මුහම්මද් නබි තුමාණන්ගේ උපත සිහි කරමින් ගොඩ නැගී ඇති කන්දූරි සංස්කෘතිය

මුහම්මද් නබි තුමාණන්ගේ උපත සිහි කරමින් ගොඩ නැගී ඇති කන්දූරි සංස්කෘතිය

ඈත පිටිසර අරාබි අර්ධ ද්වීපයේ පිහිටි මක්කා නුවර අඳුර රජ කළ යුගයක අයුක්තිය රජ කරමින් මතින් මත් වී දූ කෙලියේ යෙදෙමින්, දුරාචාරයෙන් සහ පොලිය මුල් කර ගත් ආර්ථික රටාවක ජීවිකාව ගෙන ගිය, වෛරය මුසු ගොත්‍රයන් අතර වූ දරුණු ගැටුම් උත්සන්න වෙමින් තිබූ අවධියක  තවත් එක් දිනයක් එලෙස උදා විය. නමින් 'මුහම්මද්' වූ ඔහු අඳුරෙන් ආලෝකය කරා මුළු ලෝකයම පරිවර්තනය කරනු වස් ආනාගතය සඳහා වූ එකම ගැලවුම්කරුවකු සේ අබ්දුල්ලා සහ ආමිනා යන දෙදෙනාට දාව මක්කා නුවරදී උපත ලැබුවේය.

කුරෛෂ් නම් අරාබි ගෝත්‍රයට උරුමකම් කියමින් මෙලොව එළිය දුටු ඒ උතුම් පුත්‍ර රත්නය උපදින විටම පියාණන් අහිමි දරුවකු සේ සිය මව වූ ආමිනාගේ තුරුලේ උණුසුම අතර තනි වෙමින් ඔහු උපත ලද වහාම සිය කුළුඳුල් දරුවා කිරිදී පෝෂණය කරනු පිණිස ගම්බද කිරි මවක් වූ හලීමා නම් වූ කාන්තාව වෙත යැවීය. ඒ එවක පැවති නගරබද ධනවතුන්ගේ දරුවන් කුඩා අවධියේ ගම්බද ආශ්‍රිතව හැදී වැඩීමට සැලසෙන චාරිත්‍රයකට අනුවයි. නමුත් එසේ හැදී වැඩුන මුහම්මද් සිය හයවන විය පසු කරන අතරතුරදී තම එකම ආදරය ද ඔහුව හැර දමා නික්ම යමින් ආමිනා නම් වූ ඔහුගේ මවගේ වියෝව සිදු විය. පසුව සිය මුත්තනුවන් වූ අබ්දුල් මුත්තලිබ්ගේ භාරකාරත්වය යටතේ හැදී වැඩුන ඔහු කුඩා කල සිටම සිය මුහම්මද් යන නාමයේ පරිසමාප්තාර්ථයෙන් ම කරුණාවන්ත යහපත් ගති ගුණයන්ගෙන් සමන්විත දරුවකු ලෙහ උස් මහත් විය.

කුඩා වියේ පටන් බොරුව සහ වංචාව යන දුර්ගුණයන්ගෙන් තොර වූ මුහම්මද්ගේ මහඟු ගති ගුණ වලට ගරු කළ වැසියන් ඔහු 'අල්-අමීන්' හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන් හැඳිනවීය. සිය දෙමාපියන්ගේ අභාවයත් සමගම කුඩා කල සිට අනාථයෙකු වූ ඔහු නිසි අධ්‍යාපනයක් නොලද හෙයින් ඔහුට ලිවීමටත් කියවීමත් නොහැකි විය. කුඩා වියේ පටන් එළුවන් ඇති කරමින් එඬේර දිවියක් ගෙවූ ඔහු තරුණ වියේදී සිය මහප්පා වූ අබූ තාලිබ් සමගින් සිරියාවේ වෙළහෙලඳාමේ යෙදී ඇත. ඔහු වෙළඳාමේ දී දැක්වූ සාධාරණත්වය සහ දක්ෂතාවය අගය කළ වැන්දඹු කාන්තාවක් වූ හතලිස් වන වියේ පසුවූ කදිජා නම් ධනවත් කාන්තාව විසිපස් වන වියේ පසු වූ ඔහුව විවාහ කර ගැනුමට කැමැත්ත පළ කල අතරම එකී විවාහයෙන් ඔහුට ඈ දාව එක් පිරිමි දරුවෙකුත් ගැහැණු දරුවන් සිව් දෙනෙකුගේත් පියෙකු වීමට හැකි විය. නමුදු මෙකී පිරිමි දරුවා කුඩා අවධියේදීම මෙලොව හැර ගියේය.

එවක පැවති මිථ්‍යාදෘෂ්ටික මෙන්ම අවිධිමත් යැදුම් ක්‍රම සහ බිලී පූජා පිළිබඳ නොපැහැදුණු ඔහු ඒ පිළිබඳ කණස්සල්ලෙන් යුතුව ක්‍රි ව 610 දී පමණ 'හිරා' නම් ගුහාවක භාවනායෝගීව කාලය ගත කලහ. දිනක් එහිදී ජිබ්‍රීල් නම් දෙවිඳුන්ගේ සුරදූතයා පැමිණ අල්ලාහ් හෙවත් සර්ව බලධාරී දෙවියන්ගේ දූතයෙකු ලෙස තමන් පත් කල පණිවිඩය දැනුම් දීමත් එතැන් පටන් ඔහුට ශුද්ධ වූ අල් කුර්ආනයෙහි පහල වීමත් සිදු විය. එලෙස ඔහුගේ දිවියේ විශේෂතම අවධිය උදා විය. එවක පටන් නායක මුහම්මද් තුමාණන් නබීත්වයේ වගකීම භාරගෙන කටයුතු කල අතරම මුල් කාලයේ තමාට ලද නව දහම පිළිබඳ හෙළිදරව්ව ප්‍රසිද්ධ නොකර තම සමීපතමයන් හට පමණක් හෙලිදරව් කලහ.

ඒ අනුව පළමුව ඉස්ලාම් දහම වැළඳ ගැනීම සඳහා කාන්තාවක ඉදිරිපත් විය. ඈ නම් ඔහුගේ ආදරණීය බිරිඳ කදීජා විය. ඒ අතරම ඔහුගේ කල්‍යාණ මිත්‍රයකු වූ අබූ-බක්කර් තුමාණන් ද තවත් අනුගාමිකයන් කිහිප දෙනෙකු එක්රැස් කර ගනිමින් කුඩා කණ්ඩායමක් සකස් කර ගැනීමට ඔහු සමත් විය. නමුත් එහි විසූ බොහෝ ජනයා පිලිම වන්දනාවේ නිරත වීමත් නායක මුහම්මද් තුමාණන් පිලිම වන්දනාව ප්‍රතික්ෂේප කිරීමත් නිසා බොහොමයක් දෙනා ඔහුව ප්‍රතික්ෂේප කලහ. තවද ඒ හේතුවෙන් ඔහුට විශාල තාඩන පීඩන එල්ල විය. ඔහුගේ මුලු පවුලටම සම්බාධක පනවා මිටියාවතක හුදකලා කලහ. ගෝත්‍රික නායකයන්ගේ විරෝධය දිනෙන් දින දැඩි විය. නමුත් ඔහු සහ ඔහුගේ අනුගාමිකයන්ගේ සිත් සතන් තුළ දෙවියන් පිළිබඳ විශ්වාසයේ අඩුවක් නම් නොවීය. දිනෙන් දින එය ඉහල ගිය අතර එහි කිසිදු අඩුවක් නොවීය. ඒත් සමගම ඔහු වටා එක් රැස් වන පිරිස දිනෙන් දින වැඩි විය. එය කුරෙයිෂි වරුන්ට ඉවසුම් නැති විය.

දිනෙන් දින ඉහළ යන තාඩන පීඩන හමුවේ මුහම්මද් සහ ඔහුගේ අනුගාමිකයින් මක්කා නුවර සිට මදීනා නගරය කරා සම්ප්‍රාප්ත විය. එහි විසූ ජනයා ඔහුව හරසරින් පිළිගනු ලැබූ අතර සියලු දෙනා ඉස්ලාම් දහම වැලඳගත් අතරම ඔහුව නායකත්වයේ ද පිහිටුවීය. මෙතැන් පටන් ඉස්ලාමීය ජනරජයක් නිර්මාණය විය. දිනෙන් දින විශාල ගෝත්‍ර නියෝජනය කල ජනයා ඔහු වටා අත්වැල් බැඳ ගැනීම නිසා ඔහුගේ අනුගාමිකයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ ගියහ.

මෙයට නොරිසි වූ මක්කා නුවර පාලනය කළ කුරෙයිෂි වරුන් නායක මුහම්මද් තුමාණන් සහ ඔහුගේ පිරිස සමග විටින් විට ගැටුන අතර එහිදී විශාල යුධමය ජයග්‍රහණයන් මුස්ලිම්වරුන් අත්කර ගත්හ. ඒ අතර දිනක හුදෙයිබියා නම් ස්ථානයේ කුරෙයිෂි වරුන් එක්ව නායක මුහම්මද් තුමාණන් සමග ගිවිසුමකට එලඹීය. එනම් මක්කම වන්දනා කිරීමට ඔවුනට අවසර දීමත් සටන් විරාමයකට මුලපිරීමක් සම්බන්ධවය. නමුදු ගිවිසුමට එළඹි කුරෙයිෂි වරුන්ම එකී ගිවිසුම කඩ කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රි ව 630 දී මදීනා ඉස්ලාමීය ජනරජයේ විසූ මුස්ලිම් හමුදාව මක්කා නුවර වටලමින් එහි වූ ජනයාට හානියක් නොකර එහි පාලනය සියතට ගෙන යටත් කර ගත්හ. නායක මුහම්මද් තුමාණන් තමාට විරුද්ධ වූ බොහෝ දෙනෙකුට සමාව දුන් අතරම කුරෙයිෂි නායකයින් බොහෝ දෙනෙකුට ද පොදු සමාව ලබා දුන්නේය. මක්කා ජයග්‍රහණයන් පසු එහි විසූ බොහෝ ජනයා ඉස්ලාම් ආගමට වැලඳගත් අතර මුහම්මද් සහ පිරිස ශුද්ධ ක:බා දේවස්ථානය එවක ඉබ්‍රාහිම් නබිතුමාගේ අවධියේ තිබූ ඒක දේවවාදය රජ කල ශුද්ධ භූමියක් සේම නැවතත් එය පිලිසකර කළහ.

මක්කා නුවර ජයග්‍රහණයෙන් අනතුරුව මුස්ලිම්වරුන් පිරිවරා ගත් නායක මුහම්මද් තුමාණන් සිය පළමු හජ් වන්දනාව එහි ඉටු කලහ. එහිදී ඔහු අරෆත් නම් කඳුවැටිය මතට නැග සිය අවසන් දේශනය පැවැත්වීය. සියල්ල නිම කර නැවතත් සිය බිරිඳගේ නිවස පිහිටි මදීනා නුවරට සැපත් වූ ඔහු දින කිහිපයකින් දැඩි සේ රෝගාතුරව කල් ගෙවූ අතරම සිය 62 වියේදී මෙලොව හැර ගියේය. එය ඔහුගේ සදාදරණීය අනුගාමිකයන් හට නම් දරාගත නොහැකි තරම් ශෝකයක් ගෙන දුන්හ. පසුව මදීනාහි ඔහු විසින් ඉදිකල මස්ජිදුන් නබවි නම් මස්ජිදයේම ඔහුගේ දේහය මිහිදන් කළහ.

පිපෙනා කිලිටි මඩ වගුරක

කුසුමකි සය පෙති නෙළුම

උනුන් තවරා නොගති මඩ

පිපෙති එය දැඩි ආයාසයක

දීන වූ සමයක ද

ඉපදුන ගැලවුම්කරුවෙකුය

දෙලොවටම උනි ආලෝකය

විහිදුවති දහම් රාවය

පසුපසම යමින් ඔහු මග

මිනිසා ලබති විමුක්තිය

ලෝකයේ පැවතුමට

දෙසුමන් ඔහු ඉවහල් විය

මුහම්මද් නබි තුමාණන්ගේ උපත පිළිබඳ අවිශද මාරුත අතරින් ක්ෂේමයන් සොයා කාව්‍ය සංග්‍රහයේ සඳහන් කවියක් ඇසුරින්..

මේ ආකාරයට තුමාණන්ගේ උපත සිහි කෙරුමට බෞද්ධ සංස්කෘතියේ එන වෙසක් සැමරුම හා සමානව මුස්ලිම් සංස්කෘතියේ මිලාද් උන් නබි හෙවත් මුහම්මද් නබි තුමාණන්ගේ උපත සිහි කරන සංස්කෘතියක් පසුකාලීනව පැවත එයි.

'මව්ලීද් අන් නබී' ලෙසින් හඳුන්වන මුහම්මද් නබිතුමාගේ උපත ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබි උල් අව්වල් මාසයේ සිදු වූ බව විශ්වාස කෙරේ. මෙම සංස්කෘතික සැමරුම මගින් සනිටුහන් වන්නේ යාඥාවන්, අල් කුර්ආනය සහ 'දික්ර් මජ්ලිස්' පාරායනය කිරීම සහ මුහම්මද් නබි තුමාණන්ගේ ජීවිතය සහ ඉගැන්වීම් දේශනයන් ආශ්‍රිතව ස්මරණය කිරීමයි. මේ හා සමානව, වෙසක් උත්සවය යනු බුදු රජාණන්වහන්සේගේ උපත, බුද්ධත්වය සහ අපවත්වීම ස්මරණය කිරීම වන අතර එහිදී විශේෂ අවධානය පින්කම් සඳහා යොමු වීම ආප කාටත් හුරු පුරුදු සංස්කෘතියකි.

මීලාද් උන් නබි සහ වෙසක් යන උත්සව දෙකම ඉස්ලාම් සහ බෞද්ධ ආගම්වල ඒ ඒ අනුගාමිකයන් අතර සහෝදරත්වය, බෙදාගැනීම සහ දන් දීම යන සංකල්ප වටා සිදු වී ඇති බව මෙහිදී නිරීක්ෂණය වේ.

මෙම උත්සවයන් දෙකටම සමාන තවත් එක් අංගයක් වන්නේ, මුස්ලිම්වරුන්ගේ 'කන්දූරි' දානයයි. එය බෞද්ධ ප්‍රජාවගේ 'දන්සල්' හා සමාන වන  අතර මේවා එකිනෙකට වෙනස් සංකල්ප සහ භාවිතයන් දෙකක් වන නමුත් ඒවා අතර යම් යම් සමානකම් පවතී.

'කන්දූරි' යනු ඉස්ලාමීය සංස්කෘතියේ පිළිවෙතකි, එහිදී මිනිසුන් එකට එක් වී ආහාර පිසීම සහ ඒවා බෙදා හදා ගැනීමට රැස් වේ. එය සාමාන්‍යයෙන් ඉස්ලාමීය සංස්කෘතික අංගයක් ලෙස සහ මව්ලිද් අල්-නබි සැමරුමේදී විශේෂ පිලිවෙතක් ලෙස සිදු කෙරේ. පිළියෙළ කරන ආහාර දුප්පතුන් සහ අසරණයන් ඇතුළු අසල්වැසියන් සමඟ බෙදා ගනී.

අනෙක් අතට දන්සැල් යනු බෞද්ධ සංස්කෘතික අංගයකි, මිනිසුන් එකට එක්ව මාර්ග දෙපස නිර්මාණය කර ගන්නා තාවකාලික අට්ටාල වල සහ පොදු ස්ථානවල යම් යම් ආහාර පිස තබමින් කැමති කෙනෙකුට නොමිලේ ආහාර පාන පිරිනැමීම එහිදී සිදු කරයි. මෙය ත්‍යාගශීලීත්වය සහ දන් දීම යන චේතනාවෙන් සිදු කරන අතර බොහෝ විට වෙසක් සැමරුම් සමඟ මෙය බද්ධ වී පවතී.

එලෙස 'කන්දූරි දානය' සහ 'දන්සැල්' යන අංග වල සුළු වෙනස් කම් වුවත් මෙම අංග දෙකෙන්ම නිරූපණය වන්නේ බෙදාගැනීම සහ ත්‍යාගශීලීත්වය යන සංකල්ප වේ. මිනිසුන් අතර එකමුතුකම ප්‍රවර්ධනය සහ අවශ්‍යතා ඇති අයට උපකාර කිරීමට ක්‍රමයක් ලෙස ආහාර බෙදා ගැනීම මෙම භාවිතයන් දෙකටම ඇතුළත් වේ. ආපසු කිසිවක් බලාපොරොත්තු නොවීමේ චේතනාව මුල් කොට ගත් දන් දීම ද, ප්‍රජාව සහ සමාජ සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ මාධ්‍යයක් ලෙස  'ආහාර' භාවිතා කිරීමේ අදහස ඒවා තුළ වේ. ශ්‍රි ලංකාවේ ගාල්ල, බේරුවල, කල්මුණේ යන ප්‍රදේශ වල ජීවත් වන ජනතාව අතර ඉතා සමීපව මෙම සංස්කෘතිය බැඳී ඇත.

ඉස්ලාමීය දර්ශනයට අනුව මානව වර්ගයාගේ දෙලොවම ජය ගැනුමෙහිලා ඉස්ලාමීය මග දේශනා කරමින් එය ආරක්ෂා කරනට තම ජීවිතයම කැප කළ සැබෑ මානවවාදියෙකු වූත් මානව සංහතියට පහල වූ අවසාන නබිවරයා හෙවත් දේව දූතයා වූත් මුහම්මද් නබි තුමාණන්ගේ ජීවිතය තුලින් අපට ගත හැකි ආදර්ශයන් බොහෝමයකි.

| මොහොමඩ් මිනාස්