කාන්තාව හා කුඩා තේ වතු අංශය

small-tea-workers

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කාන්තාවන් විසින් දක්වනු ලබන දායකත්වය ඉතා ඉහළ මට්ටමක තිබුනද විවිධ හේතු නිසා ඔවුන්ව නිසි ඇගයීමකට ලක් නොවීම මෙන්ම සමහර ක්ෂේත්‍රවලදී කළමනාකරණ තීරණ ගැනීම් කරනු ලබන ඉහළ තනතුරු හා වගකීම් දැරීමට සම්බන්ධ කරගැනීමේ අවස්ථා අඩු වීමද සිදුවන බව පෙනෙන්නට තිබේ. ජාතික තොරතුරු පිලිබඳ දත්ත පදනමක් නොමැතිකම කම මෙන්ම විශ්වාසදායක තොරතුරු අඩු කම නිසා මේ කරුණු පිළිබඳව ප්‍රමාණාත්මක තොරතුරු හිඟයක් පවතින අතර කෘෂිකර්ම හා ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම අවිධිමත් අංශවල තත්ත්වය පිලිබඳ තොරතුරු අඩුකම විශේෂ අවධානයට ලක් විය යුතුය. මේ නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙසේ අවිධිමත්ව සම්බන්ධ වී ඇති එහෙත් රටේ දියුණුවට හා පැවැත්මට විශාල දායකත්වයක් දක්වනු ලබන ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ සැඟවුණු මේ ශක්තිය නිසි ඇගයීමකට ලක් නොවීමත්, ඔවුන්ට කළමනාකරණ මට්ටමේ අවස්ථා අහිමි වීමත් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදනයේදී මෙන්ම ක්‍රියාත්මක කිරීමේදී ඔවුන්ට නිසි අවධානයක් නොලැබීමත්, ඔවුන්ගේ හඬට අඩු බලපෑමක් තිබීමත් වැනි කරුණු දක්නට තිබේ. මේ නිසා දශක කිහිපයක් තිස්සේ කාන්තා ගැටලු හා අයුතිවසිකම් වෙනුවෙන් පෙනී සිටින හා කටයුතු කරන විශේෂයෙන්ම ඒ පිලිබඳ පර්යේෂණ සිදු කරන ජාතික මට්ටමේ සංවිධානයක් වන කාන්තා පර්යේෂණ මධ්‍යාස්ථානය (CENWOR) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ආධාර හා උපදෙස් මත ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ප්‍රධාන ප්‍රවාහයට ගෙනඒමට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීම උදෙසා අදහස් ලබා ගැනීමට සිද්ධි අධ්‍යයනයන් සිදු කළ අතර එම අදහස් පදනම්ව සකස් කරනු ලැබූ ප්‍රතිපත්තිමය යෝජනා මේ වන විට විවිධ පාර්ශව සමග විවිධ මට්ටම් වලින් සාකච්ජාවට භාජනය වෙමින් පවතී. ආර්ථිකය තුළ සැබැවින්ම ඇගයියයුතු එහෙත් ප්‍රමාණවත් අවධානයට ලක් නොවී ඇති මෙම කාන්තාවන්ගේ ඩහදියට නිසි වටිනාකමක්ලබා දී ඔවුන්ගේ මහන්සියට සාධාරණයක් ඉටු කිරීමට මෙම ප්‍රතිපත්ති යෝජනා වලට රජයේ හා අදාළ පාර්ශවයන්ගේ අවධානය යොමු කොට නිසි පියවර හැකි ඉක්මනින් ගැනීම සඳහා කාන්තා පර්යේෂණ මධ්‍යාස්ථානය (CENWOR) විසින් මේ වනවිට කටයුතු කරමින් තිබේ.

මෙම අධ්‍යයනයන් සිදුකිරීමේදී ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම හා ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් අවිධිමත්ව නියැලී සිටි යැයි සැලකෙන, අභ්‍යන්තර ධීවර හා ජලජීවී වගා, කුඩා තේ වතු, කිරි නිෂ්පාදන, අපනයන කෘෂිකාර්මික වැනි අංශ මෙන්ම ඒ හා ඍජුව සම්බන්ධ වාරිමාර්ග හා කෘෂිකාර්මික ව්‍යාප්ති අංශ පිළිබඳවත් අවධානය යොමු කරන ලදී.

දිනකට ලොව පුරා තේ කෝප්ප බිලියන දෙකක් පමණ රස විඳින අතර අපේ සුප්‍රකට “සිලෝන් ටි” ලොව අංක එකේ තේ ලෙස ඉදිරියෙන්ම සිටි. මෙම රසවත් උණුසුම් තේ කෝප්පය තුළ ගැලී ඇත්තේ ඉතා දුක්මුසු කතාවකි. රටට ප්‍රධානම විදේශ විනිමය උපයන ප්‍රභවය වන මේ තේ කර්මාන්තය සඳහා යෝධ ශක්තිය වනුයේ මේ කාන්තාවන් ය. ඉතා දුෂ්කරම තත්ව හා අඩු පහසුකම් යටතේ දුක්විදිමින් සිය ශ්‍රම දායකත්වය සපයන ලක්ෂ සංඛ්‍යාත වූ තේ දලු නෙලන කාන්තාවන් උපයන්නේ මෙම කර්මාන්තයෙන් උපයන ඉහළ විදේශ විනිමයෙන් ඉතා සුළු ප්‍රතිශතයකි.

තේ කතාවේ සැඟවුණු වීරවරියන් වන්නේ දලු නෙලන්නියන්ය. තේ කර්මාන්තයේ පැහැදිලි සංකේතය වනුයේ දලු නෙලනා කාන්තාවන් වුවද මෙම සාකච්ජාවේ ප්‍රස්තුතය වන්නේ කුඩා තේ වතු හා බැඳුනු කාන්තා ශ්‍රමය යි. මෙම අංශය ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ කොඳු නාරටිය වන අතර එය තේ වගා කර ඇති සමස්ත භුමි ප්‍රමාණයෙන් 60% කි. ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 75% කම ලැබෙන්නේ මේ කුඩා තේ වතු අංශයෙනි. සාපේක්ෂව අක්කර 10 ට අඩු කුඩා ඉඩම්වල සිය පවුලේ ව්‍යාපාර ලෙස මේ අංශය ගොඩ නැගී ඇත.

විශාල තේ වතුවල මෙන් තේ නිෂ්පාදනය කිරීම මෙම කුඩා තේ වතුවල සිදු නොකරන අතර ඔවුන් ව්‍යාපාරික මැදිහත්කරුවකු හරහා විශාල තේ කර්මාන්ත ශාලාවලට සිය අස්වැන්න විකිණීම සිදු කරයි. ප්‍රතිලාභ දාමයේ පහලම පුරුකක් වන කුඩා තේ වතු අංශයේ නියුතු කාන්තාවන්ගේ පහළ ආර්ථික තත්ත්වයට හේතුවන්නේ ඔවුන් දක්වන කැපවීමේ අඩුපාඩුවක් හෝ ක්‍රියාවලියේ ඇති දුර්වලතාම නිසාම නොවේ.

බොහෝ කාන්තාවන් අක්කර එකක් හෝ දෙකක් හෝ ඊට ආසන්න වූ වපසරියක් සහිත ඉඩමක මෙම තේ වගාව කරන අතර සාමන්‍යයෙන් අක්කරයකට දිනපතා තේ දලු කිලෝග්‍රෑම්දහයක් පමණ නෙලීම් කරනු ලබයි ඔවුන්ගේ නිවාසද පිහිටා තිබෙන්නේ මෙම ඉඩම්වලාමය. සුළු පරිමාණ තේ වගාව වගාව කරනකාන්තාවන් ඇති බහුතරයක් සම්ප්‍රදායික ලෙස ප්‍රමුඛත්වය ලබා දෙන්නේ තම පවුලටය. ඔවුන් ඉයුම් පියුම්, දරුවන් රැක බලා ගැනීම හා ගෙදර දොර පිරිසිදු කිරීම ඇතුළු සියලු ගෘහස්ත කටයුතු සිදු කරන අතර දිනපතාම සිය දරුවන් පාසලට ගෙන යාමට හා ආපසු නිවසට කැඳවා ගෙන ඒමට ආදී කටයුතුවලද නිරත වේ. එලෙසම ඔවුන් සිය පුරුෂයාන්ගේ අවශ්‍යතා පිළිබඳවද උනන්දුවෙන් සොයා බැලීම කරනු ලබයි . මෙයට අමතර බොහෝ කටයුතුවල කාන්තාවන්ට නිරත වීමට සිදු වී තිබේ. බොහෝ විට මෙම ඉඩම්වල අයිතිය කාන්තාවන්ට නොමැත. ඒවා ඔවුන්ගේ පුරුෂයන්ට හෝ පවුලට අයත් ඉඩම්ය. මෙම කුඩා තේ ඉඩම්වල ප්‍රධාන කම්කරුවා වන්නේ මෙම කාන්තාවන් වුවද එහි සියලු තීරණ ගැනීමේ බලතල ඔවුන්ගේ පුරුෂයා සතු වේ. ඔවුන්ගේ පවුල්වල් දරුවන් යම් අසනීප හෝ ආබාධිත වුවහොත් මෙම වගකීම්ද වැඩිවශයෙන් දරන්නේ මෙම ගොවි කම්කරු භුමිකාවේ නිරත කාන්තාවන් විසිනි. සමහර අවස්ථා වලදී ඔවුන් තේ පැල තවාන් නඩත්තු කිරීම වැනි කටයුතු ද සිදු කරනු ලබති.

සිය දෛනික ආදායම ඉපයීම සඳහා කාන්තාවන්ට සිය අස්වැන්න තේ දලු එකතු කරන්නාට විකුණයි. මෙම අංශයේ බහුතරයක් කාන්තාවන්ට ඔවුන්ගේ දැඩි කැපකිරීමට හා මහන්සියට විශේෂ වටිනාකමක් තබා වශයෙන් කාරුණික වදනක්වත් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි.

මේ තත්ත්වය කාන්තාවන්ගේ ත්‍රිත්ව භුමිකාවේ තවත් මානයකි. මේ සියල්ල තුල කාන්තාවක් වශයෙන් මවගේ භූමිකාව ඔවුන්ගේ ප්‍රධාන අවධානය වේ.

පවුල ආශ්‍රිතව ඔවුන් විසි යොදනු ලබන ශ්‍රමය සඳහා නිසි වටිනාකමක් හෝ අගය කිරීමක් සිදු නොවීම පැහැදිලිව දක්නට ලැබේ.

මෙම කුඩා තේ වතුවල අවිධිමත් ශ්‍රමිකයන් ලෙස මුහුණ දෙන තත්වයන් මෙම කාන්තාවන් ගේ රැකියාවල සුරක්ෂිතභාවය දැකිය නොහැකි අතර ඔවුන්ට ව්‍යස්ථාපිත ප්‍රතිලාභ නොලැබේ. ඔවුන්ට නිශ්චිත කාල රාමුවක් රහිතව වැඩ කිරීමට සිදුවීම මෙන්ම සාමාන්‍ය සේවකයන්ට හිමි සෞඛ්‍ය ප්‍රතිලාභ නොමැතිවීම , වෘත්තීය සෞඛ්‍යාරක්ෂාව නොමැතිවිම , මාතෘ ප්‍රතිලාභ නොමැතිවීම දැකිය හැක. ඔවුන් සැබවින්ම අවිධිමත් ලෙස රැකියා කරන අවාසනාවන්ත පිරිසකි. මෙම ක්ෂේත්‍රයේ පුහුණු කටයුතු බොහෝවිට පිරිමින්ට පමණක් සීමාවීම මෙන්ම කාන්තාවන්ට තාක්ෂණය හුවමාරු වීම හා ව්‍යාපාර දැනුම ලැබීම සිදුවන්නේද ඉතා අල්ප වශයෙනි.

මෙම ක්ෂේත්‍රයේ කර්මාන්ත සඳහා ලැබෙන ප්‍රතිලාභ, කුසලතා සංවර්ධන අවස්ථා හා ණය ලබා ගැනීම ආදිය බොහෝවිට ලැබෙන්නේ ඉඩම්වල නීතිමය අයිතිය ඇති පුරුෂයන්ටය වන අතර එහිදී මෙම ක්ෂේත්‍රයේ ප්‍රධාන ගොව්-කම්කරු භූමිකාව කරනු ලබන කාන්තාවන් බොහෝ විට අසාධාරණයට ලක් වේ.

ගම මට්ටමේ පවතින ගතානුගතික සම්ප්‍රදායන් හා නීති හේතුවෙන් කාන්තාවන්ට ඉඩම් හා ව්‍යාපාරවල අයිතිය සීමාවීම පැහදිලිව දක්නට ලැබේ.

කුඩා තේ වතුවල දලු නෙලීම වෘත්තියක් ලෙස පැහැදිලිව හඳුනාගෙන නොතිබීම හා වටිනාකමක් ලබා නොදීම නිසා මෙම බහුතරයක් කාන්තාවන් සාමාන්‍ය වතු කම්කරුවන්ට හිම අවම හිමිකම්වත් නොලබන පිරිසක් වීම අවාසනාවකි.

මේ සියලු අභියෝග හමුවේ කාන්තාවන්ගේ ත්‍රිත්ව භූමිකාව හමුවේ මුහුණ දෙන පීඩනය සමාජය තුළ නිසි අවධානයට ලක් වී නැත.

කුඩා තේ වතු අංශයේ සේවකයන්ගෙන් බහුතරය තමන්ගේම ඉඩම්වල වැඩ කරන, වෙනම වැටුපක් නොලබන තම ආදායමෙන් යැපෙන පුද්ගලයන් ය. අධ්‍යයනවලින් ලැබූ තොරතුරුවලින් හෙළි වී ඇත්තේ මෙම කුඩා තේ ඉඩම්වල නීතිමය හිමිකම වැඩි වශයෙන් පිරිමින්ගේ නම්වලින් පවතින බවයි. එහෙත් තේ වගා කරන කුඩා ඉඩම් කළමනාකරණය කරන්නන් බහුතරය කාන්තාවන් වීම මෙහි දී දැක ගත හැකි ය. කුඩා තේ වතු අංශයේ අගය දාමය තුළ කාන්තාවන්ට තම කුසලතා වැඩිදියුණු කර ගැනීමට වැඩි ඉඩක් නොලැබෙයි. ඊට හේතුව ඔවුන් නෙළන තේ දලු, තොග එක්කරන්නන් අතට හෝ වැඩිදුර සැකසුම් සිදුවන කර්මාන්තශාලා වෙත කෙළින් ම යෑම යි. මෙම අංශයේ තේ දලු නෙළන්නන්ගෙන් ඔබ්බට ඇති සීමිත අවස්ථාවන්ගෙන් කාන්තාවන් ප්‍රයෝජන ගත් ආකාරය පහත සිද්ධි අධ්‍යයන මගින් හඳුනා ගත හැකි ය.

ක්ෂේත්‍ර මට්ටමින් කරන ලද නිරීක්ෂණ මගින් ලැබුණු දැනුම මඟින් ප්‍රතිපත්ති සැකසීම සඳහා පහත යෝජනා ඉදිරිපත් කළ හැකි ය.

  • කෘෂි ව්‍යවසායකයන් ලෙස ගොඩනැඟීමට කාන්තාවන් තුළ ඉහළ හැකියාවක් පවතින අතර, ඒ පිළිබඳ නිසි අධ්‍යනයක් සිදුකර, ඔවුන්ට අවශ්‍ය මුලික සම්පත් හඳුනාගෙන, ඒවා ඔවුන්ට ලබා ගැනීමට ඇති ප්‍රවේශයන් වැඩිදියුණු කළ යුතු ය.
  • කාන්තාවන් අභිප්‍රේරණය කිරීම සහ නිසි ලෙස ජාලගත කිරීම මඟින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වන බැවින්, ඔවුන් නිසි ලෙස උනන්දු කිරීම සහ ජාලගත කර එම ව්‍යාපාර ශක්තිමත්ව ගොඩනැඟීමට අවස්ථා හා පහසුකම් සැලසිය කළ යුතු ය.
  • කුඩා තේ වතු අංශයේ නිරත කාන්තාවන් වැඩි වශයෙන් ඒකාබද්ධ බෝග කළමනාකරණයෙහි නිරත වන බැවින් ඒ සඳහා පුහුණුව, තාක්ෂණය, මුල්‍ය පහසුකම් හා වෙළදපළ ප්‍රවේශය ලබා දෙන පරිදි ව්‍යාපෘති සේවා හා උපදේශන සේවා වැඩි කළ යුතුය.
  • කෘෂිකාර්මික ව්‍යාපෘති සේවා සහ උපදේශන සේවා නිසි ලෙස කාන්තාවන්ට ලබා දීම මඟින් ඔවුන්ගේ ඉපැයීමේ හැකියාව, මූල්‍ය වත්කම සහ පවුල්වල යහපැවැත්ම ඉහළ නැංවිය හැකි බැවින්, එම සේවා ඔවුන් වෙත වඩාත් ක්‍රියාකාරිව හා සමීපව ලබා දීමට කටයුතු කළ යුතුය.
  • කුඩා තේ වතු අංශයේ කාන්තාවන් ප්‍රවර්ධනය කිරීමේ දී ඊට අවශ්‍ය සම්පත්වලට ඇති ප්‍රවේශය වීමේ හා එහි පාලනයට ඇති හැකියාව යන කරුණු සලකා බැලිය යුතු වැදගත් අංග වන බැවින්, කාන්තාවන්ට එම සම්පත්වලට ප්‍රවේශ වීමේ හැකියාව මෙන් ම ඒවා පාලනය කිරීමට ඇති හැකියාව වැඩි කළ යුතුය.
  • කාන්තාවන්ගේ කෘෂි ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම සඳහා තාක්‍ෂණය සහ දැනුම අත්‍යවශ්‍ය වන බැවින්, ඒ සඳහා අවශ්‍ය තාක්‍ෂණය හා දැනුමට ඇති ප්‍රවේශය පුළුල් කළ යුතුය.
  • ව්‍යාපෘති සේවා නිලධාරීන් සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙ යෑම කුඩා තේ වතු අංශයේ ප්‍රගමනයට ඉතා වැදගත් බැවින්, කුඩා තේවතු අංශයේ කාන්තාවන් හට මෙම නිලධාරීන් සමඟ ඉහළමට්ටමක වෘත්තිමය සබඳතාවක් පවත්වාගෙන යෑමට නිසි ක්‍රමවේදයන් සැකසිය යුතුය.
  • සේවා සපයන්නන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්යයන් සම්බන්ධයෙන් කුඩා තේ වතු අංශයේ කාන්තාවන්ගේ දැනුම හා අවබෝධය එතරම් සතුටුදායක නොවේ. මෙය ඔවුන් ගන්නා තීරණ කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරයි. එම නිසා මෙම දැනුම හා අවබෝධය ඔවුන්ට ලබාදීමට වැඩපිළිවෙළක් සැකසිය යුතු ය.
  • කුඩා තේ වතු අංශයේ නියුතු කාන්තාවන් විසින් මුහුණ දෙනු ලබන ගැටලු අවබෝධ කර ගෙන ඒවාට නිසි විසඳුම් ලබා දෙන්නේ නම් මෙම අංශයේ ඵලදායිතාව සහ කාන්තා ව්‍යවසායකත්වය වැඩිදියුණු කළ හැකි ය. කුඩා තේ වතු අංශය වැනි ඉහළ වටිනාකමකින් යුත් කෘෂිකාර්මික අංශ සංවර්ධනය කිරීමට විශාල හැකියාවක් ඇත. ඒ නිසා කාන්තාවන් මුහුණ දෙන ගැටළු හඳුනා ගැනීමට හා ඒවා අදාළ පාර්ශ්ව වෙත ගලා යන ක්‍රමවේදයක් සකස් කළ යුතු ය. එමෙන්ම කාන්තා ව්‍යවසායකත්වය වැඩිදියුණු කිරීමට පියවර ගත යුතු ය.
  • ගොවි සංවිධානවල විධායකයන් සහ නායකයන් ලෙස කාන්තාවන්ගේ සහභාගීත්වයට ඉහළ ඵලදායී විභවයක් ඇත. කෙසේ වෙතත්, මෙම විභවය අවබෝධ කර දීම සඳහා ප්‍රජා මට්ටමේ ස්ත්‍රී පුරුෂ සංවේදීතාව ඇති කිරීම වෙනුවෙන් වැඩි උත්සාහයක් ගත යුතු ය. කාන්තා සංවර්ධන නිලධාරී (WDO) වැනි රාජ්‍ය අංශයේ කාන්තා නියෝජිතවරියන් පළාත් පාලන මට්ටමේ දී බහු නියෝජිත ප්‍රතිචාර පද්ධතියකට සම්බන්ධ වන්නේ නම්, පහසුකම් සපයන්නන් ලෙස ඔවුන්ට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි ය. ගොවි සංවිධානවල ඵලදායී විධායකයන් සහ නායකයන් පත්කර ගැනීමේ දී කාන්තාවට වැඩි අවස්ථාවක් ලැබෙන පරිදි ඒවාගේ ව්‍යවස්ථාමය රාමුවල වෙනස්කම් සිදුකිරීමට අවධානය යොමු කළ යුතු ය.
  • ප්‍රජා මට්ටමේ දී ස්ත්‍රී පුරුෂ සංවේදීතාව ඇතිකිරීම සඳහා වැඩි උත්සාහයක් ගැනීමට සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම පළාත් පාලන මට්ටමේදී බහු නියෝජිත ප්‍රතිචාර පද්ධතියකට සම්බන්ධ කළ යුතුය.
  • පාසල් හා අනෙකුත් අධ්‍යාපන ආයතන ව්‍යුහ තුළ ද, ප්‍රජා මට්ටමේ දී ස්ත්‍රී පුරුෂ සංවේදීතාව ප්‍රවර්ධනය කළ යුතු ය.
  • ප්‍රජා මට්ටමේ දී ස්ත්‍රී පුරුෂ සංවේදීතාව ඇතිකිරීම සඳහා ජනමාධ්‍ය තුළ වැඩි ඉඩක් සකසා ගත යුතු ය.
  • පාර්ශ්වකරුවන් සඳහා ස්ත්‍රී පුරුෂ සංවේදීතාව වැඩිදියුණු කිරීමට පුහුණුව අත්‍යවශ්‍ය සාධකයකි. ඒ සඳහා පාර්ශවකරුවන් නිසි සිතියම්ගත කිරීමකට ලක්කොට, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහතික කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ යුතු ය.
  • ස්ත්‍රී පුරුෂ සංවේදීතා පුහුණුව ලබා දිය යුතු පාර්ශවකරුවන් සිතියම්ගත කිරීමට පියවර ගත යුතුය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබඳ ප්‍රතිපත්ති හඳුන්වාදීම ප්‍රමුඛතාවයක් ලෙස සලකා කුඩා වතු ක්ෂේත්‍රයේ කාන්තාවන් සවිබලගැන්වීම කාලයේ අවශ්‍යතාවයකි මෙම වෘත්තීය සඳහා නවීන ප්‍රතිරූපයක් ගොඩ නැගීම හුදෙක් තේරීමක් නොව අත්‍යවශ්‍ය සාධකයකි.

තේ යනු හුදෙක් තවත් වෙළඳ භාණ්ඩයක් නොවේ. තේ විසින් ලෝකය ප්‍රබෝධයට පත් කරවන අතර ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියට පත් කර රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දේ.
මෙම අතිවිශිෂ්ට ජයග්‍රණයට පිටුපසින් සිටින්නේ කාන්තාවක්. ඇත්තෙන්ම දස දහස් ගණනක් වූ කාන්තාවන් ය. සිලෝන් ටි හා කාන්තාවන් අතර ඇත්තේ අනවරත බැඳීමකි. එබැවින් මෙම කර්මාන්තයේ කාන්තාවන්ගේ දායකත්වය අගයමු.