ගුරු සේවයේ සමස්ථ පිරිහීම ගුරුවරියන්ගේ සාරියෙන් වැසීම

ගුරු සේවයේ සමස්ථ පිරිහීම ගුරුවරියන්ගේ සාරියෙන් වැසීම

ගුරුවරියන් සමහරක් ඔවුන්ට පහසු නමුත් සාමාන්‍ය වැදගත් ඇඳුමින් (සමහරුන්ගේ පහසුවට ඉංග්‍රීසියෙන් කියුවොත් casual but decent dress) පාසල් සේවයට ඊයේ පැමිණ තිබිණ. ඒ ප්‍රවෘත්තිය සමග ගුරු ගෞරවය වෙනුවෙන් සාරියේ වැදගත්කම ගැන කතා කරන, ගුරු වෘත්තියේ අවුරුදු 30ක් 35ක් සේවය කළේ යැයි කියන විශ්‍රාමිකයින් කිහිප දෙන FB පැමිණ තිබිණ.

ගුරුවරුන්ට කිසි කොන්දේසියක් නැති, ගුරුවරියන්ට පමණක් සාරිය කොන්දේසියක් කරන මේ විශ්‍රාමිකයින්ගේ තර්කය අනුව ළමුන් විනයක් ඇතිව ඉගෙන ගෙන හොඳ යහපත් පුරවැසියන් වන්න, උගත් වෘත්තිකයින් වන්න, ගුරුවරියන් ගුරු වෘත්තියට ගෞරවයක් වන සාරියෙන් පාසල් පැමිණිය යුතුය.

දූෂණ, වංචා, මිනී මැරීම්, කප්පං ගැනීම්, ස්ත්‍රී දූෂණ, ළමා අපරාධ, ලිංගික හිංසන සියල්ල අවුරුදු පතා වැඩි වූයේ, බන්ධනාගාර අලුතින් හදන්නට සිදුවන්නේ මෙවැනි සුචරිතවාදි මැටි මෝල් අඳ බාලයන් සාරි හැඳ පැමිණි ගුරුවරියන් සමග අවුරුදු 30ක් 35ක් ගුරු වෘත්තියේ ගෞරවය ආරක්ෂා කළ ආකාරය නිසා විය යුතුය.

පංතියේ ළමුන්ට "බල්ලා, යකෝ, වේසි" කියා බැණ වදින සාරි හැඳ පැමිණෙන සමහර ගුරුවරියන් ගැන මම අසා ඇත්තෙමි. ළමුන්ට අමානුෂික ලෙස දඬුවම් කරන සාරි හැඳ පාසල් පැමිණෙන ගුරුවරියන්ද විදුහල්පතිනියන්ද අඩු නැත. එවැනි කුරිරු ගුරුවරියන් නිසා පාසල් අතහැර ගිය දරුවන් ඇති බවද අමතක නොකළ යුතුය.

මෙතෙක් සාරිය අනිවාර්ය යැයි සම්මතයක් හදා ගත් ගුරු සේවය, පිරිහුණු අධ්‍යාපන ක්‍රමයේ අනවශ්‍ය සම්මතයක් සමගින් දෛනිකව පිරිහෙන ගුරු සේවයකි. ඒ බරපතල පිරිහීම සාරියෙන් වැසිය නොහැක.

එනිසා අද සිදුවිය යුත්තේ ගුරු සේවය අනවශ්‍ය සුචරිතවාදී තහංචි වලින් මුදවා වැදගත් දියුණු නිදහස් සේවයක් බවට පත්කර ගනිමින්, පාසල් අධ්‍යාපනය දියුණු කිරීම ගැන කතා කිරීම මිස, ගුරුවරියන්ට බලහත්කාරයෙන් සාරි ඇන්දවීම නොවේ.

කුසල් පෙරේරා

2022 නොවැම්බර් 22

සබැඳි පුවත්