සහයෝගීතා ආර්ථිකය මගින් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය දියුණු කිරීම - ලයනල් බෝපගේ

සහයෝගීතා ආර්ථිකය මගින් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය දියුණු කිරීම - ලයනල් බෝපගේ

(ජූඩ් පෙරේරා මහතා පිළිබඳ මතක සටහන්)

මට මුලින්ම ජූඩ් පෙරේරා මහතා මුණ ගැසුණේ 2007 වසරේ අග භාගයේ වික්ටෝරියා ප්‍රාන්තයේ පැවති ප්‍රජා සාකච්ඡාවක දී ය. මෙම රැස්වීම පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ දීර්ඝ සිවිල් යුද්ධය උත්සන්න ව පැවති කාල පරිච්ඡේදය මැද යි. ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයේ (La Trobe University) සංවාද කේන්ද්‍රයේ මහාචාර්ය ජෝ කැමිලේරි විසින් මෙම සාකච්ඡාව වසරක් පුරා පැවති ශ්‍රී ලංකා ප්‍රජා සංවාදයේ ආරම්භය සනිටුහන් කළේය.

හැත්තෑ එක් වසරක් දිවි ගෙවා මෑතක දී අභාවප්‍රාප්ත වූ ජූඩ් පෙරේරා මහතා යාපනය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ලබා තිබුණි. ඔහුගේ වෘත්තීයමය ගමන් මාවත ශ්‍රී ලංකාව, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව පුරා වෙළඳපළ පර්යේෂණ සහ තොරතුරු තාක්‍ෂණ භූමිකාවන් හරහා වැටී තිබුණේය. ශ්‍රී ලංකාවේ කටානේ සිට යාපනය දක්වාත්, පසුව නියු දූව, නවසීලන්තය සහ අවසානයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් දක්වාත් ඔහු කළ දිගු පුද්ගලික සහ දේශපාලන සංචාරයක් ගැන ඔහුගේ මතක සටහන් සඳහන් කලේය. පෞද්ගලික මෙන්ම දේශපාලන අවශ්‍යතාවයන් ඔහුගේ ගමන් බිමන් කෙරෙහි බල පෑවේය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ පාර්ලිමේන්තුවේ සේවය කළ මුල්ම ශ්‍රී ලංකාවේ උපත සහ ඉගෙනුම ලද සංක්‍රමණිකයා ලෙස පෙරේරා මහතා අසාමාන්‍ය සන්ධිස්ථාන වෙත ළඟා වූයේය. වික්ටෝරියාවේ බහු සංස්කෘතික ජන ප‍්‍රජාවන් වෙනුවෙන් නො සැලී ඔහු කල පෙනී සිටීම, ආදර්ශවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අඛණ්ඩ ලෙස වාර හතරක් තේරී පත් වීම කෙරෙහි මග පෑදීය. සෞඛ්‍ය හේතූන් මත 2018 දී ඔහුගේ විශ්‍රාම යාම යුගයක අවසානය සටහන් කළේය. වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලංකාවේ උපන් මන්ත්‍රීවරයා ලෙස වසර දහසයක් පුරා පැතිරෙන ඔහුගේ උරුමය සම කල නොහැකි ව පවතී. ක්‍රැන්බර්න් ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන් ඔහු ගෙවූ දේශපාලන ජීවිතය ගැන මා විස්තර නො සැපයුවත්, හෘදයාංගම ලෙස කරන ලද උපහාර ගණනාවක් මගින් ඔහුගේ ජීවිතයේ මෙම පැතිකඩ සැමරීමට ලක් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වාමාංශික භූමිකාව තුළ අප ගමන් ගත් දේශපාලන මාවත් එකිනෙකට දුරස්තර ව පිහිටි ඒවා විය. ශ්‍රී ලංකා මහජන පක්ෂය (SLMP) වෙත සිය පක්ෂපාතිත්වය වෙනස් කරන්නට පෙර ජූඩ් පෙරේරා මහතා දේශපාලනය ඇරඹූයේ ලංකා සමසමාජ පක්ෂය (ලසසප) සමඟිනි. ඊට වෙනස් ලෙස මා ගමන් කල මාවත වූයේ ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, පසුව ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ අවසානයේ 1984 පෙබරවාරි තෙක් ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) හරහා යි. අපේ පියවරුන් ගේ දේශපාලන බැඳීම් විසින් අපගේ අදහස් හැඩ ගස්වන ලදි.

අපගේ විශ්වාසයන්ට කේන්ද්‍රීය වූයේ එකමුතු සමාජයක් පෝෂණය කරන සාධාරණ, තිරසාර සහ ප්‍රායෝගික ආර්ථිකයක් පිළිබඳව පැවති දැක්මයි. ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ දී කල සිය සමු ගැනීමේ දේශනයේ දී පෙරේරා මහතා සේවක සමුපකාර ප්‍රවර්ධනය කරමින් අදහස් ඉදිරිපත් කලේය. 2015 දී, අපි සමුපකාර හරහා නිෂ්පාදනය හා බෙදා හැරීම පිළිබඳව වඩා සාධාරණ ආකෘති ගවේෂණය කිරීම සදහා හමු වූයෙමු. මා සතුව පොත පතේ දැනුමක් තිබූ අතර, ජූඩ් පෙරේරා මහතා ස්පාඤ්ඤයේ, ඉතාලියේ, චෙක් ජනරජයේ සහ එක්සත් රාජධානියේ සේවක සමුපකාර වෙත ගොස් ලබා ගන්නා ලද අත්දැකීම් අපගේ සාකච්ඡා හරවත් බවට පත් කළේය. මේ සමුපකාර ප්‍රමුඛත්වය ලබා දෙන්නේ සහයෝගීතාවය, ප්‍රජාතන්ත්‍රවාදී ව තීරණ ගැනීම (එක් සාමාජිකයෙකුට එක ඡන්දයක්) සහ කළමනාකරණය, ලාභ සහ හිමිකාරිත්වය ඒකාබද්ධ කරන සාකල්‍ය සංවර්ධනය වෙත යි. ඒවා ගෝලීය ආර්ථිකයේ විවිධ අංශ හරහා ප්‍රවර්ධනය වේ.

ශ්‍රී ලංකාවේ හුරු පුරුදු සමුපකාර වලින් වෙනස් වෙන සේවක සමුපකාර හුදු ලාභ ඉපයීම ඉක්මවා යමින් වඩා පුළුල් වටිනාකම් සහ ප්‍රතිපත්ති රාමුවක් තුළ ක්‍රියාත්මක වේ. චාමින්ද හෙට්ටිආරච්චි මහතා සමඟ එක්ව, ‘ශ්‍රී ලංකාවට නව යුගයක්’ නමැති ප්‍රතිපත්ති වේදිකාව (https://www.neweraforsrilanka.org/) මගින් අප දරන ලද ඒකාබද්ධ ප්‍රයත්නය අරමුණු කලේ ශ්‍රී ලංකාවේ සේවක සමුපකාර ආකෘති සදහා අනුබල දීම යි. කණගාටුදායක ලෙස, ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය මෙම විපරිණාමික දැක්ම මුළුමණින් වැලඳ ගත්තේ නැත.

සේවක සමුපකාර නියෝජනය කරන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වයේ ප්‍රබල මූර්තිමත් කිරීමකි. කෙසේ වෙතත්, ඒවා හුදකලාව නො පවතී. ජූඩ් පෙරේරා මහතා ත් මම ත් කිසි විටෙක වෙළඳ ව්‍යාපාර ක්‍රියාත්මක විය යුත්තේ සේවක සමුපකාර ආකෘතිය යටතේ පමණක් ය යන අදහස වෙනුවෙන් පෙනී සිටියේ නැත. ඒ වෙනුවට, අපි සේවකයන්ට හිමි සහ ඔවුන් විසින්ම පාලනය කරනු ලබන සමුපකාර, අන්‍යෝන්‍යාධාර ජාලා, සහ සමාජ සහ සහයෝගීතා ආර්ථික මූලාරම්භයන් ඇතුළු විවිධ වෙළඳ ආකෘති රාමුවක් ප්‍රවර්ධනය කළෙමු.

අපගේ දැක්ම කේන්ද්‍ර ගත වූයේ සන්දර්භය, පුද්ගලයන් සහ ඔවුන්ගේ සුවිශේෂ අවශ්‍යතා සහ ඉලක්ක වලට ගැළපෙන ලෙස සකස් කරන ලද වෙළඳ සැලසුම්වල නිශ්චිත ආකෘතියක් සහිතව අසල්වැසි මට්ටමින් ස්වයංමය ව සංවිධානය වීම මත යි. අතීතයේ නිමග්න ව සිටිනවාට වඩා අනාගතය පිළිබඳව ජූඩ් පෙරේරා මහතා දැක් වූ නො සැලෙන අවධානය ඔහුගේ දේශපාලන දැක්ම හැඩ ගස්වා ලූයේ ය. සමාන අදහස් සහිත සගයන් සමඟ පමණක් නොව වෙනස් මත දරන අය සමඟ ද සහයෝගයෙන් කටයුතු කිරීම දිරි ගන්වමින් ඔහු පෞද්ගලිකත්ව ගැටුම් ඉක්මවා ගිය පොදු දේශපාලන න්‍යාය පත්‍රයක් පිළිබඳව විශ්වාසය තැබීය. දේශපාලන “සතුරෙකු” විරුද්ධ පක්ෂයෙන් ම පැන නැගිය යුතු නොවන නමුත් එකම ශ්‍රේණින් තුළ එවන්නෙකු සිටිය හැකි බවට ඔහු කරන ලද සංක්ෂිප්ත නිරීක්‍ෂණය ඔහුගේ ප්‍රායෝගික ප්‍රවේශය පිළිබිඹු කරයි.

ජූඩ් පෙරේරා මහතාගේ උරුමයට ගරු කිරීම සඳහා, පුද්ගලයන් මෙන්ම සාමූහිකත්වයන් ලෙස සමුපකාරයන් වශයෙන් අපට කල හැකි දේවල් පිළිබඳව බරපතල ලෙස සලකා බැලිය යුතු වේ. සහයෝගිතා ආර්ථිකය තුළ මුල් බැස තිබෙන ආකෘතීන් වලට ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් පිහිටුවා ලන්නට සහ ශක්තිමත් කරන්නට අවශ්‍ය ගම්‍යතාව උත්පාදනය කළ හැකිය. එසේ කිරීමෙන්, අපි ප්‍රධාන ක්‍රම පද්ධතික අසමානතාවන් මග හරවා ලන සහ කලින් කලට පැන නඟින ගෝලීය අර්බුදවලට ඔරොත්තු දෙන සමාජයන් ඇති කරන්නට පවතින විභවයන් පිළිබඳව ගවේෂණය කරන්නෙමු.

දැන්, අපි සහයෝගීතා ආර්ථිකය පිළිබඳ සංකල්පය වෙත හැරෙමු:

සහයෝගීතා ආර්ථිකයේ අරමුණ වන්නේ පාරිසරික වශයෙන් තිරසාර, සමාජයීය වශයෙන් සාධාරණ සහ සංස්කෘතිකමය වශයෙන් විවිධත්වය පවත්වා ගන්නා අතරම මිනිසුන්ගේ අවශ්‍යතා සපුරා ලන ආර්ථික පද්ධතීන් නිර්මාණය කිරීම සහ ශක්තිමත් කිරීමයි. මෙම ජාත්‍යන්තරවාදී සංකල්පය මතු වන්නේ වාර්ගික ධනේශ්වර පරිසරයන් ඇතුළත නොනැසී පැවතීම සඳහා සහ තම අයිතීන් වෙනුවෙන් සටන් කරන අයගේ අරගලවලිනි (Akuno K 2017, Build and fight: The program and the strategy of cooperation; In Akuno K., Nangwaya A. (Eds.), Jackson rising: The struggle for economic democracy and Black self-determination in Jackson, 1–20). එය සමාජය සහ ආර්ථිකය අතර නව සම්බන්ධතාවයක් හඟවා ලයි.

සහයෝගීතා ආර්ථිකයේ ප්‍රධාන ශික්ෂාවන් වල පහත සදහන් දේ ඇතුළත් වෙයි:

  • තිරසාර සහ අන්තර්ග්‍රාහී සංවර්ධනය: සහයෝගිතා ආර්ථිකය තුළ පවතින වෙළඳ ආකෘති ප්‍රමුඛත්වය ලබා දෙන්නේ සාධාරණ සහ සමානාත්මවාදී ප්‍රතිඵලවලට යි. ඒ ආකෘති ඒවායේ සැළසුම් කේන්ද්‍රස්ථානය වශයෙන් සලකන්නේ සමාජ හා පාරිසරික ගැට‍ළු යි. උදාහරණ වශයෙන් සාධාරණ වෙළඳාම, කාබනික වෙළඳාම සහ වක්‍රාකාර ආර්ථික මූලාරම්භයන් ගත හැකිය. මෙම ආකෘති ලාභ නොලබන ආයතන, පුණ්‍යායතන, සමුපකාර, අන්‍යෝන්‍යාධාර ආයතන, පදනම් සහ සමාජ ව්‍යවසාය ඇතුළු විවිධ ආයතන ජාලයක් පුරා පැතිර යයි.
  • පීඩිතයන් සවි බල ගැන්වීම: අමර්ත්‍යා සෙන් ගේ (Sen, A K 1999, Development as freedom. New York: Oxford University Press) කෘතියෙන් ආශ්වාදය ලබා ගන්නා සහයෝගීතා ආර්ථිකය, කොන් කරන ලද පුද්ගලයන් අවස්ථාවන්ට ප්‍රවේශ වීමේදී ඔවුන්ට සීමාවන්ට මුහුණ දෙන්නට සිදු වන බව පිලි ගනියි. ඔවුන් කරන අරගලය ඔවුන්ගේ නිදහස සීමා කර ලමින් අභියෝග එල්ල කරන ක්‍රම පද්ධති හා සමග සම්බන්ධ වෙයි. හිතාමතාම එකට එකතු වී සාමූහික ප්‍රයත්නවල නියැලීමෙන් ඔවුහු ආර්ථික හා දේශපාලන පීඩනයට විරෝධය දක්වති.
  • ගෝලීය අර්බුද සහ විපරිණාමනය: මෑත කාලීන ගෝලීය අර්බුද විසින් සහයෝගීතා ආර්ථිකය ගැන දක්වන උනන්දුව උත්සන්න කර ඇත. අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා පවතින ආර්ථික ආකෘති පරිනාමණය කිරීම පිළිබඳව ප්‍රශ්න පැන නඟී. 2023 අප්‍රේල් මාසයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, අන්තර්ග්‍රාහී සහ තිරසාර ආර්ථිකයන් පෝෂණය කිරීමේදී සමාජ ආර්ථිකය ඉටු කරන තීරණාත්මක මෙහෙවර පිළිගත්තේ ය.
  • විවිධ ව්‍යාපාර: සමාජ ආර්ථිකය, හවුල් ආර්ථිකය, සහයෝගීතා ආර්ථිකය, ස්ථාවර රාජ්‍ය ආර්ථිකය සහ ප්‍රජා ආර්ථිකය වැනි වෙනස් නම් යටතේ විවිධ ව්‍යාපාර සහයෝගිතා ආර්ථිකය ප්‍රවර්ධනය කරති. ඔවුන්ගේ පොදු පරමාර්ථය වන්නේ පොසිල ඉන්ධන, සම්පත් නිස්සාරණය කිරීම සහ අසමාන ලෙස ධනය බෙදා හැරීම මත බොහෝ විට රඳා පවතින අධිපති ආර්ථික ක්‍රම පද්ධතියට අභියෝග කිරීමයි.

ධනවාදය සහ රාජ්‍ය සමාජවාදය යන දෙකේම අඩුපාඩු වලට ප්‍රතිචාර දක්වමින්, සහයෝගිතා ආර්ථිකය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ක්‍රමයක් දිශාවට තබන බිම් මට්ටමේ ප්‍රවේශයක් ලෙස ඉස්මතු වේ. හරය අතින් ගත් විට, සහයෝගීතා ආර්ථිකය මානව සම්බන්ධතාවලට ප්‍රමුඛත්වය දෙයි. එය සහයෝගීතාවය, සමූපකාරය, අන්‍යෝන්‍යාධාරය, සමානාත්මතාවය, සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය, තිරසරභාවය සහ බහුත්වවාදය යන මූලධර්ම මත රඳා පවතී. සහයෝගිතා ආර්ථිකයක තිබෙන පරමාදර්ශ වැලඳ ගැනීමෙන් තොරව, සැබෑ ක්‍රම පද්ධතික වෙනසක් කිරීම සාක්ෂාත් කර ගත නොහැකිව පවතිනු ඇත. මෙම මාවත නොසලකා හැරීම යල් පැන ගිය නව ලිබරල්වාදී සංකල්පවලට ඇලී ගැලී පවතින ප්‍රතිසංස්කරණය කරන ලද ධනේශ්වර ආර්ථිකයක් ස්ථිරසාර බවට පත් කිරීමේ අවදානමක් පවතී.

සැබෑ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයකට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිව සඵල විය නොහැකිය. විවේචනාත්මක ගවේෂණය කිරීමක් ඉල්ලා සිටිමින් අපගේ වත්මන් ප්‍රජාතන්ත්‍රවාදයන් අසම්පූර්ණ ඒවා ලෙස පවතී. ගෝලීය ආර්ථිකය සමාජයන් ඇතුළත මෙන්ම සමාජයන් හරහා ද ආදායම් විෂමතා උග්‍ර කරවා ලයි. බොහෝ විට ආර්ථික හා යුද්ධමය බලහත්කාරය තුලින් නව ලිබරල්වාදය කලාප සහ ජාතීන් තම කක්ෂයට බලයෙන් ඈඳා ගනියි. ගෝලීයකරණය වූ මෙම නව ලිබරල් ආර්ථිකය දෝලනය වෙමින් පවතින්නේ තුන් වන ලෝක යුද්ධයක අවතාරයත් න්‍යෂ්ටික ගැටුමක අශුභ ශක්‍යතාවයකුත් සහිතව, අපගේ ග්‍රහ ලෝකය තර්ජනයට ලක් කරන ව්‍යසනයක ඉසව්වේයි.

සහයෝගීතා ආර්ථිකයේ අත්‍යවශ්‍ය වැදගත් මුහුණතක් වන සේවක සමුපකාර, දේශපාලනයේ සහ ආර්ථික විද්‍යාවේ පවතින නව ලිබරල් ප්‍රවණතාවලට එරෙහිව ප්‍රබල විෂ නාශකයක් ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකාව ද ඇතුළුව බොහෝ රටවල් මුහුණ දී තිබෙන අර්බුදයන් මධ්‍යයේ, නව ලිබරල්වාදය යටතේ වසන මිලියන ගණනක් ජනයා තම ජීවිත ගැන අතෘප්තියෙන් පසු වෙති. පාලන ක්‍රම පද්ධති විසින් කොන් කරන ලද ඔවුහු සමාජ, ආර්ථික සහ දේශපාලන බැහැර කිරීමත් සමඟ පොර බදති. තිරසාර ව පවත්වා ගත නොහැකි "සංවර්ධනය" වෙනස් නොවන උපද්‍රවයක් ලෙස පවතී.

සේවක සමුපකාර නියෝජනය කරන්නේ ඒවායේ සේවකයන්ගේ සාමූහික අයිතියට නතු සහ ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කළමනාකරණය කරන වෙළඳ සමාගම් ය. මෙම සමුපකාර විවිධ ආර්ථික අංශ තුල ලොව පුරා ක්‍රියාත්මක වේ. අර්බුද විසඳා ලීම සහ සේවා කොන්දේසි වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කරන ලදුව, ඒවා අඩු ධූරාවලිවලින් සමන්විත, සහභාගිත්වවාදී ආයතනික ව්‍යුහයන් වැළඳ ගනී. අන්තර් සම්බන්ධිත ආර්ථික, සමාජයීය, දේශපාලනික සහ පාරිසරික අර්බුද පවතින අප යුගයේ, සේවක සමුපකාර අධික අදාළත්වයක් සහ බලවත් අවශ්‍යතාවයක් අත් කර ගනී.

සේවක සමුපකාර සඳහා මූලික වන්නේ සාමූහික හිමිකාරිත්වයත් සහභාගීත්ව වාදී ලෙස තීරණ ගැනීමත් ය. ලොව විශාලතම සේවක සමුපකාරය වන ස්පාඤ්ඤයේ මොන්ඩ්‍රැගන් සමායතනය මෑත කාලීන ගෝලීය මූල්‍ය අර්බුදය සමයේත්, ඉන් පසුවත් සාර්ථක අන්දමින් ක්‍රියාත්මක විය. එහි කඩිසර බවත් ඔරොත්තු දීමේ හැකියාවත් හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී නොවන හිමිකාරිත්වය සහ පාලන ආකෘතීන් නිසා පීඩාවට පත්ව සිටින සාම්ප්‍රදායික සමාගම්වලින් එය හාත්පසින් ම වෙනස් වූයේය.

සමුපකාරයන් ලෙස කළමනාකරණය කරන ආයතන තීරණාත්මක අවස්ථාවල දී ජනතාව සහ ග්‍රහලෝකය රැක ගන්නවා පමණක් නොව ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයේ සදාචාරාත්මක හරය ද නිරූපණය කරයි. සේවක සමුපකාරවලට විපරිණාමික මෙන්ම, විප්ලවවාදී මාවත් වුවද දල්වා ලිය හැකිය. මෙම ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික සංවිධාන පෝෂණය කිරීම මානව වර්ගයාගේ දිගු කාලීන පැවැත්ම සඳහා වඩ වඩාත් වැදගත් බවට පත් වෙයි.

සේවක සමුපකාර තනි තනි කම්කරුවන් වෙනුවෙන් පමණක් නොව ඔවුන්ගේ ප‍්‍රජාවන් වෙනුවෙන් ද විපරිණාමීය ශක්තියක් උසුලා සිටියි. මෙම නවෝත්පාදන ව්‍යවසායයෝ වඩාත් සාධාරණ ශ්‍රම-කළමනාකරණ සම්බන්ධතාවයන් පෝෂණය කරති. කම්කරුවෝ ගෞරවයෙන්, ඔරොත්තු දීමේ හැකියාවෙන් සහ සහයෝගිතාවයේ හැඟීමෙන් යුක්තව තම කටයුතු වල නිරත වෙති. ඔවුන් වෙන් කර දක්වනු ලබන්නේ ඔවුන් ඉටු කරන බහුවිධ භූමිකාව, එනම්, සේවක සමුපකාරයක් තුළ, පුද්ගලයන් එක්වරම අයිතිකරුවන් ද, කම්කරුවන් ද, අනුග්‍රාහකයන් ද, ප්‍රජා සාමාජිකයින් ද ලෙස කටයුතු කිරීම විසිනු යි. මෙම ගතික පරිසරය විසින් සවිමත් අභ්‍යන්තර හා බාහිර සම්බන්ධතා වර්ධනය කරනු ලබයි.

අනාගතය සඳහා සැලැස්මක් ඉදිරිපත් කරමින් සේවක සමුපකාර ආසන්නව පවතින අවශ්‍යතාවලින් ඔබ්බට පැතිර පවතියි. ඒවා අන්තර්ග්‍රාහී, සමානාත්මතාවාදී සහ පාරිසරික වශයෙන් තිරසාර දැක්මක් මූර්තිමත් කරයි. සමූපකාරය සහ සහයෝගීතාවය වෙත ප්‍රමුඛත්වය දීම මගින් ඒවා පවතින අර්බුදවලින් ගහන තත්ත්වයට අභියෝග කරති. අපගේ සාමූහික ප්‍රයත්න මගින් පවතින නව ලිබරල් ක්‍රමය රැඩිකල් ලෙස පරිවර්තනය කළ හැකි විකල්ප ආර්ථික ආකෘතීන් බිහි කරමින් බිම් මට්ටමේ ව්‍යාපාර දල්වා ලිය යුතුය. යලි-ස්ථානගත කරන ලද සැපයුම් දාම සහ ප්‍රජා කේන්ද්‍රීය ආර්ථික යටිතල පහසුකම් මත දිගු කාලීන දේශගුණික තත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව රඳා පවතින බව පිළි ගනිමින්, අප සමාජයට කෙතරම් බරක් පටවා හෝ ලාභ උපරිම කරණය කිරීමෙන් ඉවතට යා යුතුය.

ජූඩ් පෙරේරා මහතා සිහි කිරීම් වස් අපි “වෙනස” ප්‍රවර්ධනය කරමු. අපගේ ආර්ථික භූමි තලය දිරිමත් කරන්න, ඒ වෙනුවෙන් පෙනී සිටින්න, ක්‍රියාකාරී ලෙස පරිණාමනය කරන්න. එකට එක්ව, අපට මනුෂ්‍යත්වයට සහ පරිසරයට ගෞරව කරන සමාජයක් - වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී, සහභාගීත්ව වාදී, පාරිසරික වශයෙන් දැනුවත් සහ සාධාරණ සමාජයක් ගොඩනැගිය හැකිය.

Lionel Bopage 1

| ලයනල් බෝපගේ

2024 ජූලි 31 වන දා