පුරුෂ ස්ත්‍රීවාදය : 'පිරිමි මැදිහත් නොවෙන තෙක් ස්ත්‍රී පුරුෂභාවය මත කෙරෙන වෙනස්කම් නැතිවෙන්නේ නැහැ'

පුරුෂ ස්ත්‍රීවාදය : 'පිරිමි මැදිහත් නොවෙන තෙක් ස්ත්‍රී පුරුෂභාවය මත කෙරෙන වෙනස්කම් නැතිවෙන්නේ නැහැ'

'ෆෙමිනිසම්' යනු සමාජීය, ආර්ථික සහ දේශපාලනික වශයෙන් කාන්තාවන්ට සම අයිතිය හිමි විය යුතු බවට පවතින විශ්වාසයයි. ස්ත්‍රීවාදය ලෙසත් එය හැඳින්වේ.

යුජීන් හං, එකී විශ්වාසයේ එළඹ කටයුතු කරන්නෙකි, එනම් ඔහු ස්ත්‍රීවාදියෙකි (Feminist). ඔහුට ඒ ගැන ඇත්තේ ආඩම්බරයකි.

කැලිෆෝනියාවේ වෙසෙන යුජීන් වෘත්තියෙන් ගණිත ගුරුවරයෙකි. මීට වසර දාහතරකට පෙර, සිය වැඩිමහල් දියණිය මෙලොව දුටු දා පටන් ගැහැණු ළමුන් අභිමුව ඇත්තේ කිනම් ලෝකයක් දැයි යන සිතුවිල්ලත් සමග තමන් පොර බදින බව ඔහු පවසයි.

තමා එවක උසස් අධ්‍යාපනය හදාරන සමයේ සම වයසේ ගැහැණු ළමුන්ට මුහුණ පෑමට සිදු වූ අත්දැකීම් දෙස ඔහු යළි හැරී බලයි. පුස්තකාලයේ සිට නිවස දක්වා තනිවම ඇවිද ඒම පවා අනාරක්ෂිත යැයි ඔවුනට හැඟුණු අයුරු යුජීන්ගේ මතකයට නැගෙයි.

Eugene Hung flexing his muscle under a banner saying "We Can Do It!"

කාන්තා ප්‍රශ්න යයි ලඝු කෙරෙන බොහෝ දේ සැබවින්ම පිරිමිගේ ප්‍රශ්න බව යුජීන් පවසයි

"අනාරක්ෂිත හැඟීමක් එක්ක ඔවුන්ට ගනුදෙනු කරන්න සිදු වුණා. නමුත් එවැන්නක් මට දැනුනේ නැහැ. මට විශාල වශයෙන් වරප්‍රසාද හිමිව ඇති බවත් එතෙක් ඒ බව මට ඇස නොගැටී ඇති බවත් මටම තේරුම් ගියා," යනුවෙන් යුජීන් බීබීසී වෙත පැවසීය.

"සමාජය තුළ පිරිමියෙක් හැටියට, මට ඒ වරප්‍රසාද ඉබේ ලැබෙන බව හැඟුණා,"

'ස්ත්‍රීවාදී පියෙක්'

එකී තේරුම් ගැනීම, ඔහු කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නගන ක්‍රියාධරයෙකු බවට පත් කරනු ලැබීය. යුජීන්, කාන්තාවන් බල ගන්වනුවස් පෙනී සිටින 'Feminist Asian Dad' (ස්ත්‍රීවාදී ආසියානු පියා) නමැති බ්ලොග් අඩවිය ආරම්භ කළේය.

මූලාන් (Mulan) නමැති ඩිස්නි චිත්‍රපටයට ඇතුළත් චීන ජනප්‍රවාදයේ එන වීර, දිරිය කාන්තා චරිතයේ සිට ඇමරිකානු උප ජනාධිපති ධුරයට පත් ආසියානු-ඇමෙරිකානු සම්භවයක් සහිත, පළමු කාන්තාව කමලා හැරිස් දක්වා වූ විෂයන් යුජීන් සිය බ්ලොග් අඩවියේ පළ කරයි.

එහි පළ කෙරෙන බොහෝ ලිපි සඳහා කාන්තාවන්ගේ කැමැත්ත නොකැමැත්ත, සේවා ස්ථානයේ සිදුවන ලිංගික හිංසන සහ ලිංගික ප්‍රචණ්ඩත්වය වැනි කරුණු පදනම් වී ඇත. එකී සංවාදවලට පිරිමින් ද සක්‍රීයව දායක විය යුතු බව යුජීන් තරයේ විශ්වාස කරයි.

"අවම වශයෙන් එක්සත් ජනපදය තුළ, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 90% ක් සිදු වන්නේ පුරුෂයින් අතින් බව පිරිමි තේරුම් ගත යුතුයි," යනුවෙන් ඔහු පවසයි.

"බොහෝ විට මේ දේවල් කාන්තා ප්‍රශ්න වශයෙන් ලඝු කෙරෙනවා. නමුත් ඒ දේ සිදුවන්නේ පිරිමි අතින්. එසේ නම් ප්‍රශ්නය කොතනද? එය පවතින්නේ අප අතරමයි. අපි ඒ ගැන වැඩි වශයෙන් කතා නොකරන්නේ ඇයි?"

අරමුණු සහ චේතනාවන්

A woman doing factory work

"ගෝලීය වශයෙන් එකම රැකියාව සඳහා පුරුෂයන්ට සාපේක්ෂව, කාන්තාවන්ට ගෙවනු ලබන්නේ 23% කට අඩු වැටුපකි"

පරම්පරා කීපයක් තුළ, පිරිමින්ගේ ආකල්පයන්හි සැලකිය යුතු වෙනසක් සිදුව ඇති බව යුජීන් පිළිගනියි. නමුත් ස්ත්‍රී පුරුෂභාවය මත පවතින නින්දා සහගත අසමානතා තවමත් සාමාන්‍ය ජීවිතයේ කොටසක්ව ඇත.

එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව, ගෝලීය වශයෙන් එකම රැකියාව සඳහා පුරුෂයන්ට සාපේක්ෂව, කාන්තාවන්ට ගෙවනු ලබන්නේ 23% කට අඩු වැටුපකි.

පුරුෂයන් හා සැසඳීමේදී, වැටුපක් නොලබා සිය පවුලේ සාමාජිකයන් රැක බලා ගැනීම සහ නිවසේ වැඩකටයුතුවල යෙදීම වෙනුවෙන් කාන්තාවන් ගත කරන කාලය දෙගුණයකට වැඩිය.

රටවල් 100 කට වැඩි ප්‍රමාණයක, ඇතැම් රැකියා කාන්තාවන්ට නීතියෙන්ම තහනම්ය.

"මේ දේවල් හුදු කාන්තා ප්‍රශ්න පමණක් නම්, මීට බොහෝ කාලෙකට පෙර ඒවාට විසඳුම් ලැබෙන්න තිබ්බා," යනුවෙන් යුජීන් පවසයි.

නමුත් එවැනි ගැටලු සඳහා විසඳුම් සෙවීමෙහි ලා පුරුෂයන්ගේ සහාය ද අවශ්‍ය කෙරෙන බව කී ඔහු, "මේ ගැටලුවලට පිළිතුරු සොයන්න පුරුෂයින් සක්‍රීයව දායක වෙලා නැහැ," යනුවෙන් සඳහන් කරයි.

"පුරුෂයන් වන අපි මේ දේවල් පිළිබඳ අපේ පවුලේ අය, යාළු මිත්‍රයින්, අසල්වැසියන්, ප්‍රජාව සහ සමාජය සමග වැඩි වශයෙන් කතා නොකරනතාක් අපිට සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කර ගන්න බැහැ," යනුවෙන් යුජීන් පෙන්වා දෙයි.

ඒ සඳහා පිරිමි වැඩි වශයෙන් දායක නොවන්නේ ඇයි?

'බිය' සාධකය

A woman and a man arm wrestling in the office

කාන්තාවක් සහ පුරුෂයෙකු අතර බල අරගලයකදී 'තම වර්ගයට' සහාය දීමට පුරුෂයන් වෙත බල කෙරෙන බව ලූදෝ පවසයි

"ගැහැණු හැසිරීමක් හෝ ගැහැණු ළමයෙකුගේ හැසිරීමක් ලෙස හඳුනා ගන්නා දේවලින් හැකිතාක් ඈත්විය යුතුය යන අදහස සමග පුරුෂයින් ඉතාමත් වේලාසනම සමාජ ගත වෙනවා," යනුවෙන් පුරුෂභාවය (Masculinity) සහ පීතෘත්වය (Fatherhood) පිළිබඳ බ්ලොග් ලේඛකයෙකු වන ලූදෝ ගේබ්‍රියල් පවසයි.

"එහි ප්‍රතිඵලයක් වශයෙන්, සේවා ස්ථානයේ බල අධිකාරිය පිළිබඳ කාරණයකදී, ඔබ කාන්තාවකට සහාය දැක්වුවහොත්, ඔබ, ඔබේම වරිගය පාවා දුන්නෙකු බවට විශ්වාසයක් පවතිනවා," යනුවෙන් ඔහු බීබීසී වෙත කියා සිටියේය.

MARC (Men Advocating Real Change/ සැබෑ වෙනසක් වෙනුවෙන් පෙනී සිටින පුරුෂයින්) නමැති උපායමාර්ගික වැඩසටහන ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධානියා ලූදෝය. සේවා ස්ථානයේ දී ස්ත්‍රී පුරුෂභාවය මත වෙනස් ලෙස සැලකීම (Sexism) සම්බන්ධයෙන් වන සංවාදය සඳහා ස්ත්‍රී සහ පුරුෂ දෙපාර්ශවයේම සේවකයින් සම්බන්ධ කර ගැනීම එමගින් සිදුවෙයි.

කාන්තාවන් නායකත්ව තනතුරු සඳහා තල්ලු කිරීමේ පරමාර්ථයෙන් ක්‍රියාත්මක ලාභ නොලබන ගෝලීය සංවිධානයක් වන 'Catalyst' ආයතනය දශකයක් පුරා දියත් කළ අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙන් 'MARC' බිහි විය.

A woman and a man discuss something in an office

සේවා ස්ථානයේ දී කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීමට සත්භාවයෙන් කටයුතු කරන පුරුෂයන් බියක් දක්වන බව 'Catalyst' අධ්‍යයනයකින් හෙළි වී තිබේ

2020 වසරේ දී, සේවා ස්ථානය තුළදී ස්ත්‍රී පුරුෂභාවය මත වෙනස් ලෙස සැලකීම (Sexism at work) පිළිබඳ 'Catalyst' ආයතනය විසින් කැනඩාවේ වෙසෙන පුරුෂයන් 1,500 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සමීක්ෂණයක් සිදු කරනු ලැබීය. එහිදී ස්ත්‍රී පුරුෂභාවය මත වෙනස් ලෙස සැලකීම නවතාලීමට ඉන් වැඩි දෙනෙකු පියවර ගෙන නොමැත්තේ ඇයිදැයි යන්න පිළිබඳ පැහැදිලි කිරීම් කීපයක් ඉදිරිපත් විය.

යමෙකුගෙන් ස්ත්‍රී පුරුෂභාවය මත වෙනස් ලෙස සැලකීමේ හැසිරීමක් (Sexist behaviour) ප්‍රදර්ශනය වූ විට එය නවතාලීමට තමන්ට අවශ්‍ය වූ බව සමීක්ෂණය සඳහා යොදා ගත් පිරිසෙන් 86% ක පිරිසක් පැවසූහ. නමුත් එසේ කිරීමට ආත්ම ශක්තියක් ඇතැයි හැඟුණු පිරිස 31% ක් පමණි.

"අපගේ අධ්‍යයනය මගින් ප්‍රධාන බාධක තුනක් හඳුනා ගනු ලැබුවා: අඥාන බව (Ignorance), මන්දෝත්සාහී බව (Apathy) සහ බිය (Fear)" එම බාධක බව 'MARC' හි උප සභාපතිනිය අලික්සැන්ඩ්‍රා පොලැක් බීබීසී වෙත පැවසීය.

බිය යන කාරණය පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වමින් ඇය කියා සිටියේ, "විශේෂයෙන් වෙනත් පිරිමි තමන් ගැන විනිශ්චයකට පැමිණේවි යන්න ගැන තිබෙන බිය, සෙසු පිරිමි අතර තමාගේ තැන අහිමි වේ යැයි පවතින බිය සහ සේවා ස්ථානය තුළ තමාගේ තැන අහිමි වේ යැයි පවතින බිය," යනුවෙනි.

පැහැදිලි මොහොතක්

A white male-only company executive board

ඉහළ කළමනාකරුවන්ගේ මත විවේචනය කරන්නෙකු වශයෙන් පෙනී සිටීමට තමන්ට අවශ්‍ය නොවන බව පුරුෂයින් අධ්‍යයනවලදී පවසා තිබේ

ඉහත කී ගැටලුවලට විසඳුම් සෙවීමේ අරමුණින් 'MARC' වැඩසටහන විසින් 'Chevron' සහ 'P&G' වැනි සමාගම්වල සේවකයින් කෙටි කාලීන විධායක පුහුණු වැඩසටහන් හෝ වසරක් පුරා දිවෙන දීර්ඝ කාලීන වැඩසටහන් ආකාරයේ ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ කර ගනු ලබයි.

ආරම්භයේදී "තරමක අඥාන" බවක් හැඟෙන පුද්ගලයන්ට එහි ඉගැන්වීම් අපහසුවක් ගෙන දෙයි. ඒ අතර සිටි අයෙකු වරෙක ජාතිවාදී වචන භාවිත කරමින් කෑ ගසා තිබේ.

නමුත් එකී අපහසු කාලය ඉක්මණින්ම පසු කරන බවත් එය ඉගෙනීම හා සම්බන්ධ විශාල අත්දැකීමක් වන බවත් ඉහත කී පුද්ගලයා සඳහන් කළේය.

තමා මොනයම් හෝ දිනක පිරිමින්ගෙන් නුසුදුසු හැසිරීමක් හෝ කුමන ආකාරයක හෝ ලිංගික හිංසනයක් අත්විඳ ඇත්නම් කාමරයේ පසෙකට වන ලෙස පුහුණු සැසියකට සහභාගී වූ කාන්තාවන් වෙත දැන්වූ අවස්ථාව, ඒ අතර සිටි එක් කාන්තාවක් විසින් හඳුන්වනු ලැබුවේ "ප්‍රබල මොහොතක්" වශයෙනි.

"අවස්ථා දෙකේදීම සෑම කාන්තාවක්ම කාමරයේ පසෙකට වුණා. එය, වැඩසටහනට සහභාගී වූ ඕනෑම පිරිමියෙකුට කිසිදා අමතක නොවන විශ්වාස කළ නොහැකි තරමේ ප්‍රබල මොහොතක් බව සැක නැහැ," යනුවෙන් ඇය පැවසීය.

"එහි සිටි සෑම කාන්තාවක්ම ලිංගික හිංසනයක් අත්විඳ ඇති බව දැකීම ඔවුන්ට සම්පූර්ණයෙන්ම පාහේ කම්පනයක් ගෙන දුන් බව මම සිතනවා. ඔවුන් එහි දිගක් පළලක් දකිනවා කියා මම සිතන්නේ නැහැ, නමුත් යථාර්ථය එයයි,"

'නොදැක්කා සේ සිටීම'

Ludo Gabriele

පිරිමියෙකු යනු කවුරුන්දැයි යන්න පිරිමින් විසින් යළි නිර්වචනය කරනු ලැබ යුතුව ඇති බව ලූදෝ ගේබ්‍රියල් පවසයි

"අප මේ ප්‍රශ්නයේ කොටස්කරුවෙකු බවත් ඒ සඳහා විසඳුම් සෙවීමෙහි ලා කොටස්කරුවෙකු විය යුතු බවත්" සෙසු පිරිමින් විසින් පිළිගනු ලබනු දැකීම යුජීන් සහ ලූදෝ වැනි පුරුෂයින්ට අවශ්‍ය වී ඇත.

"පිරිමි ස්ත්‍රීවාදියෙකු ලෙස සමාජය ඉදිරියට පැමිණෙන අතරේ ඔබත් එසේ කළ යුත්තේ ඇයි?" යන්න ඔවුන්ගේ ශීර්ෂ පාඨය වී තිබේ.

2017 වසරේදී සිය දියණිය සොෆියා උපත ලබා දෙමසකට පසු ලූදෝ 'Woke Daddy' නමින් ලිවීම ආරම්භ කළේය. සමාගම් අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සේවය කළ ඔහු බැලූ බැල්මට සිත්ගන්නා සුළු එම රැකියාවෙන් ඉවත් වූයේ තෙවසරකට පෙරදීය.

ඒ වන විට 31 වෙනි වියේ පසු වූ ඔහුට තමාගේම කියා නිවසක් තිබිණි. බිරිඳක් සහ පුතෙකු සිටියත් ඔවුන් වෙනුවෙන් වෙන් කිරීමට හැකි වූයේ සුළු කාලයක් පමණි. "මහා නොසතුටකින්" පසු වූ ඔහුගේ ජීවිතය "දැඩි අතෘප්තිකර හැඟුමකින්" පිරී පැවතිනි.

'ළිං මැඩි පිරිමි මානසිකත්වයක්' සහිත දිවියක් ගත කිරීම සහ සිය නොසතුට අතර දැඩි සම්බන්ධයක් පවතින බව ලූදෝට පසුව ඒත්තු ගැන්විණි.

එය අව්‍යාජත්වය සහ විරුද්ධ ලිංගික සැකයට එහා ගිය, හැඟීම් දැනීම් ඇතැයි පෙන්වීම අවුලක් සේ දැනීම, වෘත්තීය ජීවිතය අගනා කොට සැලකීම සහ තත්ත්වය පවත්වා ගැනීම (Status) ඇතුළු පුරුෂභාවයේ (පිරිමිකමේ) පටු අර්ථයක් වශයෙන් ඔහු විස්තර කරයි.

ඉහත දැක්වෙන්නේ මේ කාලයෙහි පිරිමින්ගේ නොසතුටට හේතු වන චරිත ලක්ෂණය.

https://www.instagram.com/p/BRSDw0Eh4Nn/?utm_source=ig_embed

සෞඛ්‍ය සම්පන්න පුරුෂභාවයක් (Masculinity) වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) වන 'Dove and Promundo', මෑතකදී රටවල් හතක (බ්‍රසීලය, ආජන්ටිනාව, ඇමරිකාව, එක්සත් රාජධානිය, කැනඩාව, නෙදර්ලන්තය සහ ජපානය) පියවරුන් යොදා ගනිමින් සමීක්ෂණයක් සිදු කළේය. සිය දරුවන් අසල රැඳෙමින් ඔවුන් හා වඩාත් වැඩියෙන් කාලය ගත කිරීමට තමන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් බව ඉන් 85% ක පිරිසක් පවසා ඇතැයි සමීක්ෂණයෙන් පෙනී ගොස් තිබේ.

එහෙත් ඒ අතරින් වැඩි කොටසක් සිය දරුවෙකු උපත ලැබීමෙන් පසු හෝ දරුවෙකු හදාවඩා ගැනීමට (Adoption) ගත් පසු කිසිඳු නිවාඩුවක් ලබා නොමැත.

වෘත්තීය සගයන්ගේ සහ කළමනාකරුවන් අතර පවතින ආකල්ප හේතුවෙන් නිවාඩු ඉල්ලීමට නොහැකි වී ඇතැයි හැඟෙන බව ඔවුහු පවසති.

'පවුල්වලට තෝරා ගැනීමට අවස්ථාවක් දීම'

Father and daughter laughing in the bedroom

සිය දරුවන් අසල රැඳෙමින් ඔවුන් හා වඩාත් වැඩියෙන් කාලය ගත කිරීමට තමන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් බව ඉන් 85% ක පිරිසක් පවසා ඇතැයි සමීක්ෂණයකින් පෙනී ගොස් තිබේ

එසේ වුවද, ව්‍යාපාර සහ ස්ත්‍රී පුරුෂ අසමානතාව පිළිබඳ ගෝලීය මට්ටමේ ප්‍රාමාණිකයෙකු වන ජොෂ් ලෙව්ස් පවසන්නේ හාත්පස වෙනස් කතාවකි. "පිරිමින් සම්බන්ධයෙන් පවතින බොරු සම්මතයන්, අලස බව සහ වැඩවලින් ඈත්ව සිටීමක්" ලෙස කළමනාකරුවන් විසින් විශ්වාස කරනු ලබන බව ඔහුගේ අදහසය.

වැඩියෙන්ම අලෙවි වූ 'All-In' ග්‍රන්ථයේ කතුවරයා වන ඔහු එක්සත් ජාතීන්ගේ ගෝලීය ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ශූරයා ලෙස නම් කරනු ලැබිණි.

දරුවෙකු ලැබීමෙන් පසු පීතෘ නිවාඩු හෝ පහසු පරිදි සේවා මුර වෙනස් කර ගැනීමට ඉල්ලීම් ඉදිරිපත් කරන පිරිමි නිවාඩු ලබා "කකුල් උඩ තබා ගනිමින් රූපවාහිනිය නරඹනු ඇතැයි" කළමනාකරුවන් තවමත් විශ්වාස කරන බව ඔහු බීබීසී වෙත කියා සිටියේය.

"ගැහැණුන්ට ගෙදර ඉන්න බල කෙරෙන, පිරිමි ඔෆිස් යන ක්‍රමයක් අපට ඇති බව" ඔහු සඳහන් කරයි.

එම ක්‍රමය වෙනස් කිරීම සඳහා කාන්තාවන් සහ පුරුෂයන්ට සමාන අවස්ථා ලැබෙන, මාතෘ/පීතෘ නිවාඩු කෙරෙහි බලපාන නීති සහ ප්‍රතිපත්ති මෙන්ම සත්‍රීන් සහ පුරුෂයින්ගේ සම්ප්‍රදායික කාර්යභාරයන් හා බැඳුනු දෘෂ්ටීන් සහ අවමානයක් ලෙස සැලකෙන කාර්යයන් පිළිබඳ සමාජය යළි සිතා බැලිය යුතුව ඇතැයි ජොෂ් ලෙව්ස් පෙන්වා දෙයි.

"ඊට විසඳුම් සොයන තෙක්, අපි සේවා ස්ථානය තුළ සමාන අවස්ථා ලබා දෙන්නේ නැහැ,"

පවතින ක්‍රමය මිනිසුන්ට පමණක් නොව ව්‍යාපාරවලට ද අහිතකර බව ඔහු පෙන්වා දෙයි. 

"නිසි වැඩවලට හොඳම මිනිස්සු ඉන්න විට ව්‍යාපාරත් හොඳින් වෙනවා. කාන්තාවන් කියන්නේ මනුෂ්‍යයින්ගෙන් අඩක්. ඒ නිසා යම් කාර්යයක් කිරීම සඳහා කාන්තාවක් හොඳම පුද්ගලයා වීමට ඇති හැකියාවත් අඩකට සමානයි,"

කාන්තාවන් බලගන්වන ජාතීන්, මනුෂ්‍යයින්ට සමාන අවස්ථා ලබා දීම සහ ස්ත්‍රී පුරුෂ අසමානතාවන්ට විසඳුම් සෙවීමෙහි ලා "වඩාත් හොඳින් ක්‍රියා කරන" බව ජොෂ් ලෙව්ස් වැඩිදුරටත් පෙන්වා දෙයි.

"දරුවන් රැක බලා ගන්නේ කවුද, වැඩ කරන්නේ කවුද කියන දේ ගැන තමුන්ටම තීරණයක් ගන්න පවුල්වලට ඉඩ ලබා දුන් විට ව්‍යාපාර වඩාත් හොඳ වෙනවා, ආර්ථිකයන් වඩාත් හොඳ වෙනවා, ජාතීන් වඩාත් හොඳින් වැඩ කරනවා වගේම පවුල් වඩාත් හොඳ වෙනවා,"

(බීබීසී/සංදේශය)