කාන්තාව හා කිරි නිෂ්පාදන අංශය

Previous Next

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කාන්තාවන් විසින් දක්වනු ලබන දායකත්වය ඉතා ඉහළ මට්ටමක තිබුනද විවිධ හේතු නිසා ඔවුන්ව නිසි ඇගයීමකට ලක් නොවීම මෙන්ම සමහර ක්ෂේත්‍රවලදී කළමනාකරණ තීරණ ගැනීම් කරනු ලබන ඉහළ තනතුරු හා වගකීම් දැරීමට සම්බන්ධ කරගැනීමේ අවස්ථා අඩු වීමද සිදුවන බව පෙනෙන්නට තිබේ. ජාතික තොරතුරු පිලිබඳ දත්ත පදනමක් නොමැතිකම කම මෙන්ම විශ්වාසදායක තොරතුරු අඩු කම නිසා මේ කරුණු පිළිබඳව ප්‍රමාණාත්මක තොරතුරු හිඟයක් පවතින අතර කෘෂිකර්ම හා ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම අවිධිමත් අංශවල තත්ත්වය පිලිබඳ තොරතුරු අඩුකම විශේෂ අවධානයට ලක් විය යුතුය. මේ නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙසේ අවිධිමත්ව සම්බන්ධ වී ඇති එහෙත් රටේ දියුණුවට හා පැවැත්මට විශාල දායකත්වයක් දක්වනු ලබන ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ සැඟවුණු මේ ශක්තිය නිසි ඇගයීමකට ලක් නොවීමත්, ඔවුන්ට කළමනාකරණ මට්ටමේ අවස්ථා අහිමි වීමත් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදනයේදී මෙන්ම ක්‍රියාත්මක කිරීමේදී ඔවුන්ට නිසි අවධානයක් නොලැබීමත්, ඔවුන්ගේ හඬට අඩු බලපෑමක් තිබීමත් වැනි කරුණු දක්නට තිබේ. මේ නිසා දශක කිහිපයක් තිස්සේ කාන්තා ගැටලු හා අයුතිවසිකම් වෙනුවෙන් පෙනී සිටින හා කටයුතු කරන විශේෂයෙන්ම ඒ පිලිබඳ පර්යේෂණ සිදු කරන ජාතික මට්ටමේ සංවිධානයක් වන කාන්තා පර්යේෂණ මධ්‍යාස්ථානය (CENWOR) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ආධාර හා උපදෙස් මත ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ප්‍රධාන ප්‍රවාහයට ගෙනඒමට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීම උදෙසා අදහස් ලබා ගැනීමට සිද්ධි අධ්‍යයනයන් සිදු කළ අතර එම අදහස් පදනම්ව සකස් කරනු ලැබූ ප්‍රතිපත්තිමය යෝජනා මේ වන විට විවිධ පාර්ශව සමග විවිධ මට්ටම් වලින් සාකච්ජාවට භාජනය වෙමින් පවතී. ආර්ථිකය තුළ සැබැවින්ම ඇගයියයුතු එහෙත් ප්‍රමාණවත් අවධානයට ලක් නොවී ඇති මෙම කාන්තාවන්ගේ දහඩියට නිසි වටිනාකමක්ලබා දී ඔවුන්ගේ ශ්‍රමයට සාධාරණයක් ඉටු කිරීමට මෙම ප්‍රතිපත්ති යෝජනා වලට රජයේ හා අදාළ පාර්ශවයන්ගේ අවධානය යොමු කොට නිසි පියවර හැකි ඉක්මනින් ගැනීම සඳහා කාන්තා පර්යේෂණ මධ්‍යාස්ථානය (CENWOR) විසින් මේ වනවිට කටයුතු කරමින් තිබේ.

මෙම අධ්‍යයනයන් සිදුකිරීමේදී ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම හා ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් අවිධිමත්ව නියැලී සිටි යැයි සැලකෙන, අභ්‍යන්තර ධීවර හා ජලජීවී වගා, කුඩා තේ වතු, කිරි නිෂ්පාදන, අපනයන කෘෂිකාර්මික වැනි අංශ මෙන්ම ඒ හා ඍජුව සම්බන්ධ වාරිමාර්ග හා කෘෂිකාර්මික ව්‍යාප්ති අංශ පිළිබඳවත් අවධානය යොමු කරන ලදී.

ග්‍රාමීය ප්‍රදේශවල කිරි ගොවිතැන කෙරෙහි පොදු උනන්දුවක් දක්වන කාන්තාවන් පිරිස එකිනෙකාට අන්නෝන්‍ය වශයෙන් උදව් උපකාරක කර ගන්නා, ලිහිල්ව බැඳුනු ජාල ලෙස ක්‍රියාත්මක වේ. අදාළ ප්‍රදේශවල පශු වෛද්‍ය නිලධාරින් මෙම කාන්තා කිරි ගොවියන් සමග රාජකාරී වශයෙන් කටයුතු කරනු ලබයි. කිරි ගොවිපල කාන්තාවන් කිරි නිෂ්පාදනයට අදාළව විවිධ ක්‍රියාකාරකම්වල එනම් කිරි ගවයන් ඇතිදැඩි කිරීම කිරි එකතු කිරීම හා මි කිරි සැකසීම ආදී විවිධ මට්ටමේ කටයුතුවල නිරතවී සිටි.

මෙම කාන්තාවන් විවිධ සංවිධානවල සාමාජිකයන් ලෙස කටයුතු කරති. බොහොමයක් කිරි ගොවි සංවිධාන මිශ්‍ර එනම් පිරිමි මෙන්ම කාන්තාවන් සිටින සමිතිය. මෙම සංවිධාන සියල්ලක්ම පාහේ පුරුෂ ආධිපත්‍යයපැහැදිලිව දක්නට ලැබේ. කාන්තාවන් පමණක් සිටින කිරි ගොවි සංවිධාන ඇත්තේ ඉතා අතලොස්සකි.

කිරි ගොවිතැනට සම්බන්ධ සියලුම කාන්තාවන් පාහේ පෞද්ගලික නම්වලින් එකිනෙකා හදුනන මට්ටමට ඔවුන් අතර ඉහළ සමාජ සහජීවනයක් පවතින බව බොහොමයක් කිරි ගොවි සංවිධාන වලදී දක්නට තිබුණි.

තෘණ බිම් හා ගවයන්ට අවශ්‍ය ආහාර හිඟකම හේතුවෙන් සමහර කාන්තාවන් ගව පාලනය නතර කර ඇත. තවද, බොහෝ අය හේන් ගොවිතැනේ නිරත වන අතර, ගවයන්ගේ ආහාර සඳහා තිබූ කැළෑ ප්‍රදේශ එළිපෙහෙළි කර ඇත. ගවයන්ගේ ආහාර වෙනුවෙන් අමතර මුදලක් වැය නොකර ඉබේ වැවෙන තණකොළ ආහාර ලෙස දීමට පුරුදුව සිටි මෙම කාන්තාවන් මෙම ක්ෂේත්‍රය අතහැරීමට මූලික හේතුවක් වී ඇත්තේ ද, අදාළ ඉඩම් හෙළි පෙහෙළි වීමයි.

ගවයන්ට අවශ්‍ය ආහාර ලබා ගැනීමට තම ගව පට්ටි දුර බැහැර ප්‍රදේශවලට ගෙන යෑම, මුළු දවසම ඔවුන්ව රැකබලා ගැනීමට සිදුවීම සහ සවස් වරුවේ නැවත ඔවුන් ආපසු ගෙන ඒම කාන්තාවන්ට මුහුණ දීමට සිදුවී ඇති දුෂ්කර කටයුතුය.

මෙම ගවයන් කැළෑ ප්‍රදේශ ආශ්‍රිතව පාලනය කරනු ලබන බැවින් එම සතුන් වනාන්තර තුළට ගෙන යෑමේ දී මෙම කාන්තාවෝ විවිධ අවදානම් වලට මුහුණ දෙති. සර්පයන් දෂ්ට කිරීම ඉන් එකකි. ගවයන් බැඳ තිබෙන කඹවලට පැටළි ඇද වැටී ඇතැම් කාන්තාවන් පූර්ණ ලෙස අකර්මණ්‍ය වූ අවස්ථා පවා ඇත.

සාමාන්‍යයෙන් කාන්තාවන් ඔවුන්ගේ දෛනික වැඩ කටයුතු ආරම්භ කරන්නේ අලුයම 4.00 ට පමණය. බොහෝ කාන්තාවන් දවස ආරම්භ කරන්නේ ගවමඩු පිරිසිදු කර ගවයින්ගෙන් කිරි දොවමිනි.

මි හරක් පාලනය බොහෝ විට කරන්නේ පිරිමින් විසිනි. කාන්තාවන් විසින් මී හරක් පාලනය කිරීම ඉතා කලාතුරකින් සිදුකරන්නේ ඒ සඳහා ඔවුන්ගේ සැමියන්ගේ සහාය ද ලබා ගනිමිනි. මී හරක් පාලනයට වැඩි ශ්‍රමයක් අවශ්‍යවන වන අතර, ගෘහස්ථ කටයුතු සමගින් මෙය දුෂ්කර බව කාන්තාවන්ගේ අදහස යි. මෙම ප්‍රදේශයේදී කෑම ලබා දීමට මී හරකුන්ව වනාන්තරයට රැගෙන යා යුතුය. මි හරකුන්ගේ ශරීර උෂ්ණත්වය පාලනය කර ගැනීමට මඩේ ළැගීම අත්‍යවශ්‍ය බැවින් ඊට අවශ්‍ය මඩ සහිත බිම් ප්‍රදේශ සොයාගෙන උන්ව රැගෙන යා යුතු ය. මෙම කටයුතු තනිව කිරීම දුෂ්කර බැවින් සාමූහිකව කටයුතු කිරීම බහුලව දක්නට ලැබේ. මි හරකුන්ට කෑම ලබා දීම, කිරි දෙවීම, කිරි විකුණුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යෑම, මඩු පිරිසිදු කිරීම ආදි කටයුතුවල දී කාන්තාවෝ තම සැමියන් හට සහයෝගය දක්වති.

කිරි නිෂ්පාදන සම්බන්ධව කාන්තාවන්ට පුහුණුව සඳහා ඇති අවස්ථාවන් සීමිත වන අතර, අගය දාම, ව්‍යවසායකත්වය හෝ ව්‍යාපාර පුහුණුව ආදියට ඔවුන්ට සම්බන්ධ කර නොමැති තරම්ය. මෙම ග්‍රාමීය ප්‍රදේශවල පිරිමින්ට සාපේක්ෂව මෙම කාන්තාවන්ට බාහිර ලෝකයට සම්බන්ධ වීමට ඇති අවස්ථා ඉතාම අඩුය. යන්ත්‍ර සූත්‍ර, පෝෂණ සහ වෙනත් පුහුණුවීම් සඳහා පිරිමි කණ්ඩායම් පිට පළාත්වලට යන අවස්ථා තිබුනද කාන්තාවෝ සිය සම්ප්‍රදායික භූමිකාවලට කොටුවී ගමට සීමාවී සිටීම බොහෝ විට දැකගත හැකිය. කාන්තාවෝ වැඩි වශයෙන් ග්‍රාමීය ප්‍රදේශවල කොටු වී සිටිය ද, රටේ සමාජ-දේශපාලන කරුණු පිළිබඳ යම් අවබෝධයක් ද ඔවුන් සතුව ඇති බව පෙනේ.

මෙම ප්‍රදේශවල තරුණයන් යෞවනයේ මුල් අවදියේ දී ම මත්පැන් පානයට හුරු වීම දැකගත හැකි වන අතර, එයින් එම පවුල්වල මෙන් ම ප්‍රජාව තුළ ද විවිධ ගැටලුමය තත්ත්වයන් ඇති වීම පෙනෙන්නට ඇත.

කිරි එකතු කිරීම සඳහා කිරි කෑන් හෝ බහාලුම් ලබා ගැනීම සඳහා අරමුදල් හිගකමද කාන්තාවන්ට ඇති ගැටළුවකි කාන්තාවන් පවසන පරිදි වැසි දිනවලදී කිරි විකිණීම දුෂ්කර ය. කිරි උණු කිරීමට වැඩි ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය බැවින් ඒ සඳහා වැඩි ඉඩ ප්‍රමාණයක් තිබිය යුතු ය. ඔවුන්ගේ කිරි නිෂ්පාදන වෙළඳපොළට ප්‍රවාහනය කිරීමද ඔවුන්ට ගැටලුවකි

මි කිරි ඉක්මනින් නරක් වන හා දිගු කලක් තබා ගත හැකි නිෂ්පාදනයක් නොවන බැවින් මේ තත්ත්වය ඔවුන්ට වෙළඳපොළට පිවිසීමට ඇති ප්‍රධාන අභියෝගයකි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ උන්ගලාවෙහෙර ප්‍රදේශයේ ක්‍රියාත්මක ගමින් වෙළඳපළට (V2M) ව්‍යාපෘතිය, කාන්තා කිරි ගොවින් පිලිබඳ සාර්ථක අත්දැකීමකි 2015 වර්ෂයේ සිට හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ උනගලාවෙහෙර සහ රාජාලගම යන ගම්මානවල, සංවර්ධන පහසුකම් සැලසීම සඳහා වූ ශ්‍රී ලංකා සම්මේලනය (SLCDF) විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

මෙම ව්‍යාපෘතියේ මූලික අධ්‍යයනය මගින් කෘෂිකර්මාන්තය හා සම්බන්ධ ගැටලු ලෙස හඳුනාගෙන ඇත්තේ පානීය ජලය ඇතුළු ජල හිගය, වන සතුන්ගේ බලපෑම, නව දැනුමක් නොමැතිකම සහ පලදායී නොවන සාම්ප්‍රදායික තාක්‍ෂණය භාවිත කිරීම ආදිය ය. සංවර්ධන කටයුතුවලට සහභාගී වීමට කාන්තාවන්ට ඇති අකමැත්ත සහ සාමූහික ක්‍රියාකාරිත්වයේ බලය පිළිබඳ ඔවුන්ට විශ්වාසයක් නොමැතිකම ද මෙම මූලික අධ්‍යයනයේ නිරීක්‍ෂණයන් ය.

කාන්තාවන් තම ප්‍රජාවන් තුළ හුදෙකලා වී සිටින බවත්, වඩා හොඳ අනාගතයක් සඳහා සැලසුම් කිරීම සඳහා අවශ්‍ය වන ඉතිරි කිරීම් පිළිබඳ විශාල අපේක්ෂාවන් නොමැති බව ජිවත්වන බවත් මෙහි දී හඳුනාගෙන ඇත. කෙසේ හෝ එදිනෙදා ජීවත් වීමේ අරමුණින් සකස් වූ ජීවනෝපාය උපායමාර්ග පමණක් ඔවුන් සතුව පවතින බව ද මෙම අධ්‍යයනය මඟින් හෙළි වී ඇත.

ඉහත අභියෝගයන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම, ගමින් වෙළඳපළට (V2M) ව්‍යාපෘතියේ අරමුණු වී ඇත. මෙම ව්‍යාපෘති තුළ සිදුවන ක්‍රියාකාරකම්වල දී ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ කිරි ගොවිතැන, ගෙවතු වගාව, රටකජු වගාව සහ තිරසාර වෙළඳපොළක් අත්පත් කර ගැනීම සඳහා කටයුතු කිරීම යන යහපත් කෘෂිකාර්මික පරිචයන් අනුගමනය කිරීමට ය

2018 සිට මෙම ව්‍යාපෘතියට සම්බන්ධ ගම්මානවලට මුහුණ දීමට සිදු වූ ජලය පිළිබඳ ගැටලුව විසඳූ මොරහහකන්ද ජලාශයෙන් ප්‍රමාණවත් තරම් ජලය මේ වනවිට ලැබෙමින් පවතින අතර, එහි ප්‍රතිපලයක් ලෙස දැන් ගම්වාසීන්ට සෘතු තුනක දීම වී වගා කිරීමට හැකි වී තිබේ. ව්‍යාපෘතිය ආරම්භයේ දී, එනම් වර්ෂ 2015 දී පමණ උණගලාව ගම්මානයේ ගවයන් දස දෙනෙකු පමණ සිටියහ. ව්‍යාපෘතියේ මැදිහත්වීමත් සමඟ මෙම සංඛ්‍යාව ගවයින් 350 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති අතර ව්‍යාපෘතිය මගින් බෙදාදුන් ඉහළ වර්ගයේ ජර්සි ගවයන් 80 ක් ද මීට ඇතුළත් ය.

කේන්ද්‍රීය කණ්ඩායම් සාකච්ඡාවට සහභාගී වූ ප්‍රතිලාභීහු මෙම ව්‍යාපෘති මැදිහත්වීම්වලට පෙර ඔවුන්ගේ අත්දැකීම් ලෙස ප්‍රමාණවත් ජලය නොමැති වීම සහ අස්වැන්න වැඩි කිරීම සඳහා පළිබෝධනාශක භාවිතා නොකර සාම්ප්‍රදායක කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීම වැනි කරුණු පැහැදිළි කළහ.

ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික පදනමක් සහිත ප්‍රජාවක් ලෙස කාන්තාවන් සෑම විටම ව්‍යංජන කොළ සහ මිරිස් වැනි අත්‍යවශ්‍ය පැළ ඔවුන්ගේ ගෙවත්තේ වගා කර ඇති නමුත් ඔවුන්ගේ උත්සාහය එතරම් ඵලදායි නොවන බව තේරුම් ගෙන ඇත. සමහර පවුල්වලට පරම්පරා ගණනාවක් තිස්සේ එක කිරි එළදෙනක් පමණක් සිට ඇති අතර, ඔවුන්ගේ මෙම පුරුද්ද ඔවුන්ගේ සාමාන්‍ය ජීවන රටාවේ කොටසක් ලෙස ඉදිරියට ගෙන ගොස් ඇත. එය පැහැදිලිව ආර්ථික ක්‍රියාදාමයක් ලෙස ක්‍රියාත්මක වී නැත.

කාන්තාවන්ට සිය ජීවනෝපාය පිළිබඳ තීරණ ගැනීමේ දී තොරතුරුවලින් සන්නද්ධ ව තීරණ ගැනීමට තරම් වූ ඉහළ මට්ටමකට ඔවුන්ව සවිබලගැන්වීමට මෙම ව්‍යාපෘතිය මගින් කටයුතු කර ඇත. අලුතින් ඉපදෙන එක වසු පැටවකු මෙම ව්‍යාපෘතියට ආපසු ලබා දීමේ එකඟතාවය මත ආර්ථික වශයෙන් අපහසුතා ඇති කාන්තාවන්ට ජර්සි ගවයන් ලබා දී ඇති අතර, එමගින් එම සමාජ ස්ථරයේම තවත් කාන්තාවන්ට ගවයන් ඇති දැඩි කිරීමට ලැබෙන අවස්ථාව වැඩිවන බව දැක ගත හැකි ය.

කිරි ගොවීන්ට සත්ව පාලනය පිළිබඳ පුහුණුව ලබා දී ඇත. ගවයන් පෝෂණය කිරීම සඳහා තණකොළ හා පිදුරු ආදිය ආරක්ෂිතව තබාගැනීම පිළිබඳ ඔවුන්ගේ දැනුම හොඳ මට්ටමක ඇත. ඔවුන් සතු සීමිත කෘෂිකාර්මික ඉඩම්, වී වගාව සඳහා යොදා ගෙන ඇති අතර, ගවයන් රඳවා තබා ගන්නා ස්ථානය ආසන්නයේ ඉහළ මට්ටමේ පෝෂණයක් සහිත තණකොළ වර්ග වගා කිරීමට ද පියවර ගෙන ඇත. මෙම ස්ථානවලට කාන්තාවන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි බවද පෙනෙන්නට තිබිණි. ඒකාබද්ධ බෝග කළමනාකරණය කිරීම සහ කිරි ගොවිතැන තුළින් කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ඔවුන් කුසලතා හා දැනුම ලබාගෙන තිබිණි.

ව්‍යාප්ති නිලධාරීන්ගේ සහයෝගය හා ඔවුන් සමඟ ඇති සබඳතා ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් විසින් අගය කෙරිණි. ව්‍යාපෘතියට පෙර මෙම ව්‍යාප්ති නිලධාරීන් ඵලදායී පිරිස් බව ඔවුන් නොසැලකූ අතර, ගම් මට්ටමින් මෙම නිලධාරීන් සමඟ සම්බන්ධ වීමේ අවශ්‍යතාවයක්ද දක්නට නොලැබුණි. කෙසේ වෙතත්, ව්‍යාපෘති ක්‍රියාකාරකම් සාර්ථක වීම හේතුවෙන් ව්‍යාප්ති නිලධාරීන්ට සහ ගම්වැසියන්ට ශක්තිමත් පදනමක් සහිත ව, සහයෝගීතාවයෙන් එකට වැඩ කළ හැකි වේදිකාවක් මේ වනවිට නිර්මාණය වී ඇත.

ගමින් වෙළඳපළට (V2M) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් පැහැදිළි කරමින් කාන්තාවන් කියා සිටියේ, ඔවුන්ගේ ආකල්ප හා අභිලාෂයන් තුළ වෙනස්කම් සිදුවී ඇති බව යි. ඔවුන්ට වැඩි බලාපොරොත්තුවක් තිබූ අතර පවුලේ ආදායමට ද දායක විය හැකි බව ට ආඩම්බරයක් ඔවුන් සතුව විය. ඉහළ අස්වැන්නක් සඳහා රසායනික පළිබෝධනාශක භාවිතා කිරීමට පිරිමින් උත්සාහ කරන බැවින් පිරිමින්ගේ හා කාන්තාවන්ගේ ආකල්පවල වෙනස්කම් තිබු තිබිණි. එහෙත් කාන්තාවන් රසායනික පළිබෝධනාශක භාවිතය වළක්වා ගැනීම සඳහා වෙනස් ආකාරයකින් මැදිහත් වී සාම්ප්‍රදායක පිළිවෙත් අනුගමනය කිරීමට කැමැත්තක් දැක්වීම දැකගත හැකි විය.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම හා දේශගුණික විපර්යාස පිළිබඳ ඔවුන් ලබා ඇති දැනුම නිසා ම පාරිසරික ගැටලු සම්බන්ධයෙන් සාමුහිකව කටයුතු කිරීමට ඔවුන් පෙළඹී ඇත. කාන්තාවන්ට අනුව පිරිමින් සත්ව පාලනය සඳහා කාලය වැය කිරීමට වැඩි කැමැත්තක් නොදක්වන්නේ මෙම ක්‍රියාවලිය කාලය ගතවන නිසා සහ වී වගාවට සාපේක්ෂව ආයෝජනයට ලැබෙන ප්‍රතිලාභ අඩු බැවිනි.

මෙම ව්‍යාපෘතිය මගින් කාන්තාවන්ට ඉඩම් කළමනාකරණය පිළිබඳ පුහුණුව ලබා දී ඇති අතර, ඒකාබද්ධ කෘෂිකාර්මික භාවිතයන් ප්‍රවර්ධනය කර ඇත. දැන් ඔවුන් වෙළඳපොළෙන් එළවළු මිල දී නොගන්නා අතර පරිභෝජන අවශ්‍යතා සපුරා ගන්නේ තමන්ගේ ම නිෂ්පාදනවලිනි.

COVID-19 හේතුවෙන් රජය විසින් පනවා ඇති සංචරණ සිමා හේතුවෙන් ඇති වූ ගැටලු මඟහරවා ගැනීමට ඔවුන්ට මෙම ව්‍යාපෘතියේ මැදිහත්වීම් හෝ ක්‍රියාකාරකම් උපකාර විය. මේ වන විටත් තමන්ගේම වගාව මත යැපෙන බැවින් ආහාර සැපයුම් ලබා ගැනීමේදී මෙම දුෂ්කර කාලයේ දී කිසිදු අපහසුතාවයකට මුහුණ නොදුන් බව සාමාජික කාන්තාවෝ පවසති. තවද, මෙම කාලය තුළ, වෙළෙඳුන්ට හා අතරමැදියන්ට තොග වෙළෙඳපොළෙන් එළවළු මිල දී ගැනීමට නොහැකි වූ නිසාත්, ඒවා ගම් මට්ටමේ කුඩා ගොවීන්ගෙන් එකතු කර ගැනීමට සිදු වූ නිසාත්, ඔවුන්ගේ නිෂ්පාදන දුෂ්කරතාවයකින් තොරව විකිණීමට හැකි වූ බව ඔවුන්ගේ අදහස යි.

කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් කාන්තාවන් විසින් සාමූහිකව පවත්වාගෙන යනු ලබයි. නිර්දේශිත ප්‍රමිතීන්ට අනුකූලව කිරිවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම හා ගබඩා කිරීම, කෘතිම සිංචනය සහ අභිජනන චක්‍ර, ගැබිනි එළදෙනුන් සහ පැටවුන් රැකබලා ගැනීම වැනි කිරි කර්මාන්තයේ විවිධ අංශ පිළිබඳ මෙම වගකීම් පවරා ඇති කාන්තාවන්ට පුහුණුව ලබා දී ඇත.

සාමාන්‍යයයෙන් දිනකට දෙවරක් කිරි දොවා එකතු කිරීමේ මධ්‍යස්ථානයට උදෑසන ගෙන එනු ලැබේ. කෙසේ වෙතත්, නිවසේ ශීතකරණයක් නොමැති අයට සවස් වරුවේ දී එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත ගොස් අඳුර වැටීමට පෙර ආපසු ගෙදර යෑමට නොහැකි බැවින් කිරි දෙවීම සවස කාලයේ කිරීම ප්‍රයෝගික ගැටලුවක් ලෙස දැකගත හැකි ය.

කිරි නිෂ්පාදන අංශයේ ඓතිහාසික පැතිකඩ හා කාන්තාවන්ගේ සහභාගීත්වය මෙම සිද්ධි අධ්‍යයනවලින් පිළිබිඹු වේ. කිරි ගොවීන් විසින් ලබා දෙන ලද තොරතුරු වලින් පෙනී යන්නේ තණබිම්වල විශාලත්වය කුඩා වීම වැනි හේතු නිසා ගවයන් විශාල ප්‍රමාණයක් කළමනාකරණය කිරීම අභියෝගයක් වී ඇති බව යි. කිරි පට්ටි කුඩා වීම නිසා කිරි පට්ටි කළමනාකරණය පිරිමින්ගෙන් කාන්තාවන් වෙත මාරු වී තිබේ. ගෘහණියක් ලෙස නිවසේ කටයුතු කරන අතරතුර පාලනය කර ගත හැකි ගවයන් සංඛ්‍යාවක් බලාගැනීමට කාන්තාවෝ වැඩි කැමැත්තක් දක්වති. වී ගොවිතැනෙන් සහ කම්කරු වැඩවලින් සිය සැමියන් විසින් උපයන ලද මුදල් හා සසඳන විට තමන් ලබන දෛනික ආදායම අඩු වුණ ද, කාන්තාවන් තම කිරි ව්‍යාපාරවලින් උපයන ස්ථාවර ආදායමට වැඩි කැමැත්තක් දක්වන්නේ එමගින් සිය පවුලේ දෛනික පාරිභෝගික අවශ්‍යතා හා දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට එය උපකාර වන බැවිනි. මෙම අංශයට සම්බන්ධ කාන්තාවන් හට නව නිෂ්පාදනවලට අගය එකතු කිරීම සඳහා වඩා හොඳ ප්‍රවේශයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව මෙහි දී සාකච්ජාවට භාජනය කළ යුතු ය

ක්ෂේත්‍ර මට්ටමින් කරන ලද නිරීක්ෂණ මගින් ලබා ගත් දැනුම මත ප්‍රතිපත්ති සැකසීම සඳහා පහත යෝජනා ඉදිරිපත් කළ හැකි ය.

  • කුඩා පරිමාණ කිරි නිෂ්පාදනය බොහෝවිට විධිමත් පුහුණුව අඩු ගොවීන් විසින් සිදුකරනු ලබයි. වර්තමානයේ දැකිය හැකි තාක්ෂණ හා කළමනාකරණ ක්ෂේත්‍රවල සිදුවෙමින් පවතින දැනුමේ ශීඝ්‍ර වර්ධනය පිළිබඳව හොදින් සලකා මෙම අංශයේ පුහුණු අවශ්‍යතා තක්සේරු කර, ගොවීන්ට අවශ්‍ය දැනුම ලබා දීම සිදුකළ යුතු ය.
  • මෙම ක්ෂේත්‍රයේ බිම්මට්ටමින් සිටින පෙරටුගාමී සේවකයන්ව මුලින්ම නිපුණතා අවශ්‍ය පිරිස වන බැවින් මුලිකව ඔවුන් ඉලක්ක කොට පුහුණු කටයුතු සංවිධානය කළ යුතුය.
  • කිරි ගොවිතැනේ නියුතු කාන්තාවන්ගේ කාර්යභාරය හා නිපුණතා තක්සේරු කර ඒවා කුඩා පරිමාණ කිරි නිෂ්පාදන මට්ටම සමඟ සම්බන්ධ කළ යුතු ය.
  • කිරි ගොවිතැන සඳහා වන පුහුණුව ඉලක්ක ගත ව සිදුකළ යුතු ය. සැමට සාධාරණ ලෙස එම පුහුණුව ලබා දිය යුතු අතර, එම නිෂ්පාදනවලට අගය එකතු කිරීමේ ක්‍රම ඇතුළත් විය යුතු ය.
  • කාන්තාවන් පලදායී කිරි එකතු කරන්නන් ලෙස කටයුතු කරයි බැවින් එයට අදාල මුල්‍ය කළමනාකරණ හා අලෙවිකරණ පුහුණුව ලබා දිය යුතුය
  • කාන්තාවෝ කුඩා කිරි ගොවිපළවලට වැඩි කැමැත්තක් දක්වති. එමගින් ඔවුන්ට දෛනික අවශ්‍යතා සපුරාලන ස්ථාවර හා සාමාන්‍ය ආදායමක් ලැබෙන බැවින් කුඩා කිරි ගොවිපළවල් පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් හා පුහුණුව ලබා දිය යුතුය.
  • විශාල ගව පට්ටි සහ මී හරකුන් පාලනය සම්පුර්ණයෙන්ම පාහේ පිරිමි විසින් කරනු ලබයි. කාන්තාවන් මෙම ක්ෂේත්‍රය තුල සම්බන්ධවීමට අවශ්‍ය පහසුකම් හා පුහුණුව ලබා දිය යුතුය.
  • කිරි නිෂ්පාදන ඒකක පවත්වාගෙන යෑමේ දී කාන්තාවන් බොහෝ අවදානම්වලට මුහුණ දෙන අතර, ඇතැම් ඒවා මාරාන්තික මට්ටමේ අවදානම් ලෙස හඳුනා ගත හැකි ය. මේ නිසා ඔවුන් මුහුණ දෙන අවදානම අවම කිරීමට හා ඔවුන්ට රක්ෂණ වැනි රැකවරණයන් ලබාදීමට ක්‍රියා කළ යුතුය.
  • පොදු ඉඩම්වල ගවයන්ට තණ කොළ කෑමට ඉඩ දීම හා තණ කොළ කැපීම කාලයත් සමග තවදුරටත් පහසු කටයුත්තක් නොවේ. එය අභියෝගයකි. එම නිසා ගවයන්ට පහසුවෙන් තණකොළ හා යෝග්‍ය ආහාර ලබා ගැනීමට ක්‍රම වේද සැකසිය යුතුය.
  • කුඩා කිරි නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරීන් සඳහා අවශ්‍යවන පුහුණුව අවශ්‍යතාවයට අනුව සැලසුම් කලයුතු අතර එහිදී අදාළ සියලු මාතෘකා ආවරණය කළ යුතු ය.
  • තිරසාර බව, දේශගුණික විපර්යාසය, පළිබෝධ නාශක භාවිතයේ දී ඇතිවන බලපෑම් අතර ඇති සම්බන්ධතා පිළිබඳ නව දැනුම හා අවබෝධය තවදුරටත් ලබාදීමට ක්‍රියා කළ යුතුය.
  • කිරි ගොවීන්ට ස්ථාවර ආදායම් උපයන්නන් ලෙස ඔවුන්ගේ නායකත්ව කුසලතා, විශ්වාසය සහ ආත්ම අභිමානය වර්ධනය කර ගැනීමට තවදුරටත් පුහුණුව හා පහසුකම් ලබාදිය යුතුය.
  • සංවිධානය වී ඇති කිරි ගොවීන්ට වඩාත් හොඳ සේවා වෙත ප්‍රවේශ වීමටත්, පලදායී සම්බන්ධතා වර්ධනය කර ගැනීමටත්, හැකි ව තිබේ.
  • රාජ්‍ය නොවන සංවිධාන (NGO) සහ ප්‍රජ මූල සංවිධාන (CBO) මගින් කිරි එළදෙනුන් ලබාගත් කාන්තාවන් සමාජයේ අනෙකුත් කාන්තාවන්ගේ යහපැවැත්ම ගැන වැඩි සැලකිල්ලක් දක්වයි. හවුල්කාරිත්වය සහ සමාජයීය වගකීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ කැමැත්ත පෙන්වන මෙවැනි ව්‍යපෘති ප්‍රවර්ධනය කළ යුතුය.
  • සාර්ථක ව්‍යවසායකයන් වීමට කාන්තාවන්ට හැකියාවන් තිබුණ ද, ඒ සඳහා අවශ්‍ය දැනුම ලබා දීම හා නිසි මඟපෙන්වීමක් නොමැති වීම දැකිය හැකි බැවින් මේ පිලිබඳ දැනුම, පුහුණුව හා පහසුකම් ලබා දිය යුතුය.
  • සාමූහික වශයෙන් සංවිධානය වී සිටින කාන්තාවන්ට වඩා හොඳ කේවල් කිරීමේ බලයක් සහිතව, වඩා හොඳ වෙළඳපොළක් පවත්වා ගැනීමට හැකි වී තිබෙන බැවින් මෙම කාන්තාවන්ගේ සාමුහිකත්වය වර්ධනය කිරීමට ක්‍රියාමාර්ග ගත යුතුය.
  • ගෘහස්ථ වගකීම් ඉටුකිරීම, ඔවුන්ගේ ආදායම් උත්පාදනය කිරීමේ ක්‍රියාකාරකම් සමග සමාන්තරව හා සමබරව පවත්වාගෙන යෑමේ අභියෝගයට කාන්තාවට මුහුණ දීමට සිදු ව ඇත. ව්‍යාප්ති සේවා සැපයීමේ දී මෙම කරුණු සැලකිල්ලට ගත යුතු ය. මෙහි දී සෑම පැතිකඩක්ම ආවරණව වන පරිපූර්ණ ප්‍රවේශයක් ගැනීමට මෙම ව්‍යාප්ති සේවා සැලසුම් කළ යුතුය.
  • සේවා සැපයීම සාමූහිකකරණය හා වෘත්තීයකරණය සඳහා බොහෝ හැකියාවන් ඇති නිසා ඒ පිලිබඳ දැනුම, පුහුණුව හා පහසුකම් ලබා දිය යුතුය.
  • සේවා සැපයුම් පද්ධතිය පිළිබඳ විශ්වාසය වැඩිදියුණු කිරීම සහ ආයෝජන සඳහා ප්‍රතිලාභ ලබා දීම සඳහා සේවා සැපයීම වෘත්තීමය මට්ටමකට ගෙන ඒම සහ සේවා සොයන්නන්ට වගවීම ඇති ශක්තිමත් කිරීමට පියවර ගත යුතුය.
  • කාන්තාවන් සතුව ඇති ශ්‍රමය සැපයීමේ හැකියාව හා කළමනාකරණ හැකියාව කිරි ගොවිතැන සඳහා මනාව ගැලපෙන නිසා එය කාන්තාවන්ට පහසුවෙන් කළ හැකි ව්‍යවසායක කටයුත්තක් ලෙස ප්‍රවර්ධනය කළ යුතුය.
  • කිරි ගොවිතැනින් ලැබෙන්නේ සාමාන්‍ය ආදායමක් වුව ද, එය ස්ථාවර බැවින් අඛණ්ඩ මුදල් ප්‍රවාහයකට ඉඩ සැලසේ. අනෙකුත් ව්‍යාපාර සමඟ සසඳන කල, ආදායම් උච්ඡාවචනය වීමේ අවදානම සහ අඛණ්ඩ ආදායමක් අහිමි වීමෙන් පවුල මුහුණ දෙන කම්පන තත්ත්වයන් ගෙන් ආරක්ෂා වන බැවින් ඔවුන්ට මුල්‍ය කළමනාකරණය පිලිබඳ හොඳ දැනුමක් හා පුහුණුවක් ලබාදිය යුතුය.
  • මෙම කිරි නිෂ්පාදන ඒකක ක්‍රියාත්මක කරමින්, පවුල් ඒකකයකට අවශ්‍ය ශ්‍රම සැපයුම ද ලබා ගැනීමට මෙහි දී කාන්තාවන් හට ඉඩ සැලසෙන බැවින් මෙම ක්ෂේත්‍රයේ කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කළ යුතුය.
  • කුඩා පරිමාණ කිරි ගොවිතැන නොකඩවා පවත්වා ගෙන යෑමට මෙම විශ්වසනීය ව්‍යාප්ති සේවා සහ උපදේශන සේවා නිරන්තරව උපකාරී වී ඇති බව පැහැදිළී ලෙස දැක ගත හැකි බැවින් මෙම ව්‍යාප්ති සේවා හා උපදේශන සේවා තවදුරටත් පුළුල් කළ යුතුය.
  • මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට ස්ථාවර ආදායමක් ලබා ගැනීමට කැමති වරප්‍රසාද අහිමි කාන්තාවන්ට සුදුසු ව්‍යාපාරයක් ලෙස හා එය සමාජ සවිබල ගැන්වීම සඳහා ඵලදායී මාවතක් ලෙස කාන්තාවන් අතර කිරි ගොවිතැන ප්‍රවර්ධනය කළ යුතුය.
  • කාන්තාවන්ට සිය කටයුතු සාර්ථකව සිදුකර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන පශු සම්පත් ව්‍යාප්තිය හා උපදේශන සේවා කාර්යක්ෂමව ලබා දීමට පියවර ගත යුතුය.
  • වරප්‍රසාද අහිමි හා දුප්පත් කාන්තාවන්ට කිරි ගොවිතැන සාර්ථක කර ගැනීමට අවශ්‍ය මූලික උපකරණ හා උපාංග සැපයිමට ක්‍රියා කළ යුතු ය.

දිලන්ත විතානගේ