අධ්‍යාපන ක්‍රමයේ පවතින අඩුපාඩුකම් හේතුවෙන් තමන් කැමති විෂයන් හැදෑරීමට නොහැකි වී තිබුණි. එසේ තිබියදීත්, තමන්ගේ රුචිකත්වයන් සහ අභිලාෂයන් අනුව තමන් තෝරාගන්නා මාර්ගයක් අනුගමනය කිරීමට ‘හැකි කවර හෝ ආකාරයකින්’ උත්සාහ කරන බව ඔවුහු පැවසූහ.

උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ප්‍රවේශය ලැබී ඇති බැවින් තම සාර්ථකත්වය දැනටමත් ආරම්භ වී ඇති බව තවත් සමහරෙක් පැවසූහ. තවත් බොහෝ දෙනෙකුට, වතුකරයෙන් පිටත රැකියා පැහැදිලිවම වතුකරයේ දී ඔවුන්ට ලබා ගත නොහැකි ඉහළ වැටුප් සහ සමාජ සංචලනය ලබා දෙන බැවින්, ඇතැම්විට වතුවල පිහිටි තම නිවෙස් වලින් දුර බැහැර රැකියා තෝරා ගැනීමට සිදුවීම එයට ඇතුළත් වේ.  සෑම ස්ථානයක දී ම පැවති සම්මුඛ සාකච්ඡාවලදී අදහස් දැක්වූවන් සඳහන් කළ කරුණක් වූයේ ඔවුන් තම දෙමව්පියන් සහ ඔවුන්ට පෙර සිටි පරම්පරාවන් වතුකරයේ සොයා ගැනීමට අරගල කළේ යැයි පැවසූ ගෞරවාන්විත ජීවිතය සොයමින් සිටින බව ය.

මලෛයහ දෙමළ ජනයාගේ කතාවලට සහ අරගලවලට ලැබෙන ප්‍රතිචාර හුදෙක් අනුකම්පාව පමණක් නොවිය යුතුය. එම ප්‍රජාව මෙරටට පැමිණ වසර 200 ක් ගතවී ඇතත්, ඔවුන් තවමත් එසේ කොන් කරනු ලැබීමට මුහුණ දෙන්නේ මන්ද යන ප්‍රශ්නය මතු කළ යුතු ය. ඔවුන්ට අවස්ථා සහ ආරක්ෂාව වෙත ප්‍රවේශය ලබා දීම පිණිස ආර්ථික, සමාජීය සහ දේශපාලන ක්ෂේත්‍ර පුරා පැතිර පවතින පද්ධතිමය අසාධාරණය ආමන්ත්‍රණය කළ යුතුය.

මෙම ප්‍රජාව මෙලෙස කොන්කරනු ලැබීම මෙතරම් කාලයක් පුරා පැවතීමට ඉඩ සලසා දුන්, විවිධ ආකාරයේ බලතල දරන්නන් වගකිවයුත්තන් කිරීම අත්‍යාවශ්‍ය වේ. මෙම ජනතාවගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම නොසලකා හරිමින් දේශපාලන හා ආර්ථික අවශ්‍යතා මත මෙම තත්වය පවත්වාගෙන ගොස් ඇත. ඔවුන්ගේ පුරවැසිභාවය අස්ථාවර කරමින් ඔවුන්ගේ ඡන්ද අයිතිය අහිමි කළ ශ්‍රී ලංකා රජය මෙන්ම ඉන්දියානු රජය ද; ඔවුන්ට අන් ප්‍රජාවන්ට හා සමාන පහසුකම් ලබා නොදීම සම්බන්ධ වගකීම භාර නොගන්නා, ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා පරිපාලනය ද, ලාභ උදෙසා මෙම ප්‍රජාවගේ ශ්‍රමය සූරකන වාණිජ තේ ක්ෂේත්‍රයේ දැවැන්තයන් ද මෙම තත්වයට වගකිවයුත්තන් වේ.

මෙම තරුණ තරුණියන් සහ සමස්ත මලෛයහ දෙමළ ප්‍රජාව ම සියවස් ගණනාවක් පුරා පැවති අසාධාරණයන් හමුවේ තම අනාගතය නිර්වචනය කරන ආකාරය මෙම තරුණ තරුණියන්ගේ ගමන් මග මගින් පෙන්නුම් කරයි. අපි ඔවුන්ගේ තෝරාගැනීම් සහ ජයග්‍රහණ අගයකරන අතර ම, ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිගන්නා සහ ආරක්ෂා කරන පද්ධතිමය වෙනසක් වෙනුවෙන් පෙනී සිටිය යුතු ය.

(මෙම පර්යේෂණ ලියවිල්ල "නීතිය හා සමාජ භාරය" විසින් සකස් කරන ලද වාර්තා හා සාකච්ඡා කරන ලද්දකි. එය වසර 200ක් පැරණි මලෛයහ තරුණ තරුණියන්ගේ සිතුම් පැතුම් හා ඔවුන්ගේ අදහස් වලින් සමන්විත වාර්තාවකි. එය wedabima.lk වෙබ් අඩවියේ කොටස් වශයෙන් මෙසේ පළකරමු. ස්තුතිය - නීතිය හා සමාජ භාරයට" - ඡායාරූප : සෙල්වරාජා රාජසේගර්)

සැබැඳි පුවත්