සිහින සහ ගරුත්වය : මලෛයහ දෙමළ තරුණ තරුණියන් පිළිබඳ කතා - රැකියා අභිලාශයන් (පස්වන කොටස)
මලෛයහ දෙමළ තරුණ තරුණියන් ඔවුන්ට සොයාගත හැකි රැකියා ‘අනාගතයන්’ පුළුල් පරාසයක් පිළිබඳව සඳහන් කළහ. මේවා සෑම තැනකම තිබෙන රජයේ රැකියාවල සිට විදේශ රැකියා සහ පෞද්ගලික අංශය දක්වා විහිදී යයි. බොහෝ දෙනෙකුගේ ඉලක්කය වූයේ හොඳ වැටුපක් ලැබෙන රැකියාවක් ලබාගැනීම සහ ඔවුන්ගේ පවුල් නඩත්තු කිරීමට උපකාර කිරීම යි.
රජයේ රැකියා මලෛයහ දෙමළ තරුණ තරුණියන්ගේ ප්‍රධාන අපේක්ෂාවක් වූ අතර, එය දැඩි ලෙස සමාජීය වශයෙන් පිළිගැනීමක් සහිත රැකියා අංශය විය. ළමයින් වයසින් වැඩෙන විට ඔවුන්ගේ දෙමව්පියන් ඔවුන්ට පවසා ඇත්තේ රජයේ රැකියාවල ඇති රැකියා සුරක්ෂිතභාවය සහ ප්රතිලාභ නිසා ඔවුන් රජයේ රැකියාවක් ලබා ගත යුතු බව ය. ‘රජයේ රැකියාවක්’ ඔවුන්ට දිගුකාලීන ආරක්ෂාවක් සහ විශ්‍රාම ගැනීමෙන් පසු විශ්‍රාම වැටුපක් ලැබීම සහතික කළේය. එය ඔවුන්ගේ ම තේරීමක්ද, නැත හොත් පවුල කෙරෙහි ඇති වගකීමක් ලෙස ඔවුන් භාර ගන්නා දෙයක්ද යන්න සැමවිටම පැහැදිලි නැත.
මස්කෙළිය ප්‍රදේශයේ අදහස් දැක්වූවන් රජය රැකියා ලක්ෂයක් ලබා දෙන විට එයින් කිහිපයක් ඔවුන්ගේ වත්තේ අයට ද ලබා දුන් බව සඳහන් කළහ. එමගින් අන් අය තුළ තමන් ඉගෙන ගැනීමට අවශ්‍ය නැත යන මානසිකත්වය ගොඩනැගී තිබුණි. මෙතරම් පහසුවෙන් රැකියා ලබා දෙන්නේ නම් තමන් ප්‍රසිද්ධ විභාගවලට පෙනී සිටියේ මන්දැයි එම විභාගවලට පෙනී සිටියවුන් සිතූහ.
සිසුන් ගණනාවක් ම යුද හමුදාවේ, විශේෂ කාර්ය බලකායේ හෝ පොලීසියේ රැකියාවක් ලබා ගැනීම ‘රජයේ රැකියා’ අභිලාෂයේ ම දිගුවක් යැයි සඳහන් කිරීම නැවත නැවත සඳහන් කරන ලද අදහසක් විය. ඔවුන් සන්නද්ධ හමුදාවවල වීඩියෝ දර්ශන හෝ රූපවාහිනී විකාශන දැක ඇති අතර, එයින් නිරූපණය වූ දෙය මගින් ඔවුන් ද එම භූමිකාවන්හි කටයුතු කිරීම සලකා බැලීමට ඔවුන්ව පෙලඹවූයේය. කෙසේ වෙතත්, එම අංශයට සම්බන්ධ වීමට උත්සාහ කිරීමේදී මුහුණ දීමට සිදු වන, මෙම ප්‍රජාවට ම විශේෂිත වූ බාධාවන් පිළිබඳව බොහෝ දෙනෙක් සඳහන් කළහ. පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීම වැනි විශේෂයෙන් දුෂ්කර කාර්යයන් පිළිබඳව මහනුවරදී අදහස් දැක්වූවන් සඳහන් කළහ.
මම ගුරුවරියක් වෙන්න කැමතියි. එවිට මගේ පඩියෙන් සහ විශ්‍රාම වැටුපෙන් මට මගේ මවුපියන්ව ආරක්ෂාකාරීව රැකබලා ගන්න පුළුවන්. මට වතු ප්‍රදේශයේ ම රැකියාව ලැබුණෙත් මගේ සමාජයට සහ මගේ ප්‍රජාවට යමක් දිය හැකියි.
කුඩා කාලයේ සිට ම තමන්ට ගුරුවරියක් වීමට අවශ්‍යව තිබූ බවත්, ඇය එය ඇයගේ දෙමව්පියන්ට ද පවසා තිබූ සිහිනයක් බවත් මහනුවර ප්‍රදේශයේ දී අදහස් දැක්වූ තරුණියක් සඳහන් කළාය. දැන් ඇය විශ්වවිද්‍යාලයට ඇතුල්වීම හරහා එම මාවතේ ගමන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර, ඇය විභාගවලට හොඳින් පෙනී සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටියාය. ඇයගේ දෙමව්පියන් ද ඇයව ඒ සඳහා උනන්දු කරවමින් සිටියහ. බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී, ගුරුවරුන් වීමට අපේක්ෂාවෙන් සිටින අය විශේෂයෙන් ම කලා විෂයයන් ඉගැන්වීමට කැමැත්තක් දක්වයි.
ගුරුවරුන් වීමට කැමැත්තෙන් සිටි නමුත් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමට නොහැකි වූ මස්කෙළිය ප්‍රදේශයේ දී අදහස් දැක්වූවන් ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යාපීඨය වැනි විද්‍යාපීඨවලට ඇතුල්වී එම සහතිකය ලබා ගැනීම වැනි විකල්ප අවස්ථා දෙස බලමින් සිටියහ. ඇතැම් මලෛයහ දෙමළ තරුණ තරුණියන් විදේශ රැකියා ලබා ගැනීම කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කර සිටියහ. මැදපෙරදිග රටක වසර කිහිපයක් සේවය කර, හොඳින් මුදල් උපයාගෙන ආපසු පැමිණ තම පවුල් වලට උපකාර කිරීම ඔවුන්ගේ අපේක්ෂාව විය. මලෛයහ දෙමළ තරුණ තරුණියන් විකල්පයක් ලෙස විදේශ රැකියා සඳහා යාම බොහෝ විට ඔවුන්ගේ දෙමව්පියන්ගේ අත්දැකීම් අනුව ඔවුන්ට යෝග්‍ය දෙයක් ලෙස සලකන ලදී. එය වැදගත් ආදායම් මාර්ගයක් විය හැකි බව බොහෝ දෙනා දැන සිටිති. මහනුවර දී අදහස් දැක්වූ, තම දෙමව්පියන් මැදපෙරදිග සේවය කරන තරුණ තරුණියන් තමන්ගේ මව්පියන් එම රටවල කරන රැකියාව කෙබඳුදැයි තමන් සම්පූර්ණයෙන් ම දැන නොසිටින නමුත් එයින් තම පවුලට ප්‍රමාණවත් මුදලක් ලැබෙන බව තමන් දන්නේ යැයි පැවසූහ.
එම නිසා පවුලේ ආදායමට දායක වීම පිණිස ගල්ෆ් රටවල සේවය කරන තම පියා සමග එක්වීමට තමන් ද කැමති බව අදහස් දැක්වූ එක් අයෙක් පැවසූහ. තමන්ගේ දෙමව්පියන්ගෙන් බොහෝ දෙනෙක් මෙයට පෙර වතුවල සේවය කර ඇති නමුත් පසුව ඔවුන් බොහෝ දෙනෙක් විදේශ රටවල රැකියා අපේක්ෂා කළ බව බණ්ඩාරවෙල ප්‍රදේශයේදී අදහස් දැක්වූවන් පැවසූහ. ඔවුන්ගේ මව්වරුන් කිහිප දෙනෙක් ගල්ෆ් රටවල සහ මැද පෙරදිග රටවල ගෘහ සේවිකාවන් ලෙස සහ පවුල්වල රැකවරණය සලසන්නන් ලෙස රැකියාවලට ගොස් ඇත.
තම මව එලෙස එක් වරක් විදේශගත වී සේවය කර ආපසු පැමිණ නැවත එම රටට යාමට සැලසුම් කරමින් සිටි නමුත්, ඇය පිටත්ව යාමට පෙර බලධාරීන් ඇයට සිදුකරවූ වෛද්‍ය පරීක්ෂණයේ දී ඇයට ලබා දුන් එන්නතක් නිසා ඇය අංශභාග තත්ත්වයට පත්වූ බව එක් තරුණයෙක් පැවසුවේය. පවුලට ස්ථාවර ආදායමක් ලැබෙන බව සහතික කිරීම සඳහා ඇයගේ සහෝදරයා එම රැකියාවට ගියේය.
කෙසේ වෙතත්, විදේශ රැකියා ලබා ගැනීම සම්බන්ධ අවදානම් ද ඇති විය හැක. අවසානයේ එමගින් පවුල් මත එහි බර පැටවීම සිදුවියහැක. බොහෝවිට, පැහැදිලිව ම තම දරුවන්ගේ පාසල් අධ්‍යාපනය අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා උපකාර කිරීම පිණිස විදේශගත වන දෙමව්පියන්ගේ දරුවන් ඇතැම් විට පෙරටත් වඩා අඩුවෙන් පාසල් යාම සහ පාසලෙන් ගිලිහීම පවා සිදුවීමට ඉඩ තිබේ.
දැරණියගල ප්‍රදේශයේ දී එක් පුද්ගලයෙක් තමන් විදේශගතවීමේ ක්‍රියාවලියට උපකාර ලබා ගැනීම සඳහා සම්බන්ධ කරගත් ‘විදේශ රැකියා නියෝජිතායනයක්’ විසින් සිදුකරන ලද වංචාවකට ගොදුරු වූ බව විස්තර කළේ ය. ඔහු සැකසුම් කිරීමේ ගාස්තුවක් ලෙස රු. 75,000 ක් ගෙවා තිබූ අතර, ගුවන්ගත වීමට නියමිත යැයි පැවසූ දිනයේ ඔහු එම කාර්යාලය තිබූ ස්ථානයට ගිය විට එම ස්ථානයේ කාර්යාලයක් නොතිබූ බව සොයා ගත්තේය.
තවත් සමහර මලෛයහ දෙමළ තරුණ තරුණියන් පෞද්ගලික අංශයේ වෙනත් රැකියා සඳහා කැමැත්ත පළ කළහ. බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී අදහස් දැක්වූවන් කළමනාකරණ මට්ටමේ රැකියාවලට යාමට අපේක්ෂා කරන බව පැවසූ අතර, සේවාලාභීන්ට වීසා අයදුම්පත් සහ ගුවන් ප්‍රවේශපත් සපයා දීම වැනි සේවාවන් සපයමින් තමන්ගේ ම සංචාරක සමාගමක් ආරම්භ කිරීමට තමන් කැමති බව තවත් සිසුවෙක් පැවසුවේය.
මස්කෙළිය ප්‍රදේශයේ ද කිහිප දෙනෙක් ගිණුම්කරණය ඉගෙන ගනිමින් සිටියේ අවසානයේ බැංකු ක්ෂේත්රයේ රැකියාවට යාමේ අපේක්ෂාවෙනි. මහනුවරදී එක් තරුණියක් මාධ්‍ය ක්ෂේත්රයේ සේවය කිරීමේ තම සිහිනය සැබෑ කර ගැනීම සඳහා විශ්වවිද්යාලපයට යාමට අවශ්‍ය බව පැවසුවාය. ඇය යූටියුබ් නාලිකාවල ප්රවෘත්ති වීඩියෝ දැක ඇති අතර, මාධ්‍ය වේදිකාවකට සම්බන්ධවී ඇයගේ ගමේ ගැටලු මතුකර පෙන්වීමට ඇයට අවශ්‍ය විය. එම ගැටළු ඉස්මතු කර පෙන්වීම මගින්, අනාගත පරම්පරාව සඳහා යම් වෙනසක් සිදු කිරීමට හැකි වනු ඇතැයි ඇය බලාපොරොත්තු වූවාය.
බොහෝ තරුණ තරුණියන්ට, ඔවුන්ගේ අපේක්ෂාවන් හැඩගස්වා ගැනීමට ඔවුන්ගේ දෙමව්පියන්ගේ රැකියා තත්වයන් සෘජුව ම බලපෑවේය. සම්මුඛ සාකච්ඡාවලට භාජනය වූවන් තම දෙමව්පියන්ට වතුවලදී අත්විඳීමට සිදුවන වැඩකිරීමේ තත්වයන්හි ඉතිහාසය සහ රටාවන් පිළිබඳව කථා කළහ. බොහෝ දෙනෙක් පැවසූ පරිදි, ඔවුන්ගේ දෙමව්පියන් තවදුරටත් වතුවල රැකියා නොකරන අතර, තමන්ගේ ආච්චි සහ ආතා තම පවුලේ වතු ආශ්‍රීතව වැඩ කළ අවසාන පරම්පරාව වූ බව කිහිප දෙනෙක් සඳහන් කළහ. මේවා මන්දගාමීව, එහෙත් ස්ථාවර ලෙස තේ කර්මාන්තයෙන් ශ්‍රමිකයින් ඉවත්ව යාම පෙන්නුම් කරන ඇතැම් දර්ශක වේ. මෙම ලේඛනගත කිරීම සිදුකිරීමේ දී සම්මුඛ සාකච්ඡාවට භාජනය වූවන් තේ කර්මාන්තයෙන් ඉවත්ව යන පරම්පරාවක කොටසක් වන අතර, ඔවුන් එම ඉවත්වයාමේ රටාවේ ඉතා සීඝ්‍ර පහත වැටීමක් පෙන්නුම් කරයි.
දැරණියගල දී අදහස් දැක්වූ තරුණ තරුණියන්ගේ මව්පියන් තවමත් වතුවල විවිධ අංශයන්හි සේවය කරති. වගාවන් මාරු කර වතුයායේ රබර් සහ කුරුඳු වගා කිරීමෙන් පසුව වතුයායේ වැඩකරන එක් පුද්ගලයෙකුට ලැබෙන වැඩ ප්‍රමාණය අඩු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට ලැබෙන වැටුප ද අඩු විය. මේ හේතුව නිසා ඔවුන්ගේ දෙමව්පියන් ද දෛනික කුලී වැඩවල නිරත වන අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙක් රැකියා සඳහා විදේශගත වී ඇත. අලුත් පරම්පරාවල සියලු දෙනා ම වත්තෙන් පිටත රැකියා අවස්ථා සොයා යන නිසා වත්තේ රැකියාවලට සම්බන්ධ වූ අවසාන පරම්පරාව ඔවුන් ය.
දෙමව්පියන් නාගරික ප්‍රදේශවල හෝ විදේශ රැකියා වැනි නිවසින් පිටත රැකියාවක නිරත වන විට එය තරුණ තරුණියන්ට සෘජුව ම බලපායි. පවුලේ වැඩිහිටි සහෝදර සහෝදරියන් බොහෝ විට තම බාල සහෝදර සහෝදරියන්ගේ රැකබලා ගැනීමේ වගකීම භාරගත යුතු ය. ඇතැම්විට ඒ සඳහා ඔවුන්ගේ වයස්ගත ආච්චිලාගේ සහ සීයලාගේ උපකාරය ලැබේ.
(මෙම ලියවිල්ල "නීතිය හා සමාජ භාරය" විසින් සකස් කරන ලද වාර්තා හා සාකච්ඡා කරන ලද්දකි. එය වසර 200ක් පැරණි මලෛයහ තරුණ තරුණියන්ගේ සිතුම් පැතුම් හා ඔවුන්ගේ අදහස් වලින් සමන්විත වාර්තාවකි. එය wedabima.lk වෙබ් අඩවියේ කොටස් වශයෙන් මෙසේ පළකරමු. ස්තුතිය - නීතිය හා සමාජ භාරයට" - ඡායාරූප : සෙල්වරාජා රාජසේගර්)
(ලබන සතියේ - ප්‍රජා ගැටළු හා නිගමනය අවස්ථා - අවසන් කොටස)
සැබැඳි පුවත්
- සිහින සහ ගරුත්වය : මලෛයහ දෙමළ තරුණ තරුණියන් පිළිබඳ කතා - රැකියා (හතරවන කොටස)
- සිහින සහ ගරුත්වය : මලෛයහ දෙමළ තරුණ තරුණියන් පිළිබඳ කතා - විශ්වවිද්‍යාල අධ්‍යාපනය (තෙවන කොටස)
- සිහින සහ ගරුත්වය : මලෛයහ දෙමළ තරුණ තරුණියන් පිළිබඳ කතා - පාසල් අධ්‍යාපනය (දෙවන කොටස)
- සිහින සහ ගරුත්වය : මලෛයහ දෙමළ තරුණ තරුණියන් පිළිබඳ කතා - (පළමු කොටස)