වැඩ ඇරී වැඩට යති ගැහැණු

වැඩ ඇරී වැඩට යති ගැහැණු

පසුගිය මාස කිහිපය තිස්සේම මා හට ” ඔන්ලයින්” රැකියාවෙහි යෙදීමට සිදු වූ අතර, බොහොමයක් zoom රැස්වීම්වලට තම කුඩා දරුවන් පසුබිමෙහි තබා ගෙන සහභාගී වන මගේ කාර්යාල මිතුරියන්ගේ දසුන සුලබ එකක් විය. එහෙත්, කිසිදු මිතුරකු තම දරුවකු නලවමින් හෝ ඔවුන්ට ආහාර කවමින් රැස්වීම්වලට සහභාගී වනු මට දක්නට ලැබුණේ නැත. විශේෂයෙන් නිවසේ සිට වැඩ කරන පිරිමින් සිය පරිගණකය ඉදිරිපිට වාඩි වී රාජකාරිය නිසි පරිදි ඉටු කළ අතර, වරින් වර දරුවන්ගේ කටයුතු, ඉවුම් පිහුම් සඳහා අතරමග විවේක ගැනීමට (උත්ප‍්‍රාසජනක කරුණ නම්, ඒවා කිසිසේත්ම ”විවේක කාලයන්” නොවීමයි) ස්ත‍්‍රීන්ට සිදු වෙයි.

නිවසෙහි රැඳී රාජකාරි කරන ස්ත‍්‍රීන්ට රාජකාරියට අමතරව දරුවන්ගේ පාසල් වැඩ (ඒවා ද zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන බැවින්), නිවසේ සිට පරිගණකය ඉදිරිපිට හිඳ රැකියාව කරන ස්වාමි පුරුෂයාට ආහාර, තේ සකස් කර දීම, බොහෝ විට දවසට දෙවරක් හෝ තුන් වරක් කෑම පිසීම යන රාජකාරි සියල්ල සමාන පරිශ‍්‍රමයකින් ඉටු කිරීමට සිදු වෙයි. කොවිඞ් තත්ත්වය යටතේ බොහෝ නිවෙස්වල ගෘහ සේවිකාවන්ගේ සේවය ලබා ගැනීම අත්හිටුවා ඇති අතර, එය අවසානයේ ගෘහනියගේ වැටුප් නොලබන රාජකාරි ගොන්නට ඇතුළත් වෙයි. මා හා කතා කළ බොහෝ මිතුරියන් පැවසුවේ පැය අටක් නිවසින් පිටත රාජකාරි කිරීම තමාට නිවසේ සිට වැඩ කිරීමට වඩා ඉතා පහසු වන බවයි. මේ සියල්ලටම වඩා තම අධික වෙහෙස ගැන පැමිණිලි කිරීමට හෝ මැසිවිලි නැගීමට කෙනෙක් නොමැති වීම ඔවුන්ගේ ශාරීරික හා මානසික ආතතිය වැඩි වීමට හේතු වෙයි.

මේ අතර, කොවිඩ් 19 ව්‍යසනය හමුවේ ලොව සෑම රටක්ම පාහේ ආර්ථික අර්බුදවලය මුහුණ දෙන බව දිනපතාම අපට පුවත් මගින් අසන්නට ලැබේ. ඇත්තෙන්ම ”ආර්ථිකය” ලෙස අද අප හඳුනා ගන්නේ වෙළඳපොල, කර්මාන්ත, නිෂ්පාදන, සේවා සුරැකුම් ඇතුළුව පොදු අවකාශය තුළ සංසරණය වන මූල්‍යමය වටිනාකම් ය. එහෙත්, මේ ආර්ථිකය ගොඩ නංවන්නේ ගෘහස්තය තුළ ඉටු කරනු ලබන ආහාර පිසීම, දරුවන් සහ වැඩිහිටියන් රැක බලා ගැනීම, පිරිසිදු කිරීම ඇතුළු නානාවිධ ගෘහ කාර්යයන් ප‍්‍රතිනිෂ්පාදනය කරනු ලබන ගෘහස්ත ශ‍්‍රමය මත බව අප විසින් හැම විටම අමතක කරනු ලැබේ. මෙම ගෘහස්ත ශ‍්‍රමය අප ‘ වැටුප් නොලබන සුරැකුම් ශ‍්‍රමය’ ලෙස හඳුන්වමු. ලෝක කම්කරු සංවිධානය (ILO) විසින් 2018 දී රටවල් 53ක් ඇසුරින් කරන ලද සමීක්ෂණ දත්ත පෙන්වා දෙන්නේ, යම් හෙයකින් ගණන් බැලීමක කළ හොත් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් අවම වශයෙන් 9%ක් වැටුප් නොලබන සුරැකුම් ශ‍්‍රමයෙන් සමන්විත වන බවය. ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වන එතිහාසික ශ‍්‍රම විභේදනය, එනම් ගෘහස්ත කටයුතු ස්ත‍්‍රියගේ ප‍්‍රමුඛ කාර්යය වන බවට සහ පොදු අවකාශය තුළ වැටුප් සඳහා වගුරන ශ‍්‍රමය පිරිමියාගේ මූලික කර්තව්‍යයක් ලෙස හඳුනා ගනු ලබන සාම්ප‍්‍රදායික විභේදනය හේතුවෙන්, හැම විටම විටම ගෘහය තුළ වැටුපකින් තොරව සිදු කරන ආර්ථික ක‍්‍රියාකාරකම් වෙනුවෙන් ස්ත‍්‍රීන්ට අමතර ශ‍්‍රමයක් වැගිරීමට සිදු වේ.

ස්ත‍්‍රීන් ගෘහය තුළ මැසිවිලි නොනගා කරන වැඩ කොටස නොමැති සමාජයක, සමස්ත නිෂ්පාදන සහ ආර්ථික ක‍්‍රියාවලියක් කිසිසේත්ම නොපවතිනු ඇත්තේ ය. ශ‍්‍රී ලංකාවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු ගණන් බැලීම්වලට අනුව 2020 වර්ෂයේ දී ශ‍්‍රම බලකායට ස්ත‍්‍රීන්ගේ දායකත්වය 35% කි. මින් අදහස් වන්නේ ස්ත‍්‍රීන් ආදායම් උපයන රැකියාවල නිරත නොවන බවද? අප හොඳින්ම දන්නා පරිදි ශ‍්‍රී ලංකාවේ අතිශය බහුතර ස්ත‍්‍රීන් පිරිසක් ගෘහය තුළ ආර්ථික උත්පාදනයට සහ කළමනාකරණයට ඉහළ දායකත්වයක් දක්වති. එසේ නම නිල දත්ත තුළ මෙතරම් අඩු ප‍්‍රතිශතයක් පෙන්වන්නේ මන්ද? ඒ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති තුළ ආර්ථික සංවර්ධනයෙහි ප‍්‍රමුඛ මිනුම් දණ්ඩක් වන දළ දේශීය නිෂ්පාදනය තුළ වැටුප් නොලබා වගුරන ශ‍්‍රමයට මිලක් නොමැති නිසාය. මේ සමඟින්ම අමතක කළ නොහැකි කරුණු දෙකක් ඉස්මතු වෙයි;

පළමුවැන්න නම්, නිමි ඇඳුම් කර්මාන්තය, වතු ක්ෂේත‍්‍රය ආදියෙහි ශ‍්‍රමය ස්ත‍්‍රීකරණය වීම හේතුවෙන් රැකියා අහිමි වූ වැඩි පිරිසක් ස්ත‍්‍රීන් වන අතර, වෙනත් රැකියා උත්පාදන කුසලතා සහ ප‍්‍රාග්ධනය නොමැති වීමෙන් ඔවුහු නැවතත් ගෘහය නමැති පෞද්ගලික අවකාශයට සිර වෙති. එමඟින් යළිත් ශ‍්‍රම වෙළඳපොළේ ස්ත‍්‍රී දායකත්වය අඩු වීමේ විෂම චක‍්‍රය බිහි වෙයි. දෙවැන්න නම්, අවිධිමත් ශ‍්‍රමය, නොඑසේනම් රාජ්‍ය යාන්ත‍්‍රණය විසින් බැහැර කරන ලද ශ‍්‍රම කණ්ඩායම්, නිදසුනක් ලෙස ලිංගික ශ‍්‍රමික වෘත්තියේ යෙදෙන ස්ත‍්‍රීන් හා සංක‍්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් ව්‍යසන තත්ත්වය හමුවේ දැඩි පීඩාවන්ට මුහුණ දුන් නමුත්, නැවත ශ‍්‍රම වෙළඳපොළ වෙත ඔවුන් ඇතුළත් කර ගැනීමේ යම් උත්සාහයන් වේ නම්, ඔවුන් ඒවායින් මුළුමනින්ම බැහැර කරනු ලැබ ඇත. විශේෂයෙන් ලියාපදිංචි ‘න්‍යෂ්ටික ගෘහයක්’ අහිමි තැනැත්තන් තවදුරටත් රාජ්‍ය/පෞද්ගලික සහන යාන්ත‍්‍රණයන්ගෙ න් බැහැර වන්නේය යන කරුණ දැඩි ලෙස යටපත් කරනු ලැබ ඇත. ස්ත‍්‍රීන් නිවසින් පිටත රැකියාවක් කොට මුදල් ඉපයීමෙහි නිරත වන අවස්ථාවන්හි දී පවා, ගෘහය තුළ කරනු ලබන සියලූ රාජකාරි ඇගේ මූලික වගකීම් කොටසින් බැහැර නොවන අතර, ගෘහස්ත වගකීම් ඉටු කරන ස්වාමි පුරුෂයින් හැම විටම ‘ බිරිඳට උදව් කරන යහපත් ස්වාමි පුරුෂයින්’ ගොන්නෙහි ලා අගය කරනු ලැබේ.

පසුගියදා පාර්ලිමේන්තුවේ දී හරිනි අමරසූරිය මන්ත‍්‍රීවරිය වැටුප් නොලබන ශ‍්‍රමය ගණනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් විට, ඊට රජය වෙනුවෙන් විමල් වීරවංශ අමාත්‍යවරයා ප‍්‍රතිචාර දක්වා තිබුණේ ” මෙය බටහිර ස්ත‍්‍රීවාදී සංකල්ප ආනයනය කිරීමක්” වන බවය. එහෙත් අප ඊට ප‍්‍රතිපක්ෂව මන්ත‍්‍රීවරයාගෙන් ඉල්ලා සිටින්නේ, ස්ත‍්‍රීන් තම ගෘහ කටයුතු අත හරිමින් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට එළඹුණහොත්, ඔබ ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් බොහොමයකට පාර්ලිමේන්තු එන්නට තබා දේශපාලනයෙහි නිරත වන්නටවත් නොහැකි වන බව ය.

කෞෂල්‍යා ආරියරත්න