ගෝලීය උණුසුම ඉහළ යාමේ ‘බිහිසුණු බව කියන‘ ඡායාරූප සාක්ෂිය

ගෝලීය උණුසුම ඉහළ යාමේ ‘බිහිසුණු බව කියන‘ ඡායාරූප සාක්ෂිය

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා ග්ලැසියර දියවන වේගය ඉස්මතු කරන ‘විශ්වාසනීය‘ ඡායාරූප දෙකක් සංචාරකයෙකු හරියටම වසර 15කට ආසන්න කාලයකට පසු X හි පළ කර ඇත. මෙම ඡායාරූප ද්විත්වය ලබාගෙන ඇත්තේ ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකරයේ එක ම ස්ථානයකදී ය.

බ්‍රිස්ටල් හි මෘදුකාංග සංවර්ධකයෙකු වන ඩන්කන් පෝටර් / Duncan Porter 2009 අගෝස්තු සහ 2024 අගෝස්තු මාසවලදී රෝන් ග්ලැසියරයේ / Rhone glacier එකම ස්ථානයේ ගත් ඡායාරූප X හි පළ කළේය. පෝටර් විසින් 2024 දී ගනු ලැබූ ඡායාරූපයේ පසුබිමේ ඇති සුදු ග්ලැසියර දියවී ගොස් ඇති අතර  අළු පැහැති පාෂාණ මතු වී ඇත.  2009 දී ග්ලැසිරයේම  දිගුවක් වූ ග්ලැසියරයේ පතුලේ විශාල විලක් නිර්මාණය වී ඇත.

සමාජ මාධ්‍ය වේදිකාවේ (X හි) වෛරස් වූ මෙම ඡායාරූපයට අදාළ සටහනෙහි පෝටර් පැවසුවේ “ඡායාරූප බොරු නොකියයි. එය මාව අඬන්නට සමත් වුණා“

පෝටර් සහ ඔහුගේ බිරිඳ මුල් ඡායාරූපය ගෙන ඇත්තේ ““Wes Anderson-style” නම් හෝටලයක පසුබිම් දර්ශනයකිනි. ඔවුන් මෙම ඡායාරූපය මුද්‍රණය කර රාමුකර ඔවුන්ගේ මුළුතැන්ගෙයෙහි එල්ලා තිබේ. 2024 දී නැවත කඳුකරයට ගොස් ඔවුන්ගේ යොවුන් වියේ දියණියන් වන Maisie සහ Emily ට ග්ලැසියරය දැකීමට ඉඩ ලබාදීම ඔවුන්ගේ අපේක්ෂාව විය. ඒ අනුව ඔවුන් යුරෝපය පුරා සංචාරය කරමින් 2009 දී ගත් ඡායාරූප යළි ප්‍රතිනිර්මාණය කිරීමට පියවර ගත්තේය.

“නමුත් පැහැදිලිවම මෙම ඡායාරූපයේ තත්වය බෙහෙවින් වෙනස් එකක් වුණා” පෝටර් පැවසීය.

හෙලන් පෝටර්, මෙසේ පැවසුවාය: “මම හිතුවේ ඒක ඇත්තටම විශ්වාස කරන්න බැරි දෙයක් කියලා.”

ෆොසිල ඉන්ධන දහනය කිරීමෙන් හා ස්වභාවධර්මය විනාශ කිරීමෙන් නිකුත් වන කාබන් දූෂණය පූර්ව කාර්මික යුගයේ සිට ලෝකය සෙල්සියස් අංශක 1.3කින් රත් කර ඇත. ගෝලීය සාමාන්‍යයට වඩා දෙගුණයක් වේගයෙන් උණුසුම් වී ඇති යුරෝපයේ, උණුසුම් ගිම්හානය කඳුකර ප්‍රදේශවල මිනිසුන්ට ඔවුන්ගේ ඇස් ඉදිරිපිට සෙමෙන් චලනය වන ග්ලැසියර දිය වී යනු දැකීමට බල කර ඇත.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව 2000 සිට ස්විට්සර්ලන්තයට එහි ග්ලැසියර පරිමාවෙන් තුනෙන් එකක් අහිමි වී ඇති අතර පසුගිය වසර දෙක තුළ පමණක් 10% ක් අතුරුදහන් වී ඇත.

| ‘එය මාව ඇඬෙව්වා’: වසර 15 ක පරතරයකින් ගත් ඡායාරූප ස්විට්සර්ලන්ත ග්ලැසියර දියවන ආකාරය පෙන්නුම් කරයි

එංගලන්තයේ නිරිතදිග ප්‍රදේශයේ දේශගුණික ක්‍රියාකාරී කණ්ඩායමක කමිටුවක සාමාජිකයෙකු වන පෝටර් පැවසුවේ “බොහෝ මිනිසුන් එවැනි දෙයක් දුටු විට ඔවුන් අසරණ වන බවක් දැනෙනවා. නමුත් මගේ අත්දැකීම් අනුව ඔවුන්ට කළ හැකි විශාල කාර්යභාරයක් තිබෙනවා“

තමාට “දේශනා කිරීමට අවශ්‍ය නැති” නමුත් සාමාන්‍ය මිනිසුන්ට දේශගුණික ක්‍රියාකාරකම්වලට සම්බන්ධ විය හැකි “පුදුමාකාර” ක්‍රමයක් ලෙස පෙන්වා දුන් ඔහු ඡන්දය ප්‍රකාශ කරන ආකාරය සහ සාප්පු යන ආකාරය හරහා පද්ධතිමය වෙනසක් සඳහා ඔවුන්ව කරයි.

දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (Intergovernmental Panel on Climate Change – IPCC) පවසන්නේ සියලු ග්ලැසියර ඉදිරි සියවස් වලදී (මධ්‍යම යුරෝපය, කොකේසස්, බටහිර කැනඩාව සහ එක්සත් ජනපදය, උතුරු ආසියාව, ස්කැන්ඩිනේවියාව සහ නවසීලන්තය.) අතුරුදහන් වනු ඇති බවයි.

රෝන් ග්ලැසියරය ස්විට්සර්ලන්තයේ අනෙක් සමහරකට වඩා හොඳින් ආරක්ෂා වී ඇති නමුත් දශක එකහමාරක කාලය තුළ හතරෙන් එකකින් පමණ හැකිලී ඇත.

නව යොවුන් වියේදී රෝන් ග්ලැසියරය නැරඹීමට ගිය ස්විට්සර්ලන්ත දේශගුණ විද්‍යාඥවරියක සහ IPCC වාර්තාවක සම කර්තෘවරියක වන සෝනියා සෙනෙවිරත්න පැවසුවේ “එය ඉතා ආකර්ෂණීය ග්ලැසියරයක්. එම පින්තූර දැකීම ඉතා කණගාටුදායකයි. මන්ද වෙනස්කම් කෙතරම් විශාල වී ඇත්දැයි ඔබ දකින නිසයි.”

මිලියන තුනක් පමණ නරඹා ඇති පෝටර්ගේ මෙම ඡායාරූපය වෙත X හි පරිශීලකයන් භීතියෙන් හා හද කම්පාවෙන් ප්‍රතිචාර දැක්වූ අතර, එය යුවළගේ වේදනාව ප්‍රතිරාවය කළේය. නමුත් X හි දේශගුණික විපර්යාස ප්‍රතික්ෂේප කරන ගිණුම් වලින් ඍණාත්මක ප්‍රතිචාර පළ විය. ඒවායින් බොහොමයක් අපවාදාත්මක සහ ස්ථාපිත දේශගුණ විද්‍යාව වැරදි ලෙස නිරූපණය කරන බවට කළ චෝදනා විය.

පෝටර් පැවසුවේ ග්ලැසියර අඩු වී වර්ධනය වන බව තමා දන්නා බවයි.

“මේ දේවල් ඇත්ත වශයෙන්ම දිගු කාලයක් තුළ සිදු විය යුතු යි. මිනිසුන් අවධානය යොමු කළ යුත්තේ වෙනස් වීමේ වේගය වෙතයි” ඔහු වැඩි දුරටත් පැවසුවේය.

මූලාශ්‍රය -https://www.theguardian.com

පරිවර්තනය – මධූ වික්‍රමසිංහ