සියලු අකාරයේ හිංසනයන්ට එරෙහි වෙමු. සියලු දෙනා මිනිසුන් ලෙස පිළිගන්නා, සෑම මිනිසකුටම ආදරය කරනා සමාජයක් ගොඩනගමු.

සියලු අකාරයේ හිංසනයන්ට එරෙහි වෙමු. සියලු දෙනා මිනිසුන් ලෙස පිළිගන්නා, සෑම මිනිසකුටම ආදරය කරනා සමාජයක් ගොඩනගමු.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනයට එරෙහි සාකච්ඡා සමාජය තුළ ඕනෑ තරම් දක්නට ලැබේ. නමුත් එම සාකච්ඡා වල ප්‍රතිඵල කවරේදැයි එම සමාජය විසින්ම සාක්ෂි දරයි. ආසියාතික සංස්කෘතික මිනිසුන්ගේ කොන්ක්‍රීට් බිමක් ලෙස හැඳින්විය හැකි ශ්‍රී ලංකාවේ මිනිසුන් මිනිසුන් ලෙස අනෙකාව හඳුනා ගන්නා සරුබිම් නිස්සාර ලෙස වැසී ගොස් ඇත. මේ භුමිය තුළ තවදුරටත් ශිෂ්ට මිනිසුන් වාසය කරන භූමියක් දැයි සැක සහිතය. අනෙකා වෙනුවෙන් සමාජයක් ලෙස සිතන සංවේදනාවන් ශරීර කූඩුව තුළම වියලී ගිය මිනිසුන් යැයි කියාගන්නා මිනිස් රොඩු වසන මේ භූමිය බහුතරක් හිස් ශරීර කුඩුවල භූමියකි. එවන් බිමක ස්ත්‍රිය පිරිමින්ගේ භාවිත උපකරණයක් යන සංස්කෘතික භාවිතාව සහ අවිධිමත් සමාජ භාවිතාව සාමාන්‍යකරණයට ලක්ව පැවතීම ඛේදවාචකයක් ය.

කවරාකාරයේ වැඩසටහන් පැවතුණද අනෙකාගේ ශරීරය තමා සිතැඟි පරිදි වියයුතුයයි සිතීම රජයන සමාජයකට එම වැඩසටහන් ජිර්ණය නොවේ. තමාගේ ශරීරය, තම ලිංගික නැඹුරුව නිදහසේ ප්‍රකාශ කළ නොහැකි, කුඩා දරුවාගේ සිට මහළු ස්ත්‍රීන් දක්වා දූෂණයට හා හිංසනයට ලක්වන පුණ්‍ය භූමියක් වන මෙය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන්නේ සර්වාගමික ආශිර්වාදයද සහිතව ය.

මෙය පිරිමි සමාජයකි. මන්ද යත් සියල්ල තීරණය කරන දෘෂ්ටිවාදී ආර්ථික මදිලිද සිතන්නේ එයයි. පොඩි එකාගේ කිරිපිටි වෙළඳ දැන්වීමේ සිට බුල්ඩෝසර් ටයරයද, ගෑස් සමාගම් වලට අනුව ජාතියේ ලිප ගිනි සැපයුමද, සුවිසල් හෝටල් යයි කියා ගන්නා සංස්කෘතික මන්ද්මානසිකයන්ගේ තිප්පොළවල් වල ඩෙසර්ට් ටේබල් ලෙසද ඇය වෙළඳ භාණ්ඩයක් වී හමාරය. මෙය වනාහී වෙළඳ දැන්වීම් කාරයන්ගේ කාර්යයක් ලෙස ශුද්ධ මිනිසුන් පැවසුවද මේ සමාජය රජයන මතවාදයන් පිනවීම ඒවායේ කාර්යභාරයයි. වෙළඳ දැන්වීම් සහ මොඩර්න් ගෘහ නිර්මාණ ශිල්පය තුළ කුස්සියේ සිර කර සිටී ගැහැණිය ගේ මද සාලයට ගෙනවිත් ඇත. දැන් කුස්සිය සාලයේ තබා කුස්සියේ උපකරණ සාලයේ විකුණති. සේවා ස්ථානයේ ස්ත්‍රීන් සමග වැඩ කිරීම සමහරුන්ට අමුතු විනෝදයකි. එය වනාහී නරුම ලිංගික අසහනකාරී සමාජයේ පිළිබිඹු ය. ඔවුන්ට අනුව එම කාන්තාවන් සමහරෙක් බඩු, කෑලි, ලයින්, ගල් ය. යම් හෙයකින් ඔවුන්ගේ උගුලට හසු වූ කාන්තාවක් හා ඇසුර පැවැත්වීම හෝ රූම් එකකට යාම ඓතිහාසික වීර කමකි. එසේම වැඩබිම් තුල අසභ්‍ය විහිලු හෝ හිංසාකාරී ලෙස කටයුතු කිරීම වැඩබිම් තුල නරුම වීරයන්ගේ වීර ක්‍රියාය. මේ සඳහා උදව් සපයන කාන්තාවන්ද සිටී. ඒ මන්ද යත් එම කාන්තාවන්ගේ ඔලු පිරිමි පිනවීමේ සංස්කෘතික විනෝදයෙන් පිරී ඇති බැවිණි.

බැලූ බැලූ හැම අතම නුතනවාදයෙන් ඔබ්බට ගිය පුගලයන්ය. නමුත් සංක්‍රාන්තික ලිංගිකයින්ට, සමරිසි ප්‍රජාවන්ට හෝ ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතු යැයි පැවසූ සැනින් ඔවුන් වැඩවසම් ලක්ෂණ පෙන්වයි. කායික, වාචික, මානසික හෝ ලිංගික හිංසනයන් අතර සමහර අවස්ථා වල අන්‍යොන්‍ය සබඳතාවක් ඇත. හිංසනයට එරෙහිවීම ධන උල්පතක් කරගත් පිසාචයින්ගෙන් හිංසනයට එරෙහි අරගලය බේරා ගත යුතුව ඇත. ඒ සඳහා සාමාජ ධුරාවලියේ ඉහල සිට පහළටම ගමන් කරන යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. නොඑසේ නම් අවිධිමත් රැකියා වල නියුතු කාන්තාවන්, ගෘහ සේවිකාවන්, ස්වයං රැකියාවල නිරත වන්නන් ඇතුළු සියලු වැඩ කරන කාන්තාවන් මහා පොළොවේ අත්දකින හිංසනයන් මහා හෝටල්වල සාකච්චා වලට පමණක් සිමා වනු ඇත. මෙහි වැඩ කරන කාන්තාවන් යනුවෙන් සඳහන් කරන්නේ නිවසේ සිදු කරන වැඩද වැඩක් යන තැන සිට ගනිමින්ය. කාර්යාලයේ තම රාජකාරී හමාර කර නිවසට පැමිණ සිදු කරන කාර්යයයන් ඇයගේ යුතුකම්ය යන කුණු වූ සංස්කෘතික දෘෂ්ටිවාදය වෙනස් කළ යුතුව ඇත. එසේම සෑම පුද්ගලයෙකුම ජීව විද්‍යාත්මකව ලිංගිකත්වය උරුම වන නමුත් සමාජ සම්මතයන් හා සංස්කෘතීන් අනුව එම පුද්ගලයන්ට සමාජ විසින් ලබා දෙන රාමූ ගත පැවැත්මවල් ක්‍රියාත්මක කිරීමේ හෝ නොකිරීමේ නිදහස පුගලය සතු විය යුතු වේ.   වැඩ කරන කාන්තාව, ඇය නිවසට පැමිණ සිදු කරන වැඩ ඇය මත පැටවූ අනිවාර්ය කාර්යයන් බව ගැහැණියට අවිඥානිකව හෝ පැටවූ සංස්කෘතිය වෙනස් කළයුතුය. ස්වාමිපුරුෂයාට හොඳ බිරිඳක් වීමට අවශ්‍යය යයි ඇය මත පටවන ලද වැඩ කන්දරාව ද ඇයට හිංසනයකි. වැඩ ඇරී නිවසට යන්නේ නැවත වැඩටය. “වැඩ ඇරී වැඩට යති ගැහැණු” යන්න ලක්ශාන්ත අතුකෝරාල නම් තරුණ කවියකුගේ සිතුවිල්ලකි. 

ශ්‍රී ලංකාව තුල හිංසනයට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහි නිශ්චිත නීති පද්ධතියක් නිසියාකාරව ක්‍රියාත්මක වනු දක්නට නොලැබේ. එවැනි නීති පවතින්නේ නම් මේ පුණ්‍ය භූමියෙන් අඩකටත් එහා ගැහැනුන් සහ පිරිමින් දඬුවම් විඳ හමාරය. නීතියද පිරිමි සංස්කෘතික හස්තයක් සහ මහපුටු වල ආයුධයක් වීම ද මේ හරහා සාකච්චා විය යුත්තේ මෙරට උසාවි තුල සහ පොලීසි තුළ සිදු වූ හින්සනයන්ද අමතක විය හැකි බැවිණි.

කවරාකාරයේ හෝ හිංසනයන්ට විරුද්ධ වන හිරි නොවැටුණු මිනිස් සමාජයක් තුළ අරගලයක් කළ යුතුව ඇත. ඒහිදී කවරාකාරයේ ලිංගික නැඹුරුවක් සහිත පුද්ගලයෙකු වුවද මිනිසකු ලෙස පිළිගත යුතුය. ස්ත්‍රී පුරුෂ නොවන ලිංගික නැඹුරුවක් සහිත පුද්ගලයන්ට ගල්ගැසිය යුතු යැයි සිතන, ලිංගික ශ්‍රමිකයන්ට ගල්ගැසිය යුතු යයි සිතන ආගමික සංස්ථාවන් හි නරුම චින්තනයට ගල් ගැසිය යුතුය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C 190 ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව තුළ අපරානුමත කිරීම සඳහා පුළුල් ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු අතර එය සැබවින්ම ශිෂ්ට මිනිසුන්ගේ අරගලයක් කරා පරිවර්තනය කළ යුතුව ඇත.  UN Women විසින් සංවිධානය කරන ලද දින 16 කැම්පේන් එක සඳහා අපි සහයෝගය දක්වමු. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ සියලු අකාරයේ හිංසනයන්ට එරෙහි වෙමු. සියලු දෙනා මිනිසුන් ලෙස පිළිගන්නා, සෑම මිනිසකුටම ආදරය කරනා සමාජයක් ගොඩනගමු.   

කල්ප මධුරංග

ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය

Author’s Posts