ගෙවී යමින් පවතින්නේ කොවිඩ් 19 වසංගතය හමුවේ කිසිදු වෙනසකින් තොරව සියලූම දෙනා ආර්ථික, සමාජීය, දේශපාලනික වශයෙන් විශාල පීඩනයකට ගොදුරු වී ඇති සමයකි. නමුත් මේ තත්ත්වය හමුවේ විශාල ලෙස පීඩනයට ලක්වන නමුත් සමාජයේ අවධානයට ලක් නොවන අවිධිමත් කේෂත‍්‍රවල රැකියාවල නියැලෙන්නන්, මෑන් පවර් සේවකයින්, කුලී වැඩ වල නියැලෙන්නන්, ත‍්‍රීරෝදරථ රියදුරන්, වතු කම්කරුවන්, ලිංගික ශ‍්‍රමිකයින්, සංක‍්‍රාන්තික ලිංගික පුද්ගලයින් වැනි බොහෝ පිරිසකට වසංගතය මගින් දරුණු ලෙස පහර දෙමින් තිබෙන්නේය.
සංක‍්‍රාන්ති ලිංගික කාන්තාවන්ගේ ජීවන තත්ත්වයන් කෙරෙහි කොවිඩ් 19 බලපාල තියෙන්නේ කොහොමද? බොහෝ සංක‍්‍රාන්තික ලිංගික කාන්තාවන් දෛනික වැටුප මූලික කරගෙනයි තම ජීවනෝපාය සකස් කර ගනු ලැබුවේ. ඉතින් කොවිඞ් වසංගතය නිසා එකපාරට මේ වගේ රට වහන තත්ත්වයක් උද්ගත වීමත් සමග ඒ හැම කෙනෙක්ම වගේ මේ වෙද්දි ආර්ථික වශයෙන් විශාල අවපීඩනයකට මුහුණ දෙමින් සිටිනවා. සමහර කාන්තාවන්ට පවුල් පිටින් නඩත්තු කිරීමට සිදු වෙලා තියෙනවා. ඉතින් මේ අයට තමන්ගෙ රස්සාව නැති වීමත් සමඟම දැඩි කෑම බීම හිගයකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. මේ විදියට මිනිස්සුන්ට තමන්ගේ මූලිකම අවශ්‍යතාවයන් පවා සපුර ගන්න නොහැකි වී තිබීම ඉතාමත් දරුණු ප‍්‍රශ්නයක්. ඉතින් මේ වගේ ගැටලූ ත් එක්ක ඔවුන් විශාල මානසික පීඩනයකට ලක් වී සිටිනවා.
හුදෙකලා කිරීම්, නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම් හමුවේ සාමාන්‍ය ජීවන රටාව වෙනස්වීම සංක‍්‍රාන්තික ලිංගික පුද්ගලයින්ට භාර ගන්න වෙලා තියෙන්නේ මොන විදියටද? රටේ අනාගතය ගැන හිතලා ඇති වී තිබෙන තත්ත්වය සමනය කිරීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ගයන් නිසා එළඹිය යුතුම වන සමහර තීන්දු තීරණ තියෙනවා. නමුත් එය නිසි ක‍්‍රමවේදයක් යටතේ සිදු කළ යුතුයි. එකපාරට ලොක්ඩවුන් කිරීමක් සිදු කරද්දි මිනිසුන් ඔවුන්ගේ මූලික අවශ්‍යතා ඉටු කර ගන්නේ කොහොමද කියන ඒ ගැටළුව ඇති වෙනවා. එවැනි ගැටළුවලට විසඳුම් ඇතිවයි මෙවැනි ක‍්‍රියාමාර්ගයක් ගත යුතු වන්නේ. හුදෙකලා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ රෝගය වැළඳුණු පුද්ගලයින් සහ ආශ‍්‍රිතයන් සොයාගැනීමයි. නමුත් සමහර තැන්වල ආශ‍්‍රිතයන් තවමත් සොයාගෙන නෑ. මෙය කොයිතරම් දුරට ප‍්‍රායෝගිකව සහ සාර්ථකව සිද්ධ වෙනවාද කියන එක සම්බන්දව එයින් ගැටලූ වක් මතුවෙනවා. මෙම හුදෙකලා කිරිම සංක‍්‍රාන්තික ලිංගික කාන්තාවන්ට පමණක් නෙවෙයි ඕනෑම පුද්ගලයෙකුට මානසික පීඩනයක්. තමන් හුරුවුනු ජීවන රටාව වෙනස් කර නිවසට පමණක් සීමා කර තිබීම ඇත්තෙන්ම මානසික වශයෙන් වියවුලක් දනවන්නක්. මෙම තත්ත්වය ලිංගික සංක‍්‍රාන්ති පුද්ගලයන්ට සාමාන්‍ය පුද්ගලයන්ටත් වඩා වැඩියි. ඔවුන් සාමාන්‍ය තත්ත්වයක් යටතේදීත් ඔවුන්ට තියෙන මානසික පීඩනය තරමක් හෝ අවම කරගන්නේ මිතුරන් ආශ‍්‍රය කිරීමන් හෝ ඇවිදීම වැනි දේවල් වලිනුයි. මේ වෙද්දි ඔවුන්ට ඒ කිසිවක්ම නොලැබී ගිහින් තියෙනවා.
මේ අවධියේදි ඔවුන්ට සෞඛ්‍යය පහසුකම් වලට සහ අනෙකුත් රාජ්‍ය සේවාවන් වලට ප‍්‍රවේශ වීමට බාධාවක් තියෙනවද? සෞඛ්‍යය පහසුකම් පිළිබදව මොවුන්ට මේ කාලය තුල විශාල ගැටලූ ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ කාලය ඇතුලත සමහර සංක‍්‍රාන්ති ලිංගික කාන්තාවන්ට හෝමෝන ලබාදීමේ ක‍්‍රියාවලිය අඩපණ වෙලා තියෙනවා. සාමාන්‍ය උණක් හෙම්බිරිස්සාවක් හැදුණත් ඔවුන්ට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට යාමට අපහසුවක් තියෙනවා. අනෙක තමයි නිරෝධානය කිරීම සඳහා යවනු ලබන ස්ථානයන් පිළිබඳව ඇති වෙලා තියෙන ගැටලූ ව. සංක‍්‍රාන්ති ලිංගික කාන්තාවන් නිරෝධායනයට යොමු කරද්දි ඔවුන්ව යොමු කරන ස්ථානය පිළිබඳව ගැටලූ වක් ඇති වෙලා තියෙනවා. කාන්තාවන් සිටින ස්ථානයකට දැම්මොත් ඔවුන් ඇය තවත් කාන්තාවක් කියලා පිළිගනී ද, පිරිමි සිටින තැනකට දැම්මොත් ලිංගික අතවරයන්ට ලක් වෙයිද, වාචික අපහාසයන්ට හෝ හිංසනයන්ට ලක් වෙයිද කියන ගැටලූ ව පැන නැගිලා තියෙනවා. නමුත් දැනට මේ සම්බන්ධය වැඩි වශයෙන් වාර්තා වෙලා නැහැ. මේ දේවල් එක්ක හැම නිරෝධායන මධ්‍යස්ථානයකින්ම සංක‍්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට එක හා සමානව සැලකීමකට ලක් කරයිද කියන ගැටලූ ව පැන නැගිලා තියෙනවා.
ලිංගික ශ‍්‍රමිකයින්ට වසංගත කාලයේ මුහුණ දෙන්නට වී තිබෙන අභියෝග මොනවාද? ඔවුන්ට විශාල වශයෙන් ගැටළු පැනනැගී තිබුණා. විශේෂයෙන්ම දෛනික වැටුපකින් ජීවත්වූ ඔවුන්ට එදිනෙදා අවශ්‍ය කෑමබීම ටිකවත් ලබා ගන්නට නොහැකි වෙලා තියෙනවා. වාණිජව ලිංගික වෘත්තියේ නියැලෙන්නන්ට වෙනත් විකල්ප රැකියා වල යෙදෙන්නට ඇති අවස්ථාව අවමයි. වෙනත් අමතර ආදායම් මාර්ගයක් සොයා ගැනීම කෙරෙහි අවධානය යොමු කළත් ඔවුන්ට ඒ සදහා වත්කමක් හෝ ඊට අවශ්‍ය දැනුමත්, සමාජයෙන් ලැබෙන සහයෝගයත් තිබේද කියන ගැටලූ ව පැන නැගිලා තියෙනවා. මේ කාලයේ ඔන්ලයින් වැඩ කරන අයගෙ රැකියා අවස්ථාවන් ආරක්ෂා වෙලා තිබුනත් වාණිජ ලිංගික වෘත්තියේ නියැලෙන්නන්ට එවැනි විකල්පයක් නැහැ.
කොවිඩ් 19 ව්‍යාප්තිය නිසා රටට වන විශාල ආර්ථික, සමාජීය කඩා වැටීමෙන් මිදීමට සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස රජය විසින් සිදු කළ යුතුව පවතින්නේ කුමක්ද? මම තාමත් ලංකාව දකින්නේ දුප්පත් රටක් විදිහටයි. මේ වගේ රටක මිනිස්සු එක තැනක කොටුකරල තිබ්බා කියලා ඔවුන්ගේ හැසිරීම් වල විශාල වෙනසක් අපට බලාපොරොත්තු විය නොහැකියි. නමුත් එය ඔවුන්ව සාධාරණීකරණය කරන්න හේතුවක් නෙවෙයි. මේ වගේ වසංගත අවස්ථාවක පුරවැසියන් ලෙස රජයට සහයෝගය දක්වන්න අපි දැනගන්න ඕනි. සමහර වගකිවයුතු පුද්ගලයින් පවා මේ අවස්ථාවේ මේක ව්‍යායාපාරයක් කරගෙනයි ඉන්නෙ. සමහර රටවල් මේ සඳහා vaccine හොයාගෙන ඒවා මිලදී ගන්න අවශ්‍ය මූලික වැඩකටයුතු ආරම්භ කරලා තියෙනවා. නමුත් අපේ රටේ ඉහළ නිලතල දරන අය කියනවා මේ සදහා ඩ්ජජසබැ එක අවශ්‍ය නැහැ, ටෙස්ට් කරලා මේ ගැන හොයාගන්න පුළුවන් කියලා. ඒ වගේම PCR නොකර blood count test එකකින් මේ ගැන බලා ගන්න පුලූ වන් කියලා දුර්මත පතුරවනවා.
ඒ කෙසේ වුවත් පුරවැසියන් ලෙස අපගේ වගකීම විය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී තිබෙන විධිවිධාන නියමාකාරයෙන් පිළිපැදීමයි. අපේ ජීවිතය වැදගත් වෙන්නේ අපිටයි. සංස්කෘතික විවිධත්වය, කොවිඩ් 19 මර්දන ක‍්‍රියාවලියට බලපාන ආකාරය පිලිබඳව ඔබගේ මතය කුමක්ද? මෙවැනි ව්‍යසනයකදී මිනිස්සු අනවශ්‍ය ආකාරයට සංස්කෘතිය සහ ආගමට මුල්තැන දීමට පෙළඹෙන්නේ ඇයි කියන එක ගැන මට අදහසක් නැහැ. උදාහරණ විදියට සුනාමිය ආපු වෙලාවෙ ජාති ආගම් නැතුවම මහා ව්‍යසනයක් වුනා. සෞඛ්‍ය ආරක්ෂක විධි විධාන වලට සහයෝගය ලබාදෙනවා වෙනුවට මෙවැනි සංස්කෘතික සහ ආගමික මූලධර්ම වලට ඉඩ දීම කොහෙත්ම සුදුසු නැහැ. ආගමික සහ ජාතික දේවල් වලට වඩා ජීව විද්‍යාත්මකව පැහැදිලි කරන දේවල් පිළිබඳව දැනුවත් වීම සහ ක‍්‍රියාත්මක වීම සිදු කළ යුතු වෙනවා. ඒ වගේම නීතිය හැම කෙනෙක්ටම එක හා සමානව ක‍්‍රියාත්මක විය යුතුයි. මෙවැනි අවස්ථාවක අන්තවාදී නොවී මානූෂීයව සිතීම අත්‍යවශ්‍ය කාරණයක් වන බව මගේ අදහසයි.
භූමි හරේන්ද්‍රන් - සංක‍්‍රාන්තික ලිංගික පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් ක‍්‍රියාධරනී